Print this Article


මව් සෙනෙහසට පුද දුන් දාගැබ ඓතිහාසික යුදගනාව ස්තූපය

මව් සෙනෙහසට පුද දුන් දාගැබ ඓතිහාසික යුදගනාව ස්තූපය

මව් සෙනෙහසේ උණුහුමට මනුසතුන් සේ ම වනසතුන් ද එකසේ ලැදිය. මව්කිරි බිඳක වටිනාකම ගෙවීමට අපට මේ භවය ප්‍රමාණවත් නොමැති අතර මව් සෙනෙහස වෙනුවෙන් දස දහස් ගී පබැදුණේ ඒ නිසාවෙනි.

ආදරයේ නාමයෙන් ටඡ් මහල් බැඳුණු බව ලොවපුරා ප්‍රචිළිත වුව ද උත්තරීතර මව් සෙනෙහස වෙනුවෙන් ස්තූප බැඳුණු බව ඔබ නොදන්නවා ඇත.

ලක්දිව ස්තූප නිර්මාණයේ ඉතිහාසය සොයාබලන විට අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ දී ලක්දිවට බුදුදහම පැමිණීමත් සමඟ දෙවන පෑ තිස් රජුගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණු මෙරට පළමු දාගැබ ලෙස ථූපාරාමය හඳුනාගත හැකි ය.

එහෙත් ථූපාරාමයට පෙර ඉදිකරන ලද ස්තූප දෙකක් පිළිබඳව වංශකථා තොරතුරු දක්වා ඇත. බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සමන්තකූටවාසි මහා සුමන නම් දෙවිඳුන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට මහියංගන ස්තූපය ඉදිකර ඇත.

එසේම බුදුන් වහන්සේට පළමු දානය පූජා කළ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් මෙරට නැඟෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ බුදුන් වහන්සේගෙන් ලබා ගත් කේශධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකර තිබේ. මහියංගනය හා ගිරිහඬු සෑය එලෙස ලක්දිව ඉදිකළ පළමු ස්තූප වශයෙන් වංශකතා පෙන්වා දෙයි. නමුත් එය පුරාවිද්‍යාත්මක ව සනාතවී නැත.

ආගමික අවශ්‍යතාවය මූලික කරගෙන බිහිවූ ස්තූප කලාව පසුකාලීන ව පෞද්ගලික ස්මරණයන් සඳහා ද යොදා ගන්නා ආකාරය ඉතිහාසය තුළින් හඳුනාගත හැකි ය. එවන් ස්මරණ ස්තූපයකි යුදගනාව දාගැබ. එහි සුවිශේෂත්වය වන්නේ එය තම ආදරණීය මව වෙනුවෙන් පුතකු විසින් ඉදිකරන ලද ස්තූපයක් වීමයි.

මෙම මව්ගුණ සෑයේ නිර්මාතෘවරයා වූයේ පුලතිසිපුර රජ කළ මහා පරාක්‍රමබාහු රජු ය.

මහා විජයබාහු රජුගෙන්(ක්‍රි.ව.1055-1110) පසුව ලක්දිව කොටස් කිහිපයකට බෙදී යන අතර එහිදී දක්ඛිණ දේශයේ පාලකයා වූයේ මහා විජයබාහු රජුගේ මිත්තා නම් සහෝදරියගේ එක් පුත්‍රයකු වූ මානාභරණ කුමාරයා ය. ඔහු දක්ඛණ දේශයේ පුංඛ ග්‍රාමයේ (වර්තමාන දැදිගම) මූලික කරගෙන පාලනය ගෙනගිය අතර ඔහුගේ බිරිය වූයේ මහා විජයබාහු රජුගේ තිලෝක සුන්දරී නම් බිසවට උපන් රත්නාවලී කුමරියයි. ඔවුන් දෙපළට දියණියන් තිදෙනෙක් වූ අතර පසුව රාජ්‍යය පාලනයට උරුමකම් කීමට කුමරුවෙක් ද උපදිණි. ඔහු පරාක්‍රමබාහු නම් විය.

කිත්සිරිමේඝ රජුගේ ඇවෑමෙන් රජකමට පත්වූ පරාක්‍රමබාහු කුමරු දක්ඛණ දේශයේ සිට මුළු ලක්දිවම එක්සේසත් කිරීමට කටයුතු කරන්නට විය. දැඩි අභියෝග රැසකට මුහුණපාමින් මහත් වූ ප්‍රයත්නයකින් පසුව ක්‍රි.ව. 1153 දී රජරට බලය අත්පත් කරගන්නා පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1161දී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ද තමන් භාරයට ගෙන පූර්ණ රාජ පාලකයෙක් ලෙස මෙරට අභිෂේක විය.

මෙසේ රාජප්‍රාප්ත මහා පරාක්‍රමබාහු රජු ඉදිකළ ස්තූප අතරින් පුරාණ රුහුණූ රටේ ඉදිකළ රත්නාවලී සෑය වර්තමානයේ යුදගනාව සෑය ලෙස හැඳීන්වේ.

මෙම ස්තූපය එතුමා තම මව වූ රත්නාවලී කුමරිය ආදාහනය කළ ස්ථානයේ ඇය ස්මරණය කරනු පිණිස නිර්මාණය කරන ලද්දේ යැයි ජනප්‍රවාදයේ පවතී.

