Print this Article


වානර ජාතක කතාව: ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ ගන්නා හැටි

වානර ජාතක කතාව:

ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ ගන්නා හැටි

වානර ජාතකයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බුද්ධිය පිහිටි දෙදෙනකු තම අරමුණු වෙනුවෙන් උපක්‍රම සංවිධානය කිරීමේ දී වඩාත් සාර්ථක උපක්‍රමය යොදා ගන්නා පුද්ගලයා ජය ලබා ගන්නා පුවතකි.

ස්ථානෝචිත ප්‍රඥාව සහිත පුද්ගලයින් දෙ දෙනකු හමු වූ විට ද වඩාත් වැදගත් වන්නේ සාර්ථක ම උපක්‍රමයයි. එබැවින් කවර කටයුත්තක් සංවිධානය කළත් වඩාත් ම උචිත උපක්‍රමය යෙදීම අරමුණු ඉටුකර ගැනීමට ඉවහල්වන බව තවදුරටත් පෙන්වා දෙති.

මෙම ජාතක කථාව දම් සභාවට රැස් වූ භික්ෂු සංඝයාගේ ආරාධනාව අනුව දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා දේශනා කළ එකකි. සුජීවත්වන ලෝකයාට මෙලොව සහ පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දැනුම දෙන ජාතක කතාවකි. සංඝයාගේ ආරාධනාවෙන් ධර්මාසනයේ වැඩ හුන් බුදුරජාණන් වහන්සේ පෙර අත්භවයක දී දෙව්දත් තෙරුන් යෙදූ කූට උපක්‍රමයකට හසු නොවී ගැළවුණු බවත්, එය සාර්ථකව ව්‍යාර්ථ කළ බවත්, වඩාත් උචිතම උපක්‍රමයක් යොදා ගත් බවත්, දක්වමින් වානර ජාතකය මෙසේ දේශනා කළහ.

පින්වත් මහණෙනි, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනකු දැහැමින් රාජ්‍ය පාලනය කළා. එ සමයේ මම වානර කුලයේ ඉපදී සිටියා. මගේ නිවහන වුණේ එරට හිමවත් පෙදෙසේ විශාල ගහක්. ගසෙහි දලු සහ කොළ මගේ ආහාරය වුණා. ගෙඩි හටගන්නා සමයට ඉතා සතුටින් ඒවායෙන් කුස පුරවා ගත්තා. ජලය ලබා ගැනීමට එතරම් අපහසු වුණේ නැහැ. ගහ සමීපයෙන් ම විශාල ගංගාවක් තිබුණා.

මට තවත් එක් යාලුවෙක් ගඟේ හිටියා. ඒ විශාල ශරීරයක් හිමි, ශක්ති සම්පන්න කිඹුලෙක්. නිතර ඌත් සමග මම කථා බස් කළා. කාන්සිය, පාලුව නැති කර ගැනීමට අපි දෙන්නා දෙන්නට උපකාර වුණා. එයාට කිඹුල් බිරිඳක් හිටියා. ඇයත් මා සමඟ සමීප වුණා.


සිතුවම - අන්තර්ජාලයෙනි

දින සති ගෙවමින් වසර ගණනක් මෙසේ ගෙවී ගියා. මිතුරුකම නම් තව තවත් වැඩි වුණා. දිනක් මිතුරුකම් වැඩි වූ නිසාම කිඹුල් යාළුවා මට මෙහෙම යෝජනාවක් කළා.

මිතුරේ, දැන් ගඟෙන් මෙගොඩ බොහෝ කලක් නුඹ ජීවත් වුණා. එකම ගහේ දලු සහ කොළ අතු බුදිමින් වාසය කළා. එකම පලතුරු හැමදාම අනුභව කළා. ඉතින් මට නුඹ ගැන බොහෝම දුකයි. අප දෙදෙනා හොඳම මිතුරන් නිසා මට පුළුවන් ඔබට මේ දුකින් නිදහස් වෙන්න උපකාරයක් කරන්න යනුවෙන් පවසා සිටියා.

