Print this Article


සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු

සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු

ආහාරයෙහි අවශ්‍යතාව පාට, ලිංග, ජාති, භේදයකින් තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි.

ගිහි පැවිදි භේදයකින් තොරව සියල්ලෝට ම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාර තුළිනි. ආධ්‍යාත්මික ජීවිතය මෙන්ම භෞතික ජීවිතය වඩා අර්ථවත් ව පවත්වා ගැනීමට සමබල ආහාර වේලක් අවශ්‍ය ය. බුදු දහමෙහි ඉගැන්වෙන සේඛියා තුළින් සිදුකරනුයේ ද ආහාර රටාව හා ජීවන රටාව ක්‍රමවත් කිරීම ය.

සඟරුවනට පිණ්ඩපාතය අනුදැන වදාරන්නේත්, ඇතැම්විට ධර්මය දේශනා කිරීමට පෙර දායකයන්ට ආහාර ලබාදෙන ලෙස බුදුරදුන් නියම කරන්නේ ද ආහාරයෙන් තොර ශක්තියක් නොමැති නිසාවෙනි. මේ ලෝකයෙහි ඇති දරුණු ම රෝගය ලෙස බුදුදහම බඩගින්න හඳුන්වා ඇත්තේ ද ආහාරයෙහි අවශ්‍යතාව අනිවාර්ය බැවිනි. පොදුවේ ගත් විට ආධ්‍යාත්මික මෙන්ම භෞතික දියුණුව විෂයෙහි ආහාර අත්‍යවශ්‍ය ය. මන්ද යත් ආහාරයෙන් තොර ශක්තියක් නොමැති බැවිනි.

පමණ දැන ගැනීම

ආහාරයෙහි පමණ දැන පරිභෝජනයෙහි සීමා හඳුනා ගැනීම අවශ්‍ය ය. ආහාර අවශ්‍ය වන්නේ සවිය හෙවත් ශක්තිය ලබා ගැනීම සඳහා ය. ඒ සඳහා ගිජුබවක් නො දැක්විය යුතු ය. ආහාරයෙහි ගිජුවීම නිසා ශරීරයේ සමබරතාව පවා ගිලිහීයාම අනිවාර්ය ය. කොසොල් රජුට සිදුවූයේ එවැනි තත්ත්වයකි. බුදුරදුන්ගේ මඟ පෙන්වීම මත එයින් අත් මිඳීමට ඔහුට හැකියාව සැලසුනි. තමා ශක්තිය ලබා ගැනීමට ගනු ලබන ආහාර තම ආයුෂ කෙටිවීමට හේතු වන්නේ නම් එවන් ආහාර රටාවක් බුදු දහම අනුමත නො කරයි.

බුදුදහම දේශනා කරන අරියවංස, රාසිය හා කාමභෝගී යන සූත්‍ර තුළ ඉහත දැක් වූ පරිභෝජන දර්ශනය මනාව විස්තර කරයි. ආහාර පරිභෝජනයේ දී විමසුම් සහිතව පරිමාණය දැනීම අවශ්‍ය ය. මුළාව, දැඩි ඇල්මෙන් එය නො ගත යුතු ය. එසේම උතුම් ජීවිත පවත්වා ගැනීමේ අරමුණ සහිතව ආහාර අනුභවය සිදුකළ යුතු වේ. එසේ නොමැති වූ විට සිදුවනුයේ පරිහානියකි. අටුවා එය විස්තර කරනුයේ පැණි හැලියට වැටුණු ඇඹලයාට ය. එසේම ආදීනව දැන ගනිමින් ආහාරය ලබා ගැනීම අවශ්‍ය ය.

ආහාර ඉහත සීමා අනුගමනය කරමින් ලබන්නේ නම් එය කාර්යක්ෂම හා ඵලදායී පිරිසක් නිර්මාණය කිරීමෙහි වැදගත් ය. එවිට අඩු ශ්‍රමයකින් වැඩි වාසි සලසා ගැනීම පහසු වේ. පළමු රහත් 60 නම අමතා බුදුරදුන් අනුගමනය කරනුයේ මේ තත්ත්වය යි. එනම් පිණ්ඩපාතයෙන් යැපීම තුළ බොහෝ පිරිසකට ධර්ම දායාදය ලබා දීමයි. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...” යන පාඨයෙන් එය වඩාත් හඳුනා ගත හැකි ය.

නොකා නොබී මිය යෑම

රටක් ජාතියක් ලෙස ශක්තිමත් ව කටයුතු කිරීමේ දී සමබල ජීවිතය වැදගත් වේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ‘සමජීවිකතා” ලෙස සඳහන් වන්නේ එම තත්ත්වය යි. අයවැය සමව පවත්වා ගැනීම පරිභෝජනයේ දී ඉතා වැදගත් ය. “අණන සුඛය” හෙවත් ණය නොවී පැවතීම බුදු දහම නිරන්තරව අගය කරයි.

සමජීවිකතාවට විරුද්ධ සහ නො ගැළපෙන අන්ත දෙක වනුයේ “අජද්ධූමාරිකා” හෙවත් නොකා නොබී මිය යෑම හා “උදුම්බරඛාදිකා” හෙවත් අතුකපා දිවුල් කන්නා සේ භුක්ති විඳීම යි. මෙම අවස්ථා දෙකම තුළ නිවැරදි භාවයක් නොමැත.

මේ ජීවිතය තුළ දියුණුව ඇතිවීම විෂයෙහි කරුණු හතක් අවශ්‍ය බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ම සඳහන් ය. එය සම්පූර්ණ නො වන විටදී ශක්තිමත් ජාතියක් බිහි නොවේ. එම කරුණු හතර මෙසේ ය.

උට්ඨාන සම්පදාව - උත්සාහය

ආරක්ඛ සම්පදාව - ආරක්ෂාව

කල්‍යාණමිත්තතාව - කල්‍යාණ මිත්‍රත්වය

සමජීවිකතාව වශයෙනි.

උත්සාහය මහන්සිය මෙන්ම ලබන ලද ධනය ආරක්ෂා කර ගත යුතු ය. ඒ සඳහා යහපත් සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. ඒ මත අය වැය තුලනය කරගත් ජීවිතය ගත කිරීම අපහසු නොවේ. මෙහිදීම කරණීයමෙත්ත සූත්‍රයේ දී දක්වනු ලබන සුභරතා, අප්පිච්චිතා, සන්තුට්ඨිතාව අමතක කළ නොහැක. මන්දයත් පරිභෝජනයේ දී සම්පත් සීමිත අතර, මිනිස් අවශ්‍යතා අසීමිත වේ. අසීමිත වුවමනාවන් ඉටුකර ගැනීමට යෑමේ දී ගැටුම් ඇතිවේ. එහෙයින් ලද දෙයින් සතුටු වීම මෙන්ම පහසුවෙන් පෝෂණය කිරීමටට හැකියාව තිබීම වැදගත් ය.

පරිභෝජනය අවබෝධයෙන් සිදුකළ යුතු ය. ජීවිත ක්‍රියාවලියේ අවසානය පරිභෝජනය නොවේ. මිනිස් ක්‍රියාකාරීත්වයේ අවසාන අරමුණ ආහාර නොවේ. පරිභෝජනය කරන ප්‍රමාණය මත උස් පහත් බව මැනිය නොහැක. උස් පහත් බව මැනෙනුයේ ආහාරයෙන් ලද ශක්තිය දියුණුව විෂයෙහි යොදා ගන්නා ප්‍රමාණය මත ය.

ශ්‍රේෂ්ඨත්වය ලැබෙන හැටි

ශ්‍රමය කැපකිරීමට අවශ්‍ය ශක්තිය ආහාරයෙන් ලැබේ. එහෙයින් ශ්‍රමය කැප නොකර අන් අයගෙන් යැපීමට උත්සාහ කිරීම පිරිහීමට හේතුවේ. දියුණුව හෝ පරිහානිය මත එකිනෙකාගේ ශ්‍රේෂ්ඨත්වය පවතී. විවිධ වෘත්තීන් හා ක්‍රියාකාරකම් සිදුකරමින් පවතින බොහෝ පිරිසක් මේ මිහිපිට ඇත. ඒ සෑම කාර්යයක දී ම වඩාත් ඵලදායීව පෞද්ගලික අරමුණු හා ජාතික අරමුණු ජයග්‍රහණය කළ යුතු ය. (කෘෂිකර්මය, වෙළඳාම, රාජ්‍ය සේවය, නිෂ්පාදනය) යන ඕනෑම ක්ෂේත්‍රයකට ඉහත කාරණාව පොදු ය. මෙම කාර්යයන් විධිමත් ව සංවිධානය කළ යුතු ය. වැඩි ඵලදාවක් ලැබෙනුයේ එවිට ය. එය ක්‍රියාවට නැංවීම පිළිබඳ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුදහම පැහැදිලි කරයි. එහිදී කරුණු පහක් මෙසේ විස්තර කකරයි.

දක්ඛෝ - දක්ෂවීම
අනලසෝ - කම්මැළි නොවීම
තත්‍රෑපාය විමංසාය - ඒ ඒ අවස්ථාවන්ට බුද්ධිමත් වීම
අලංකාතුං - කළ යුතු දේ මනාව සිදු කිරීම
අලංසංවිධාතුං - මනාව සංවිධානය කිරීම

සුදුස්සෝ නොවෙත් නම්

ඕනෑම කාර්යයක් වඩා සාර්ථකවීමට හා ඉන් වැඩි ඵලය ලැබීමට කාර්යයෙහි නියුක්තවන්නන් දක්ෂ විය යුතු ය. යමක් කිරීමට නොව වඩා හොඳින් සිදුකිරීම අවශ්‍ය ය. ආයතනයක් නම් ඒ සඳහා සුදුසු පිරිස් පත් කරගත යුතු අතර සුදුසු අය නැත්නම් පුටුව හිස්ව තැබීම නුසුදුසු අය පත් කරනවාට වඩා සුදුසු ය. ආයතනයන්හි කළමනාකාරීත්වය මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් ය. දක්ෂභාවය සමඟම අනලස්භාවය අවශ්‍ය ය. පිරිහීමේ දොරටු අතර ද අලසකම එකකි.

ධන විනාශය එක් විනාශ මුඛයකි. ඇතැම් අලසයන් කෑම අඩුය, දැන් බඩපිරී වැඩිය සිතා තම ශක්තිය අපතේ හරි යි. එහෙයින් අනලස්ව ලබන වේතනයට සරිලන සේවාවන් සිදුකිරීමට වගබලා ගත යුතු ය.

විමසිලිමත්වීම හෙවත් ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස බුද්ධිමත්වීම තවත් ප්‍රධාන කාර්යයකි. එසේ නොමැති වූ විට සම්පත් අපතේ යාම හා වැඩි කාලයක් භුක්ති විඳිය හැකි සම්පත් ඉක්මණින් විනාශ විය හැකි ය. එය එසේ නො වීමට නම් අවස්ථාවට අනුරූපව බුද්ධිය මෙහෙයවීම වැදගත් වේ.

වඩා අර්ථවත් ක්‍රියාකාරකම් සඳහා ශක්තිය කළමනාකරණය කරගනිමින් යෙදවීම වැදගත් ය. වඩා ඉක්මණින් කළයුතු දෑ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු ය. කාර්යක්ෂමතාව පමණක් වැදගත් නොවේ. ඵලදායීතාවක් අවශ්‍ය ය. එය දීර්ඝ කාලීන විය යුතු ය.

එදා වේල ගැන පමණක් සිතීම කළ යුතු දේ තෝරා ගැනීම නොවේ. කරන සෑම කාර්යයක්ම ආර්ථික ලාභය පමණක් ඉලක්ක කර ගැනීම දියුණුව ලෙස අරුත් ගැන්විය නොහැක. සදාචාරයට, පරිසරයට, මිනිස් පැවැත්මට අවැඩදායක ක්‍රියාකාරකම් තුළින් ඉවත්විය යුතු ය. යෝග්‍ය සුදුසු කටයුතු තීරණය කර තෝරා ගැනීම අවශ්‍ය ය. එවිට ඇතිවන දියුණුව තිරසාර වේ.

වටිනාකම් හඳුනාගනිමු

මනාව කටයුතු සම්පාදනය කිරීම මෙහිදී අවධාරණය කරන අවසාන කාරණය යි. ඒ සඳහා භෞතික කාරණා මෙන්ම මිනිස් දිනචරියාව හැඩ ගස්වා ගන්නා ආකාරය වැදගත් වේ. බුදුරදුන් 45 වසරක් වැනි කෙටි කාලයක් තුළ ගොඩනැඟූ ශාසනය 2600 වසරක් ම නො නැසී පැවතීමේ රහස ද එයම ය. උන්වහන්සේ තුළ භික්ෂූන් වහන්සේ හැසිරවීමේ මනා නිපුණත්වය හා වැඩ බෙදීම සරලම උදාහරණය වේ. වර්තමානයේ සම්පත් කළමනාකරණය ලෙස දක්වනුයේ එම තත්ත්වය යි. පුද්ගලයන් සතුටු කිරීමට නොව රැකියාවට අවශ්‍ය පුද්ගලයකු තෝරාගැනීම මනා සංවිධානය යි. සෑම කාරණාවකට ම මිල නියම කිරීමෙන් පමණක් සෑහීමකට පත්නොවිය යුතු ය. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් පිළිබඳ වටිනාකම හඳුනාගත යුතු ය.