මේ පිළිබඳව පවතින තවත් ජනප්‍රවාදයක් වන්නේ තම මවගේ හා කඩොල් ඇතුගේ භාරකාරත්වය වෙනුවෙන් දුටුගැමුණු කුමරු හා සද්ධාතිස්ස කුමරු අතර සටනක් ඇතිවූ බවත් පසුකාලීනව ඒ පිළිබඳව කම්පාවට පත් සද්ධාතිස්ස කුමරු එම යුධ භූමිය ආශ්‍රිතව ස්ථූපයක් කළ බවයි. චූලාංගනී විහාරය නමින් අයත් ඉදිකිරීම් සංකීර්ණයක් ද මේ ආසන්නයේ ඇති අතර ජනප්‍රවාදයේ පවතින්නේ එම ගොඩනැඟිලි සංකීර්ණය පිහිටුවා ඇත්තේ දුටුගැමුණු සද්ධාතිස්ස යන සොහොයුරන් සටන් වැදුණුු ස්ථානය මුල්කරගෙන බවයි. ඒ අනුව යුදගනාව දාගැබ හෙවත් පුරාණ රත්නාවලී සෑය පරාක්‍රමබාහු රජු විසින් තම මව වෙනුවෙන් ඉදිකළා යැයි සඳහන් මතය පිළිගැනීමට සිදුවේ.

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යුදගනාව ග්‍රාම නිලධාරී වසමේ යුධගනාව ස්ථූපය පිහිටා තිබේ. උතුරින් පුහුලුගල කඳුවැටිය ද, නැඟෙනහිරින් මැණික් ගඟ ද, දකුණින් බුත්තල නගරය ද, බටහිරින් යුදගනාව වැවට ද මධ්‍යගත ව පිහිටි මෙම ස්තූපයේ වර්තමාන උස මීටර් 26ක් වන අතර වටප්‍රමාණය අඩි 1038 අඟල් 6කි. මෙම ස්තූපය නිර්මාණයේ දි පේසාව මත ගර්භයෙන් අඩක් නිමවා ඒ මත වූ සමතලා බිමෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබූ බවට සාධක ඇත.

මෙම දාගැබ හැඩය සම්බන්ධයෙන් විද්වතුන් අතර පවතින එක් මතයක් වන්නේ මෙය කොටවෙහෙර සම්ප්‍රදායේ ස්තූපයක් බවයි. ඒ මතයට අනුව කොටවෙහෙර සම්ප්‍රදායේ ස්තූපයන්හි කොත්කැරැල්ලක් නොමැත. නමුත් ස්තූප නිර්මාණ තාක්ෂණය පිළිබඳ උපදෙස් සපයා ඇති කිසිදු ඓතිහාසික ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයක එවැනි සම්ප්‍රදායක් හෝ හැඩයක් පිළිබඳව සඳහන් වී නොමැත.

ඒ අනුව එම මතය විවාදයට තුඩුදේ. නමුත් මෙරටින් එම හැඩයෙන් යුතු තවත් ස්තූප ගණනාවක් (ලාහුගල කොටවෙහෙර, දැලිවල කොටවෙහෙර) හමුවීම තුළ මෙය නව ආකෘතියක අත්හදා බැලීමක් ද නැතහොත් ස්තූප නිර්මාණය අතරමඟ ඇණහිටීමක් ද යන්න විමසා බැලිය යුතු වේ. කොටවෙහෙර සම්ප්‍රදායක් පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනොනඟන විද්වතුන් ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් හැඩයන් පමණක් මෙරට ශේෂවී ඇති නටබුුන් ස්තූපයන්ගෙන් දැකීමට උත්සාහ ගැනීම නිසා මෙම ස්තූපයේ විශේෂත්වය ද මඟහැරී ඇති බව පෙනේ.

වනගතව පැවැති මෙම ස්තූපය පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වන්නේ 1979 වර්ෂයේ දී වන අතර ඒ අනුව වනය හෙළි පෙහෙළි කර මතු කර ගන්නා මෙම ස්තූපය අද වනවිට වන්දනාමාන කිරීමේ යෝග්‍ය වටපිටාවක් තුළ දැකගත හැකි ය. ස්තූපය ආසන්නයේ මහනුවර යුගයේ දී වරිච්චි බිත්තියෙන් ඉදිකරන ලද ප්‍රතිමා ගෘහයක් ඇති අතර එම ගෘහය ඇතුළත හා පිටත චිත්‍ර දැකගත හැකි ය.

මෙම ස්ථානයට නුදුරින් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ කාලයට අයත් එතුමා විසින් කරවන ලද “ගව්ව” නමින් ප්‍රකට දුර ප්‍රමාණයන් දැක්වූ ශිලා ස්ථම්භයක් දක්නට ඇත. බෝධිඝරයක, පිළිමගෙයක හා ටැම්පිට පිළිම ගෙයකට සමාන ඉදිකිරීමක් මෙම විහාර භූමියේ දක්නට ලැබෙන අතර, නටබුන් ව පැවැති කුඩා දාගැබක් 1992 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ.

මේ ආසන්නයේ ඇති යුදගනාව වැව ඓතිහාසික ව සනාථවන කරුණු අනුව මහානාග රජතුමා විසින් ඉදිකර ඇත.

මුළු ලක්දිවම එක්සේසත් කළ, සාගර බඳු මහා වැව් බැඳ සහලින් රට ස්වයංපෝෂිත කළ, පර රාජ්‍යයන් පවා ආක්‍රමණය කළ මහා පරාක්‍රමබාහු රජු තම ආදරණීය මවගේ ගුණ සිහිපත් කරනු පිණිස ඇය ආදාහනය කළ ස්ථානයේ පුරාණ රුහුණු රට වූ විශාලතම ස්තූපය ඉදිකිරීම තම මව්පියන් වැඩිහිටි නිවාස වෙත පිටුවහල් කරන අජාසත්ත පරපුරේ නූතන දරුවන්ට මනා ආදර්ශයකි.