වඳුරාත් හොඳින් වැඩුණු, මාංශවලින් පිරී ගිය, බබළන දේහයකින් යුක්ත අයෙක් වුණා. ගඟෙන් එගොඩට පැනීමට නොහැකි තරම් ගංගාව පුළුල් වී තිබුණා. වඳුරාගේ දේහය පිරිපුන් ය. අධික බරකින් යුක්ත ය. ඒ නිසා එතරම් දුරක් පැනීමට නො හැකි තත්වයෙන් ද පසුවුණා. කිඹුලා ඒ සියල්ල හොඳින් අවබෝධ කරගෙන මිතුරාට උපකාර කරන අදහසින් එසේ පවසා සිටියා.

කිඹුලාගේ කථාව අසා සිටි වඳුරා, උපකාර කරන්නේ නම් එය ලබා ගැනීම ඔහුට ද ගරු කිරීමක් වන්නේ යැයි සලකා කිඹුලා අමතා

‘‘අනේ පින්වත් යාළුවේ, මටත් දැන් ගඟේ මෙගොඩ ජීවිතය හොඳටම එපා වෙලා ඉන්නේ. ඉතින් ඔබ කොහොමද මේ ජීවිතය වෙනස් කරන්න හදන්නේ යැයි ප්‍රශ්න අසා සිටියා. එවිට කිඹුලා ‘‘පින්වත් යාළුවේ, ඔබ කරදර වෙන්න එපා. මම මගේ පිට මත නුඹ හිඳුවාගෙන ගඟෙන් එතෙර කරන්නෙමි., එහි ගොස් අලුත් පලතුරු ආදිය අනුභව කරමින් අලුත් ජීවිතයක් ගත කරන්න., එහෙත් පෙර සේ ම අපගේ මිතුරුකම් එලෙසම පවත්වා ගන්න යැයි යෝජනාවකුත් කළා. වඳුරාත් යාළුවාගේ යෝජනාව අනුමත කරමින් ගමනට සූදානම් වුණා. කිඹුලාටත් බොහෝම සතුටු හිතුණා. මගේ කූට උපක්‍රමයට මේ මෝඩ වඳුරා අහුවුණා. ශරීරය කොතරම් වැඩී තිබුණත්, මූට මොළයක් නෑ. වඳුරා රවටා බිරිඳගේ ආශාව ඉටු කරන්න පුළුවන් යැයි සිතමින් සිය දහස් වතාවක් සතුටට පත් වුණා. බිරිඳ සිය සැමියා අමතා කියූ වදන් ඔහුගේ හදවතේ ගිගුම් දෙන්නට පටන් ගත්තා. ඇය දරුගැබක් දරන බැවින් දිනක් කිඹුලා අමතා මෙසේ කියා තිබුණා.

‘‘පින්වත් ස්වාමියෙනි, ඔබගේ දරුවන් මා කුස පිළිසිඳගෙන සිටියි. එබැවින් මට දොළක් උපන්නා. ඔබ එය ලබා නො දෙන්නේ නම් නො කා නො බීම මම මියයන්නෙමි. එවිට ඔබගේ දරුවන් ද මිය යන්නේ ය. එබැවින් මගේ දොළ සංසිඳවා දෙන්න යැයි ඉල්ලා සිටියා.

එවිට, කිඹුලා ‘‘පින්වත් සොඳුරිය, ඔබගේ ආශාව පවසන්න., කළ හැකි කටයුත්තක් නම් වහා සපුරා දෙන්නෙමියි පවසා සිටියා. එවිට කියන්නේ

‘‘පින්වත් ස්වාමියෙනි, මට ඔබගේ මිතුරාගේ හදවත් මාංශය කෑමට දොළක් උපන්නා., එය වහා සපුරා දෙන්න යැයි පවසා සිටියා. තම යාළුවාට එරෙහිව එය කරන්නේ කෙසේ දැයි කිඹුලා නිතර කල්පනා කරන්න පටන් ගත්තා. එ විට ඔහුට මේ උපක්‍රමය සිහි වුණා.

