Print this Article


සිරිසඟබෝ රජතුමා පෙරුම්දම් පිරූ අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය

සිරිසඟබෝ රජතුමා පෙරුම්දම් පිරූ අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය

බෝසත් ගුණැති සිරිසඟබෝ මහ රජතුමා මතු බුදුවීම පිණිස මඟියකු හට හිස දන් දෙමින් දාන පාරමිතාව පූරණය කළ අත්තනගල්ල පුදබිම කොළඹ නගරයට සැතපුම් විසි අටක් ඊසාන දෙසින් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයෙහි පිහිටා ඇත.

රාජාංගනයේ හත්ථිකුච්ඡි විහාරය සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ලෙස ඇතැම් පුරාවිද්‍යාඥයන් අනුමාන කළ ද මහාවංසය, පූජාවලිය, පාලි හත්ථවනගල්ල විහාර වංසය, එළු අත්තනගලු වංසය, කඩඉම්පොත වැනි ලිඛිත මූලාශ්‍ර සහ තවත් සාධක බොහෝමයක් අනුව බහුතර විද්වතුන්ගේ විශ්වාසය එම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල බවයි.


විහාරාධිපති
ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි

මහියංගන රජ මහ වෙහෙරේ වැඩසිටි නන්ද මහ තෙරුන් ඇසුරෙහි හැදී වැඩුණු සංඝබෝධි හෙවෙත් සිරිසඟබෝ කුමරු සංඝතිස්ස රජතුමාගේ අභාවයෙන් පසු භික්ෂූන් වහන්සේලාගේ බලවත් ඉල්ලීම පිළිගෙන අනුරාධපුර රජ පැමිණ ධාර්මිකව රට පාලනය කරමින්, පැමිණි උවදුරු දුරලමින් රටවාසීන් සුඛිතමුදිත කරවීය.

රාජ්‍ය පාලනය ගැන කළකිරී සිටි සිරිසඟබෝ රජතුමා රජකම අතහැර පෙරහන්කඩ පමණක් ගෙන දකුණු වාසල් දොරින් පිටත්ව ගල්වල්රට හෙවත් මායාරට අත්තනගල්ල නම් ආරණ්‍යයට පැමිණ භාවනානුයෝගී ව විසීය.

එක්තරා දුගියකු මෙම ප්‍රදේශය හරහා යාමේ දී තමා රැගෙන ආ බත්මුල මෙම තවුසාට පිරිනමා අනුරාධපුරයේ රජතුමා සිරිසඟබෝ රජතුමාගේ හිස ගෙනැවිත් දෙන අයෙකුට මසුරන් දහසක් දෙන බැව් ප්‍රකට කොට ඇති බව දැන තමා සිරිසඟබෝ රජු බව පවසා හිස දන් දුනි. රජතුමා ගිය මග සොයමින් පැමිණි රජ බිසව රජතුමාගේ හිස සුන් දේහය දැක දුකට පත්ව කළුරිය කළා ය. අනුරාධපුරයේ අභිෂේක ලැබූ නව රජතුමා අත්තනගල්ලට පැමිණ සිරිසඟබෝ රජතුමාගේ සහ දේවියගේ ආදාහන කටයුතු සිදු කොට රන් කොතක් පැළඳ වූ දෙමහල් වටදාගෙයක් තනවා දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට වාසය කළ හැකි අන්දමට නොයෙක් ප්‍රාසාද, සංඝාරාම, පිරුවන්, සක්මන් මලු, ධර්මශාලා ඇතුළු විහාරාංග තනවා විහාරයේ පැවැත්මට ගම්වර පූජාකොට දහසකට වැඩි පිරිවර සේවකයින් පත් කොට මතු රජ දරුවන් ද මෙලෙසම පැවැත්විය යුතු බවට රාජාඥාවක් නිකුත් කළේ ය.

උපතිස්ස රජ දවස අත්තනගල්ලේ වෙහෙරවැසි මහ තෙරනමක් අබ්භෝකාසික ධුතාංගය පුරමින් විදර්ශනා වඩා පෙර සංසාරයේ ප්‍රාර්ථනා කළ ආකාරයට මහ පොළොව ගුගුරවමින් රහත් ඵලයට පැමිණි කල ඒ ගැන පැහැදුණු රජතුමා පැමිණ දිව්‍යවිමානයක් බඳු වූ පස්මහල් සංඝාවාසයක් කරවා පිරිනැමීය. පසු කලෙක සොරුන් විසින් එම සංඝාවාසය විනාශ කරවූ කල මුගලන් රජතුමා තෙමහල් කොට නැවත තැනවීය.

දඹදෙණියේ රජ කළ තුන්වැනි විජයබාහු රජතුමා ඒ වන විට විනාශ වී තිබූ අත්තනගල්ල විහාරය පිළිසකර කරවා භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සකස් කළේ ය. තුන්වැනි විජයබාහු රජතුමාගේ අභාවයෙන් පසු ආදාහනය කරන ලද්දේ ද අත්තනගල්ල විහාරයේදී ය. තුන්වැනි විජයබාහු රජතුමාගේ පුත් වූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා තම පිය රජු ආදාහනය කළ ස්ථානයේ දාගැබක් බඳවා පැරණි වටදාගෙය තෙමහල් කොට පිළිසකර කරවා දේවපතිරාජ ඇමතිවරයා මෙහෙයවමින් අගනා ප්‍රතිමා ගෘහයක් තැනවීය. පතිරාජ පිරුවන නමින් පිරුවනක් ආරම්භ කරවා බ්‍රාහ්මණ වංශික අනෝමදස්සි සංඝරාජයන් වහන්සේ වෙත පූජා කළේය. සිදත්සඟරාව රචනා කළ පතිරාජ පිරුවන්පති හිමියන් මෙම අනෝමදස්සි සංඝරාජ හිමියන් ලෙස සලකනු ලබයි.

මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වූ ගොඩිගමුවේ හිමියෝ අත්තනගල්ල රජමහා විහාරයේ පුනර්ජීවනයට කටයුතු යෙදූහ. මහාරත්තාගල හිමි, ලෙවන්ගම සාරචන්ද හිමි, වල්පොල ඉන්දජෝති නාහිමි, නිවුන්හැල්ලේ සුමංගල නාහිමි, වල්පොල චන්දසාර නාහිමි, කෝන්ගොඩ පේමානන්ද නාහිමි, රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය වල්ගම්මුල්ලේ ප්‍රඥාරාම නාහිමි යන නාහිමිපාණන් වහන්සේලා විහාරාධිපති ධූරය හෙබවූ පසු වර්තමානයේ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති ධුරය හොබවති. එසේම සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ මොරතොට ධම්මක්ඛන්ධ මහා නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස සැලකෙන ඇකිරියගල මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් අත්තනගල්ල පහළ පන්සල් පරපුර පැවත එන අතර පින්නවල සෝමානන්ද මාහිමියන් එහි විහාරාධිපතීත්වය හොබවති.

සියනෑ, හාපිටිගම්, හේවාගම්,අළුත්කුරු යන සිවු කෝරළයේ නායක පදවිය හෙවත් සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය සහ මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය පදවියක් අත්තනගල්ල රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේලා වෙත මල්වතු මහාවිහාරයෙන් පුද දීම සුවිශේෂී සංසිද්ධියකි.

වර්ෂ 1850දී පිළිකුත්තුව රාජමහා විහාරාධිපති ඉඳුරුවේ සෝභිත සිරිධම්ම නාහිමියන් වෙත ප්‍රථමයෙන් පුද දුන් එම පදවිය දන්ගල්ල රාජමහා විහාරාධිපති දන්ගල්ලේ අත්ථදස්සි නාහිමියන්ගෙන් පසු වර්ෂ 1864දී අත්තනගල්ල රජමහා විහාරාධිපති වල්පොල ඉන්දජෝති හිමියන් සහ 1890දී නිවුන්හැල්ලේ සුමංගල නාහිමියන් වෙත පුද දී තිබේ. කොස්කඳවල සුනන්ද නාහිමි සහ වාරණ රජමහා විහාරාධිපති කොස්වින්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගෙන් පසු නැවතත් අත්තනගල්ල රාජමහා විහාරාධිපති ධුරීන වල්පොල චන්දසාර නාහිමි, කෝන්ගොඩ පේමානන්ද නාහිමි, වල්ගම්මුල්ලේ ප්‍රඥාරාම නාහිමි සහ පන්නිල ආනන්ද නාහිමියන් වෙත පිරිනමා ඇත.

අලවල පොත්ගුල් විහාරය, මාඉඹුල්කන්ද පුරාණ ගල්ලෙන් විහාරය, දඹුටුව පුරාණ විහාරය, කුරුවමුල්ල පුරාණ විහාරය, වල්ගම්මුල්ල බෝධිනන්දනාරාමය, යටියන ජයවර්ධනාරාමය, මාතලාන පුණ්‍යවර්ධනාරාමය, කඹුරාගල්ල බෝධිරුක්ඛාරාමය, හක්ගල්ල නාගවනාරාමය යන විහාරස්ථාන අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ අනුබද්ධ විහාරස්ථාන ලෙස පවතින අතර වත්මන් විහාරාධිපති නාහිමියන් ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක මෙහෙවරෙහි යෙදෙමින් අමෙරිකාවේ හුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථාන රාශියක් ආරම්භ කොට ඇත.

ලංකා ඉතිහාසයේ යුග ගණනාවක වැදගත් සිදුවීම් රාශියකට දායකත්වය සපයන ලද අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය සැදැහැවතුන්ගේ නිබඳ වන්දනාමානයනට ලක් වන සුවිශේෂී පුදබිමකි.