Print this Article


ශාසන ඉතිහාසය හා ජාතියේ ඉතිහාසය කියැවෙන පාලි වංශකථා

බෞද්ධ සාහිත්‍යය 07:

ශාසන ඉතිහාසය හා ජාතියේ ඉතිහාසය කියැවෙන පාලි වංශකථා

වංශ යනුවෙන් අදහස් කෙරෙන්නේ පරම්පරාවයි. ඒ අනුව කිසියම් පුද්ගලයකු, විශේෂිත වස්තුවක හෝ රටක ඉතිහාසය හෝ පරම්පරාව ලියවී ඇති සාහිත්‍ය වංශකතා යනුවෙන් හැඳීන්විය හැකි ය.

මෙම සාහිත්‍ය අංගයට වෛදික යුගය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් හිමිව තිබේ.

බෞද්ධ සාහිත්‍යය යටතේ පාලි වංශකථාවලට විශේෂ තැනක් හිමි වේ. ඒවා පසු කලෙක සිංහල භාෂාවට පරිවර්තනය වීම හේතුවෙන් සිංහල වංශකථා සාහිත්‍ය මෙරට සිංහල ජනයා අතර බෙහෙවින් ජනප්‍රියවී තිබේ.

ලංකාවේ සම්පාදිත සියලුම වංශකථාවල ඇතුළත් වන්නේ සිංහල ජාතියේ ඉතිහාසය මෙන්ම ශාසන ඉතිහාසයයි. එබැවින් ලක්දිව රචිත සියලුම වංශකථා ජාතියේ ඉතිහාසය මෙන්ම ශාසන ඉතිහාසය හැදෑරීමේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

සිංහල ජාතියත් බුදුදහමත් එකිනෙකට සම්බන්ධ කිරීමෙහිලා අවශ්‍ය පදනම නිර්මාණය වූයේ වංශකථා ඇසුරෙනි. විශේෂයෙන් ම සිංහල බෞද්ධ අනන්‍යතාව මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය වීමට අවශ්‍ය වස්තුබීජ සැපයුනේ වංශකථා සාහිත්‍යයෙනි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පවත්වන ලද පළමු හා දෙවන සංගායනා වාර්තාවලින් අනතුරුව ශාසන ඉතිහාසය පිළිබඳ කිසිදු තොරතුරක් පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ අන්තර්ගත නොවේ. ඉන් පසුව ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ පාලි අට්ඨකථාවල හා පාලි වංශකථාවල ය. ඒ අනුව ශාසන ඉතිහාසය පිළිබඳ අඛණ්ඩ වාර්තාවක් සැපයීමෙහිලා පාලි වංශකථාවලින් ලැබුණ දායකත්වය විශිෂ්ටය.

දීපවංශය ලංකාවේ රචිත වංශකථා සාහිත්‍යයේ පළමුවැන්නයි. එහි රචකයා කවරෙක්දැයි නොදැක්වේ. මෙහි අන්තර්ගතය පරිච්ඡේද විසිදෙකකින් යුක්ත වේ. සිංහල ජාතියේ ඉතිහාසය මෙන්ම ශාසනයේ ඉතිහාසය ද සැකෙවින් ගෙනහැර දක්වන මෙහි බුදුරදුන්ගේ ත්‍රිවිධ ලංකාගමනය, පළමු දෙවන හා තෙවන ධර්මසංගායනා, ශාක්‍ය රාජ වංශයේ සමාරම්භයේ සිට මහින්දාගමනය දක්වා තොරතුරු, කකුසඳ ආදි සිව් බුදුවරුන්ගේ සමයන්හී ලක්දිව පැවති තත්ත්වය හා උන්වහන්සේලාගේ ශාසන ලක්දිව පිහිටුවීම ආදි තොරතුරු ඇතුළත් ශාසන වංශකථාවන් මෙහි අන්තර්ගත වේ.

මේ අනුව සිංහල ජාතියේ ඉතිහාසය මෙන්ම ශාසන ඉතිහාසය හැදෑරීමේ දී දීපවංශයේ ඓතිහාසිකත්වය කැපී පෙනේ.

දෙවන ඓතිහාසික මූලාශ්‍රය මහාවංශයයි. එහි මුල් පරිච්ඡේද තිස් හත මහානාම හිමියන් විසින් සම්පාදිත ය. ඉන් අනතුරුව වර්තමානය දක්වා විවිධ කතුවරුන් විසින් මහාවංශයේ සෙසු කොටස් සම්පාදනය කර තිබේ.

මෙම වංශකථා දෙක සම්පාදනය නොවුයේ නම් සිංහල ජාතියේ ඉතිහාසය හෝ ලක්දිව බුදුසසුනේ ඉතිහාසය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වේ. පාලි ගාථාවලින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථ පසු කලෙක සිංහලට මෙන්ම ඉංග්‍රිසි භාෂාවලටත් පරිවර්තනය කර තිබේ.

වර්තමානයේ වුව ලංකා ඉතිහාසය හැදෑරීමේ දී භාවිත කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ මෙම වංශකථා දෙකයි.

යථෝක්ත ප්‍රධාන වංශකථා දෙක හැර වෙනත් විෂයන් යටතේ ලියවුණු වංශකථා රැසක් ලක්දිව ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට ඇතුළත්ව තිබේ. ඒ අතුරින් සංඝමිත්තා රහත් තෙරණිය විසින් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී මහබෝධීන් වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් කරමින් රචිත වංශකථාව මහාබෝධිවංශයයි. එහි ලංකාවේ ඉතිහාසය මෙන්ම ලක් බුදුසසුනේ ඉතිහාසය ද ඇතුළත්කොට තිබේ. එසේම බෞද්ධයන් විසින් බෝධි වන්දනයේ දි භාවිත කෙරෙන “යස්සමූලේ නිසින්නෝව” යන ප්‍රකට ගාථාව ඇතුළත් වන්නේ බෝධිවංශයේ ය.

ලක්දිව බෝධි සංස්කෘතිය හා සම්බන්ධ පුදපූජා වත්පිළිවෙත් නිර්මාණය වූයේ බෝධි වංශය ඇසුරෙනි.

දුටුගැමුණු මහා රජු විසින් ඉදිකරන ලද මහාථුපය හෙවත් රුවන්වැලි මහාසෑය පිළිබඳ ඓතිහාසික තොරතුරු මෙන්ම වෙනත් ශාසනික තොරතුරු ඇතුළත් කරමින් රචිත වංශකථාව ථූපවංශයයි. ලක්දිව ස්ථූපකරණය හා ඒ හා සම්බන්ධ පුද පිළිවෙත් නිර්මාණය වීමෙහිලා ථූපවංශයෙන් ලද දායකත්වය කැපී පෙනේ. කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා හා දන්තකුමරු යන දෙපළ විසින් මෙරටට වැඩමකරවන ලද ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් රචිත ග්‍රන්ථය දාඨාවංශය නමින් හැඳීන්වේ. දළදා වහන්සේ හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු එහි අන්තර්ගත වේ.

දළදා සංස්කෘතිය හා බැඳුණු ආගමික විශ්වාස පද්ධතිය සැකසීමෙහිලා මෙම වංශ කථාව බෙහෙවින් උපයෝගී වී තිබේ.

බුදුරදුන්ගේ කේශධාතු සය නමක් මූලික කරගෙන ඉදි කළ දාගබ් හයක් පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් වංශකථාව ඡකේසධාතුවංශය නමින් හැඳීන්වේ.

බුදුරදුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේ අතුරින් ලලාට ධාතුන් වහන්සේ පිළිබඳ විස්තර විවරණ ඇතුළත් වන්නේ ලලාට ධාතු වංශයේ ය. බුදුරදුන්ගේ ශාරීරික ධාතු වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් වංශකථාව ධාතුවංශයයි. එමඟින් ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වේ.

ලක්දිව පාලනය කළ දැහැමි පාලකයකු වූ සිරිසඟබෝ රජුගේ හිස දන් දීමේ පුවත මූලික කරගත් අත්තනගලු විහාරය ආශ්‍රිත ඓතිහාසික තොරතුරු ඇතුළත් වංශකථාව හත්ථවනගල්ල විහාර වංශයයි.

ඉහතින් සඳහන් කළ සියලුම වංශකථා අනුරාධපුර යුගයේ සිට යුග කීපයක් තුළ සම්පාදනය වී ඇති හෙයින් ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ඒවායේ අන්තර්ගත ව තිබේ. එබැවින් ඒ සියල්ල ලංකා සම්බුද්ධ ශාසනයේ ඉතිහාසය මෙන්ම සිංහල ජාතියේ ඉතිහාසය හැදෑරීමේ දී බෙහෙවින් අත්‍යවශ්‍ය මූලාශ්‍ර වේ.

එසේම සිංහල බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධ පුදපූජා වත්පිළිවෙත් පෙරහර ආදී සංස්කෘතිකාංග සියල්ල නිර්මාණය වීමෙහිලා අවශ්‍ය පදනම සැකසී තිබෙන්නේ යාථෝක්ත වංශකථා ආශ්‍රයෙන් ය. ආරම්භයේ දී පාලියෙන් රචනා වී තිබූ මෙම වංශකථා සාහිත්‍ය සිංහල භාෂාවට පරිවර්තනය වීම නිසා ඒ සියල්ල මෙරට සිංහල බෞද්ධ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

පාලියෙන් පැවතී අවදියේ උගතුන්ට පමණක් සීමා වූ තොරතුරු සිංහලට පරිවර්තනය වීම හේතුවෙන් පොදු ජනයාගේ සිත්ගත් සාමාන්‍ය දැනුමක් බවට පත්ව ඇති අතර එයින් පොදුජන ආගමික චින්තනය පෝෂණය වී තිබේ. මේ අනුව ජාතියේ හා ආගමේ ඉතිහාසය වාර්තා කරන වංශකථාවලට බෞද්ධ සාහිත්‍ය තුළ විශේෂ තැනක් හිමිව තිබේ.