එය දැන් සම්පූර්ණ වීමට ඉතා ආසන්න යැයි සිතමින් බොහෝ සතුටට පත් වුණා. සිය බිරිඳටත් ඒ බව පවසමින් තව තවත් සතුටු වුණා. යොදා ගත් අයුරින් ම වේලාව උදා වුණා. තම මිතුරාගේ උපකාරය ලබා ගැනීමේ අරමුණින් වඳුරා කිඹුලාගේ පිටමත නැඟී හිඳ ගත්තා. කිඹුලාත් විශාල වූ, ගැඹුරු වූ ගංගාව මැදට ගොස් ක්‍රමයෙන් දිය යටට යන්නට පටන් ගත්තා. එවිට වඳුරා බියට පත් වී කිඹුලා අමතා ‘‘යාළුවේ මේ මොකද වෙන්නේ? ඔබට කරදරයක් නිසා ද ඔබ දිය යටට මෙසේ යන්නේ යැයි විමසා සිටියා.

එවිට කිඹුලා සිනා සෙමින් ‘‘යාළුවේ මම නුඹ ගඟ මැදට ගෙනාවේ නුඹට ආදරයෙන් ද? සෙනහසින් ද? යැයි සිනහ සෙමින් නැවතත් මෙහෙම කිව්වා ‘‘මම තොප මෙහි ගෙන ආවේ මගේ බිරිඳගේ දොළක් සංසිඳවීමටයි. ඇය දැන් ගැබ් ගෙන සිටින්නේ., ඉතින් තොපගේ හෘදය මාංශය නැතිව ඇය මිය යන්නට ළංවී සිටින්නේ., එබැවින් තොපගේ හෘදයමාංශය ගැනීමට තොප මෙහි ගෙන ආවෙමි යැයි බොහෝ ජයග්‍රාහී ලීලාවෙන් පවසා සිටියා. වහා සියලු තතු අවබෝධ කරගත් වඳුරා ආදරයෙන් කිඹුලා අමතමින් ‘‘යාළුවේ ඔය කරුණ මට කලින්ම කියන්න තිබුණනේ., මටත් බොහෝ පින්සිදුවන වැඩක්නේ මේ යෙදී තිබෙන්නේ., ඉතින් එම කාර්ය මම හොඳින්ම කර දෙන්නම්., ඔබ බිය වෙන්න එපා. ඔබට පේනවා නේද මම හිටපු ගහ සමීපයෙහි තිබෙන දිඹුල් ගස, එහි උඩින්ම තියන රතුපාට ගෙඩියක් පේනවා නේද? ඉතින් මම හදවත එහි එල්ලා පැමිණියා., ගඟ මැද දී අනතුරක් වුවහොත් පසුව ගැනීමට., ඉතින් මා එහි නැවතත් ගෙන යන්න., ඔබගේ අවශ්‍යතාව මම ගිය වහාම ගසෙන් අරගෙන දෙන්නම්., එය බිරිඳට දී දොළ සංසිඳවා හොඳ දරුවන් ලබා ගන්න යැයි තම නුවණ පාචිච්චි කරමින් පවසා සිටියා.

කිඹුලාත් දිඹුල් ගස දිහා බලා රතුපාටින් පෙනෙන දිඹුල් ගෙඩියක් දැක යෝජනාවට කැමති වී නැවතත් වඳුරා සිටි තැනට ම ගිහින් දැම්මා. වඳුරා වහා උගේ පිට මතින් ගොඩට පැන ‘‘තොප මා රැවටුවා., මම තොප රැවටුවෙමි., වඳුරාගේ හෘදය මාංශය දිඹුල් ගසක තිබේද? තා රවටාලා මාගේ ප්‍රාණය ගලවා ගත්තෙමි., ගඟෙන් එතර ඵල රසවලින් මට කම් නැත” යි කියමින් වඳුරා ඉතා සතුටින් තම වාසභවනට ම නැවතත් පිටත් වී ගියා.

ඉතින් පින්වත් මහණෙනි, එකල මගේ ප්‍රාණය නැසීමට උපක්‍රම යෙදූ ඒ කිඹුලා මෙකල මට විවධ කූට උපක්‍රම යොදා මාගේ දිවි තොර කිරීමට සැරසෙන දෙව්දත් තෙරුන් ය. වඳුරා ව උපන්නේ ලොව්තුරා බුදු වූ මම්ම වේ දැයි පවසමින් වානර ජාතක කථාව අවසන් කළා. භික්ෂූන් වහන්සේලා බොහෝ සාධුකාර දී බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා.