Print this Article


මහා පුරුෂ ලක්ෂණයෙන් ප්‍රභාවත් වූ බුදු සිරුරේ අසිරිය

මහා පුරුෂ ලක්ෂණයෙන් ප්‍රභාවත් වූ බුදු සිරුරේ අසිරිය

බලබෝව, කනිෂ්ඨ විද්‍යාලයේ
නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති
කන්දේකුඹුරේ නන්දසාර හිමි

"උන්වහන්සේ නෙළුම් මලකට උපමා වන්නේ ය. නෙළුම් ගස හැදී වැඩෙන්නේ ගොහොරු මඩක ය. මහත් වූ ජල තරලයක් ඉක්මවාගෙන ජලය ද, පත්‍රවල ද නො ගැටී නො ගෑවී ජලයෙන් ඉස්මතු වී සිටී.

බුදුරජාණන් වහන්සේ යනු කවුද? යන පැනයට ලැබෙන පිළිතුරු රාශියක් ඇත. ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයාට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ය. බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් අවබෝධ කළ තැනැත්තා යනුවෙන් ද, කෙලෙස් තැවූ නිසා ද, නිවන් අවබෝධ කළ නිසා ද, ක්ලේෂයන් තවා උත්තරීතර තත්වයට පත්ව සමාජ සත්වයා උදෙසා ධර්මය අවබෝධ කොට නිවන් පසක් කර ගැනීමට ඉඩහසර කියා දුන්නේ තථාගතයාණන් වහන්සේ විසින්ම ය.

එබැවින් ම තථාගත බුදුරජාණන් වහන්සේ මිහිපිට වැඩ සිටි උත්තරීතර ම මිනිසා ද වන්නේ ය. පද්මෝප දේශයේ පැහැදිලි වෙන පරිදි නම් උදය බමුණාට පා සලකුණු දැක එබඳු වූ පා සටහන් ඇති තැනැත්තා කවුද? යන පැනයට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ ම පැහැදිලි කරන පරිදි මෙලොව කෙලෙස් තැවූ යමෙක් වන්නේ ද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ නෙළුම් මලකට උපමා වන්නේ ය. නෙළුම් ගස හැදී වැඩෙන්නේ ගොහොරුමඩක ය. මහත් වූ ජල තරලයක් ඉක්මවාගෙන ජලය ද, පත්‍රවල ද නො ගැටී නො ගෑවී ජලයෙන් ඉස්මතු වී සිටී.

බුදුරජාණන් වහන්සේ ඊළඟ හැඳින ගැනීමට මහත් වූ වැදගත්කම වන්නේ නව අරහාදී බුදු ගුණ ය. එබඳු ගුණ නවයක් ලෙස දහමේ දැක්වේ. අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තර , පුරිස දම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං , බුද්ධො භගවා යනුවෙනි.

බුදුරදුන් සතු ගුණ ධර්ම වශයෙන් ගුණ නවයක් වුව ද, ඊටත් වඩා බුදු ගුණය බුදු සිරිත තුළින් ප්‍රකට කෙරේ.

වීදාගම මාහිමියන් රචනා කළ බුදුගුණාලංකාරය ග්‍රන්ථයේ බුදු ගුණ පිළිබඳ මනා ලෙස කාව්‍යකරණය කෙරේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ නියම ලෙස දැන හඳුනා ගන්නේ කෙසේද? ධර්මය කෙබඳුවේද, යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ,

“යො ධම්මං පස්සති, සො මං පස්සති

යො මං පස්සති සෝ ධම්මං පස්සති” යනුවෙනි.

යමෙක් ධර්මය දකින්නේ ද ඒ අනුව මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ ද ඔවුහු ධර්මය දකිති. යනුවෙන් සඳහන් වේ.

මේ වාක්‍ය හා ප්‍රකාශය මඟින් පෙනෙනුයේ බුදුරජාණන් වහන්සේ යනු කෙබඳු කෙනෙක් ද යන්න පිළිබඳව ය.

බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් වඩා දෙවි කෙනෙකි. (දේවාති දේව) බඹුන්ටත් වඩා බඹෙකි. (බ්‍රහ්මාති බ්‍රහ්ම) සිද්ධාර්ථ කුමාරොත්පත්තියේ සඳහන් ආකාරයට “මම ලොවට අග වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි” යන ප්‍රකාශනයෙන් ඒ බව ප්‍රකට වන්නේ මහා පුරුෂයකු ලෙස පිළිගැනීම කුඩා අවදියේ දී ම සිදු වූ බවයි. ඒ අතරට ගරු බුහුමන් ලැබීම ද තවකෙකි.

සුද්ධෝදන රජු විසින් සිය ගුරු දේවයන් වෙත තම පුත් රුවන දක්වන වේලාවේ කුඩා සිදුහත් කුමාරයාගේ දෙපා කාලදේවල තාපසතුමාගේ ජටාවේ රැඳුණි. මේ නිසා පළමුව ද, දෙවැනිව ද, තෙවැනිව ද පියතුමාගේ වැඳීමට පාත්‍ර විය.

මේ කරුණු කාරණා නිසාම බෝසත්හු කුඩා අවදියේ සිටම බොහෝ දෙනාගේ චිත්තප්‍රසාදයට පාත්‍රවූ බවක් පෙනී යයි.

මෙහි වැදගත්වන කරුණක් නම් මුල් කාලීනව බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැක්වීමේ දී ප්‍රතිමා නිර්මාණය නො කරන ලදී. ඒ වෙනුවට බුදුරජුන් සංඛේතවත් වන පරිදි ශ්‍රී පතුල, ශ්‍රී පද්මය, බෝධි වෘක්ෂය, බුද්ධ රශ්මිමාලා, චක්‍රය, දාගැබ (චේතිය) ධර්ම චක්‍රය ආදී විවිධ මුද්‍රා ක්‍රම භාවිත කරන ලදී. මුල් කාලීනව සාංචි, භාරුත් ආදී කැටයම්, බෞද්ධ චිත්‍රකලා , ඉතිහාසයේ දී අජන්තා, එල්ලෝරා චිත්‍රවල දී මේ බව දක්නට ලැබේ.

ඒ අනුව මුල්ම බුද්ධ රූපය නිම වූවා සේ කියැවෙන්නේ “මෙබඳු වූ සුවාසු දහසක් ධර්මස්ඛන්දය දෙසා වදාළ උත්තරීතර ශ්‍රේෂ්ඨයාණන් වන්නේ කවුදැයි” විමසූ, සෙවූ ධර්මාශෝක අධිරාජ්‍යයා වෙත ‘අනන්ත” නම් නා රජු හරහා දැකීමට සැලැස් වූ සිහිනයක් සමඟ රජු දුටු බුදු සිරුර දක්ෂ වඩුවෙකු ලවා හඳුන් අරටුවක නිර්මාණය කරවූහ. තව ද පසු කාලය වන විට සාංචි, භාරුත් මථුලා, පල්ලව යන කලා කාලයේ දී බුද්ධ රූප නිර්මාණය කළ බවට සාධක සොයා ගෙන ඇත.

තවද පසු කාලය වන විට සාංචි , භාරුත්, මථුලා, පල්ලව යන කලා කාලයේ දී බුද්ධ රූප නිර්මාණය කළ බවට සාධක සොයා ගෙන ඇත. පසු කාලීනව ගී‍්‍රක කලාවට යම් ආභාෂිත ව බුද්ධ රූපය නිම වූ බව කියැවේ.

බුදුරජාණන් වහන්සේ තුළ පැවැති රූප කාය පිළිබඳ විස්තර වන අවස්ථා ත්‍රිපිටකාගත කරුණුූ ආශ්‍රයෙන් විස්තර ගෙන හැර දැක්විය හැකි ය. ශ්‍රීමත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට පැවැති රූපකාය තුළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අණුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද, කේතුමාලා බ්‍යාමප්‍රභා අසිතිහස්ත ප්‍රභා යන රශ්මීන්ගෙන් ද යුක්ත වන තථාගත දේහය ඉතා ශ්‍රීමත් ය. අන් කෙනකුට තබා දෙවියකු හෝ බ්‍රහ්මයකුට එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. තීර්ථකයන් දමනය කොට තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා සක්දෙව් රජුගේ පාන්ඩුකම්බල ශෛලාසනයෙහි හිඳ අභිදම් දෙසීම සඳහා වැඩහුන් කල්හි දසදහසක් සක්වළින් පැමිණි දේව බ්‍රහ්මයෝ උන් වහන්සේ වටා සිටියහ.. ඒ මහා පිරිසෙහි රූප ශෝභාවෙන් තථාගතයාණන් වහන්සේ යටපත් කළ හැකි එක දෙවියකු, එක බඹකු හෝ නොවූ බවත්, සකල දේව බ්‍රහ්මයන්ගේ රූප සෝභාව ඉක්මවා තථාගතයාණන් වහන්සේ ම බැබළුණු බවත්, සූවිසි මහා ගුණය නැමැති ධර්ම ග්‍රන්ථය ලියූ රේරුකානේ චන්දවිමල මහා තේරපාදයාණන් වහන්සේ විසින් දක්වා ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ සතුව පැවැති ශ්‍රී භාග්‍යම ය වන්නේ ය.

වරෙක පිඬු සිඟා වඩින තථාගතයාණන් වහන්සේ දකින වක්කලී නම් බ්‍රාහ්මණයා බුදු රදුන්ගේ රූපය දෙස බැලීමේ ආශාවෙන් පසුවූහ. පසුව බුදු සසුනේ පැවිද්ද ලබා උන්වහන්සේ දෙසම බලා සිටින්නට විය.

තවත් වරෙක මාගන්ධියා නම් රූපවත් බැමිණි කුමරිය බුදුරදුන්ගේ රූප කායට වසීකෘත ව උන්වහන්සේ විවාහ කරවා දෙන මෙන් සිය මව්පියන්ගේ ඉල්ලා සිටියාය. බුදු සිරුර දුටු ඡත්ත මානවක සිය ආහ්ලාදය ගාථාවලින් ප්‍රකාශ කළ අතර තරුණ සිදුහත් කුමරු දුටු කිසාගෝතමී නම් තරුණ කුමරිය ද ශාන්ත වූ ලීලාවෙන් ගමන් කරන සිදුහත් කුමරා පිළිබඳ කළ ප්‍රසාදනීය වර්ණනාව පිළිබඳව ද සඳහන් වේ.

තථාගත බුද්ධ ශරීරය සෝභාමත් කෙරෙන ශරීර ලක්ෂණ තිස් දෙකක් පිළිබඳව ලක්ඛණ සුත්‍රයේ මෙසේ දක්වා ඇත.

ඊට අනුව ලුහුඬින් නමුත් විස්තර දීම සුදුසු යැයි සැලකේ.

සුප්පතිට්ඨිත පාද, හෙට්ඨාපාද තලෙසු චක්ඛානි ජාතානි ආයතපණ්හි, දීඝංගුලි, මුදු තලුන හත්ථපාදො, ජාල හත්ථපාදෝ, උස්සංඛපාදො, එණි ජංඝෝ, ඨිතකොව අනොමමන්තො උභොහි කොසොභිත වත්ථ ගුය්හො, සුවණ්ණවණ්ණො,සුඛුමච්ඡවි, එකෙක ලොමෝ, උද්ධග්ගලොමෝ, බ්‍රහ්මජ්ජුගත්තො,සත්තුස්සදෝ. සීහපුබ්බද්ධකායො, විතන්තරංසො, නිග්‍රෝධ පරිමණ්ඩලො, සමවත් තක්ඛන්ධො, රසග්ගසග්ගී, සීහහනු. චත්තාලීස දන්තො, සමදන්තො, අවිවරදන්තො, සුසුක්ක දාඨො, පහුත ජිව්හෝ, බ්‍රහ්මස්සරොහොති කරවීකභාණී, අභිනීල නෙත්තෝ, ගෝපමඛෝ, උණ්හීස සීසෝ හෝති යනුවෙන් දෙ තිසකි.

සුප්පතිට්ඨිත පාදො

බුදුරජාණන් වහන්සේ පය බිම තබන කල්හි මනා කොට මුළු මහත් පා සටහනම එක සේ පොළොවේ පිහිටති. මෙය මහා පුරිස ලක්ෂණයකි.

හෙට්ඨපාදතලෙසු චක්කානි ජාතානි

භාග්‍යවතුන් වහන්සේ යටිපතුල් යුවලෙහි දහසක් ලාංඡන පිහිටා ඇත. ඒ ද මහා පුරුෂයකුට පිහිටන දෙයකි.

ආයතපණ්හි

දික් වූ විළුම් ඇති බව ප්‍රකාශ වේ. සාමාන්‍ය මිනිසාගේ පතුල්වලට වඩා බුදුරජාණන් වහන්සේ ගේ දෙපතුල මුල් කොටස මදක් ඉදිරියට ඇති අතර තෙවන කොටස සිහින් ව සෝභමාන ලෙස පසුපසට විළුඹ ඇතිව මනාව පිහිටා ඇත.

දීඝංගුලි

සෙසු මිනිසුන්ගේ ඇඟිලිවලට වඩා බුදුරජාණන් වහන්සේගේ අත්පාවල ඇඟිලි මුල මහත්ව ද අගින් සිහින්ව ද සමව පිහිටා ඇත.

මුදු තලුන හත්ථපාදො

බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේ ය.

ජාලහත්ථ පාදො

බුදුරජාණන් වහන්සේ ගේ දෑත් දෙපාවල ඇඟිලි දක්ෂ ශිල්පියකු ලවා ලියවා මට සිළුටු කරන ලද රන් රුවක් සේ අක්මුල් හා සන්ධිස්ථාන මනාව පෙළට හා සමව පිහිටා ඇත්තේ ය.

උස්සංඛපාදො

බුදුරජාණන් වහන්සේගේ පාදයෙහි ගෝප් ඇට අන්‍යයන්ගේ ගෝප් ඇට මෙන් නොව ඉහළින් පිහිටා ඇත්තේ ය . එහෙයින් පහසුවෙන් ක්‍රියාකළ හැකි පරිදි ගමන් කළ හැකි ය.

ඒණිජංඝෝ

බුදු රජාණන් වහන්සේ ගේ ජංගාවෝ සෙසු මිනිසුන්ගේ මෙන් නොව මනාකොට ඒණි මුවන් ගේ ජංගා මෙන් පිටුපසින් මස් ගොබයෙන් වම්කුරුව ඇත්තේ ය.

ඨිතකෝව අනොමන්තෝ උභොහි

පාණිතලෙහි ඡණ්ණුකාමී පරිවසති. පරිමජ්ති

සෙසු පුරුෂයන්ගේ මෙන් නොව බුදුරජාණන් වහන්සේ ගේ දණ නො නැමී අත ගා හැකි ය. ඒ අනුව මනාකොට දෙඅත් පිහිටා ඇත්තේ ය.

කොසොහිත වත්ථගුය්හො

කෝෂයකින් වැසුණු පුරුෂ ව්‍යංජනයක් ඇති බව මෙම ලක්ෂණයෙන් නිරූපිත ය.

සුවණ්ණවණ්ණෝ

තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ ව ඇත්තේ ය.

සුඛුමච්ඡවී

තථාගතයාණන් වහන්සේගේ සිරුරේ සම තුනී ය. එබැවින් එහි කුණු, දූවිලි ආදිය නො තැවරේ. නෙළුම් පතකට ලූ පිනි බිඳු එහි නො ඇලී ඉවත් වන්නාක් මෙන් ඉවත් වෙයි.

එකෙක ලොමො

බුදුරජාණන් වහන්සේගේ ලෝම කූපයක එක් ලෝමයෙක් පමණක් ඇති අතර සෙස්සන් ගේ ලෝම කූප දෙක තුන වැඩෙති.

උද්ධග්ග ලොමෝ

සෙසු අයගේ ලෝම නන් අයුරින් විහිදී පිහිටා ඇති අතර බුදුරදුන්ගේ ලෝමයන් දකුණට කරකැවී ඇත.

බ්‍රහ්මජ්ජුගත්තෝ

බොහෝ දෙනාගේ ශරීරය ඉදිරියට හෝ පසුපසට නැමී ඇති අතර, තථාගතයන් වහන්සේගේ ශරීරය ඍජුව බ්‍රහ්මයාගේ මෙන් පිහිටා ඇත.

සත්තුස්සදෝ

බොහෝ දෙනකුගේ ශරීරවල ඇට නහර මස් ගොබ එල්ලී පවතින අතර තථාගතයාණන් වහන්සේගේ ශරීරයේ එසේ ඇට , මස්, නහර ඉලිප්පී නැත. එය මහා පුරුෂයකුගේ ශරීර විලාසයයි.

සීහපුබ්බද්ධකායෝ

බුදුරජාණන් වහන්සේගේ ශරීරය පරිපූර්ණ ව සිංහයකුගේ ලක්ෂණ ගනියි.

විතන්තරංසො

සෙසු පුරුෂයන්ගේ පිට ප්‍රදේශය දෙපසට දෙපළුව පිහිටා ඇති අතර තථාගතයාණන් වහන්සේගේ පිට ප්‍රදේශය තනි කෙළින් ඇති ලෑල්ලක් සේ සමතලාව පිහිටා ඇත.

නිග්‍රෝධ පරිමණ්ඩලො

බුදුරජාණන් වහන්සේගේ රූප කාය උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් ගැළපී ශරීර සෝභාවෙන් යුක්ත ය. නුග ගසේ උස, දිග, පළලින් සම වන්නා සේ ය.

සමවත්තක්ඛන්ධෝ

තථාගතයාණන් වහන්සේගේ ගෙළ රන් කලසක කර සෙයින් මනාව වටවී සිටින්නේ ය. කතා කිරීමේ දී සෙසු අයගේ නහර ඉලිප්පී තිබුණ ද බුදුන් වහන්සේගේ එසේ නැත.

රසග්ගසග්ගි

තථාගතයාණන් වහන්සේගේ ශරීරයේ සක් සියයක් රසනහර උඩුකුරුව ගොස් ගී‍්‍රවය තෙක් පිහිටා තිබේ. එනිසාම රස ඕජෝගුණය මුළු මහත් ශරීරයට එකසේ පැතිරී යයි.

සීහහනු

සිංහයාගේ උඩු හක්ක අසම්පූර්ණ වෙන අතර යටි හක්ක සම්පූර්ණ ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ යටි හක්ක මෙන්ම උඩු හක්ක ද සම්පූර්ණ ව පිහිටා ඇත.

චත්තාලීස දන්තො

බුදුරජාණන් වහන්සේගේ හනු සම්පූර්ණ බැවින් දත් විස්ස බැගින් දෙහණුවෝ ම දත් සතලිහක් පිහිටා ඇත.

සමදන්තෝ

සෙසු අයගේ දත් සම නොවී විවිධාකාර ලෙස පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ දත් සමසතලිස් ආකාරයෙන් පිහිටා ඇත.

අවිවරදන්තෝ

තථාගතයාණන් වහන්සේගේ දත් දෙපෙළ එකිනෙකට මනාව පිහිටා ඇත. සෙසු අයගේ දත්වල කුහර ඈත් වීම් ඇත. බුදුරජාණන් වහන්සේගේ එසේ නොවේ.

සුසුක්ක දාඨෝ

මෙනමින් හැඳින්වෙන්නේ උඩු හණුවේ සහ යටිහණුවේ ඇති සතර දන්තයෝ ය. බුදුරජාණන් වහන්සේගේ මේ සතර දළදාවෝ මනා කොට පිහිටි අතර, ඉතා සුදු ය. සිනාසෙන කල ඒවායින් සුදු රැස් විහිදේ .

පහුත ජිව්හෝ

බුදුරදුන්ගේ ජිව්හාව දිගින් ද, පළලින් ද, මෘදු බවින් ද, සම ද වර්ණවත් වේ. එසේ හෙයින් කටහඬ මිහිිරි ය. අසන්නන් ප්‍රබෝධමත් කරයි. ධර්මචක්‍ර සූත්‍ර දේශනාව වැනි හරබර දේශනාවන් අකණිටා බ්‍රහ්ම ලෝක දක්වා ඇසෙන පරිදි දේශනා කිරීමට දිව මහත් සේ රුකුල් විය.

බ්‍රහ්මස්සරො හෝති කරවිකභාණි

අන්‍යයන්ගේ කටහඬට වඩා තථාගතයාණන් වහන්සේගේ කටහඬ ඉතා සියුම් වූවෙකි. ස්වරය බ්‍රහ්මස්වර ලෙස හැඳින්වේ. පහසුවෙන් තේරුම් ගත හැකි ය. කුරුවිකෙවිල්ලන්ගේ නාදය සේ හඳුන්වනු ලබන්නේ කටහඬේ ඇති මිහිරියාව නිසාවෙනි.

අභිනීල නෙත්තෝ

තථාගත බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා යුග්මය ඉතා මනහර වූවෙකි. නේත්‍රාවේ මධ්‍යම මණ්ඩලය දිය බෙරලිය මල් සෙයින් නිල් පැහැ ගනියි. රන්වන් පාට ඇත්තේ ය. රතු, කළු ආදි ඒ ඒ තැන්වල මනා කොට පිහිටීමෙන් කාන්තිය උපදවන්නේ ය. මෛත්‍රිය , කරුණාව, දයාව වැනි ගුණාංගවල දී කරුණා ඇසින් ලෝක සත්වයා දෙස බැලුහ.

ගොපමඛෝ

අන්‍යයන්ගේ ඇස් මෙන් නොව තථාගතයාණන් වහන්සේගේ නේත්‍රා යුග්මය අලුතෙන් උපන් රතු වස්සකුගේ ඇස් මෙන් ප්‍රසන්නය. ඔප දැමූ මැණික් ගුලි දෙකක් මෙන් සිනිඳු මෙන් ම පැහැපත් ය.

උණ්ණාභමුක්කන්තරේ ජාති

බුදුරජාණන් වහන්සේගේ දෙබැම අතර මැද දක්ෂිණාවර්තව ශුභ්‍රවර්ණ රෝමයක් පිහිටා ඇත. ඊට ඌර්ණ රෝම ධාතුව ලෙස නම් කෙරේ.

උණ්හීස සීසෝ හෝති

විශේෂ මාංස පටලයකින් තථාගත බුදුරජාණන් වහන්සේගේ නළලෙහි ඇත්තේ ය. එය උණ්හීස යන නමින් හැඳින්වේ.

මේ ආදි වූ මහා පුරිස ලක්ෂණ තිස් දෙකක් කෙනකුට නො පිහිටන්නේ ය. එසේ පිහිටා තිබුණේ නම් ඒ සක්විති රජකෙනකුට ම වන්නේ ය. ඔවුන් විසින් එම ලක්ෂණ පදනම් කරගෙන සතර මහාද්වීපයම තම පාලනයට නතු කර ගන්නේ ය.