Print this Article


ගෝධ ජාතක කතාව: රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ ඇයි?

ගෝධ ජාතක කතාව:

රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ ඇයි?

නැති ගුණ ඇති බව පෙන්වා පසුව පාපී කි‍්‍රයාවල නිරත වී තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පුද්ගලයෝ පුරුදු වී සිටිති. නායකත්වය, ජාතික හැගීම, ආගමික ලැදියාව, සීල ගුණය පෙන්වීම, බොහෝ විනය ගරුකවීම, උගත්කම පෙන්වීම, තනතුරු ප්‍රදර්ශනය කිරීම, වචන භාවිතය, මිල අධික වාහන පරිහරණය, අධික වටිනාකම්වලින් යුක්ත ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් සහ ආභරණ පරිහරණය වැනි ක්‍රියාවලින් තමන්ගේ වත්පොහොසත්කම හෝ සීල ගුණය හෝ බලය හෝ තනතුරු නාමය හෝ ප්‍රදර්ශනය කර අභිමත අවශ්‍යතා සපුරා ගැනීමට සමාජයේ විවිධ පිරිස් ඉදිරිපත් වෙති.

එයින් සිදු වන්නේ අවංක, කාරුණික සහ දැහැමි පුද්ගලයින් මුළාවට පත්වීම සහ වංචනිකයින්ගේ ගොදුරක් බවට පත්වීම ය. මේ හේතුවෙන් සත්‍ය ගරුක පුද්ගලයින් තෝරා ගැනීමට අපහසු ය. බොහෝ පුද්ගලයින් රෑ වැටුණ වළේ ම දවල් ද වැටෙන්නේ එම නිසා ය.

ඇතැම් විට දේශපාලනයට පිවිසෙන පුද්ගලයින්ට දේශපාලන දැනුමක් නොමැත. සිල්වත් බව පෙන්වන පුද්ගලයාට ඇතැම් විට සීලයක් නැත. ධනය තිබේ යැයි පවසන්නාට ධනයක් නැත. තනතුරු හෝ බලය හිමි බව පෙන්වන්නාට එවැනි බලයක් හෝ තනතුරක් නැත. සමස්ත සමාජයම මුළා කිරීමට මෙවැනි පිරිස්වලට හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ ගෝධ ජාතකයේ දී දේශනා කළහ.

සමාජයේ ජීවත්වීමේ දී විමසිලිමත් වීම සහ බුද්ධිමත් වීම අවශ්‍යතම අංග බව පෙන්වා දුන්හ.

කොහොන් තපස් හෙවත් බොරු සිල් සමාදන් ව ලාභාපේක්ෂාවෙන් කටයුතු කළ භික්ෂුවක් අරභයා ගෝධ ජාතක කථාව දේශනා කර ඇත. කථා පුවත මෙසේ ය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනකු රාජ්‍ය කරන සමයෙහි අපගේ බෝධිසත්වයන් වහන්සේ ගෝධ කුලයෙහි ගොයකු වී ඉපදුණා. ගොයා තම මව්පියන් සමඟ කුඩා අවධිය ක්‍රමයෙන් ගෙවා දමා හුදකලාව ජීවත්වීම තෝරා ගත්තා. ඔහුට ජීවත්වීමට විශාල තුඹසක් උපකාර වුණා. ඒ සමීපයේ ගල් ලෙනක සිල්ගත් එක් තාපසයෙක් තවුස් දම් පුරමින් ජීවත් වුණා. ගොයාත් පින් රැස් කර ගැනීමේ අදහසින් සෑම දිනකම තාපසයා සමීපයට ගොස් නමස්කාර කර හිතේ සතුටින් තම වාසභවනට පැමිණ ජීවත් වෙන්න පටන් ගත්තා.

තවුස්තුමාට අවශ්‍ය ආහාරපාන අසල පිහිටි ගමේ දායකයින් විසින් ලැබීමට සලස්වා තිබුණා. දිනක් තාපසතුමාට ඉතා රසවත් මාංශ ආහාරයක් වළඳන්නට ලැබී රස තෘෂ්ණාවෙන් ඔහු පෙළී ගියා.

දෙවැනි දින දායකයින් පැමිණි පසු ඊයේ කවර මාංශයක් රැගෙන ආවේ දැයි විමසා සිටියා. එවිට උපාසකයින් කියන්නේ ‘‘පින්වත් තාපසතුමණි, අපහට ඊයේ දින අහම්බෙන් ගෝධ මාංශයක් ලැබී එය රසවත් ව උයා ඔබවහන්සේ වෙත පිළිගැන්වූයෙමි“යි පවසා සිටියා. තාපසතුමා ඔවුන් වෙත කිසිවක් නො කියා ‘‘මා දකින්ට හැමදාම එන්නා වූ ගොයා කෙනෙක් ඇත. ඌ මරා රසවත් මාංශ ව්‍යඤ්ජනයක් සකසා සිත් සේ අනුභව කරමි“යි සිතා උපාසකවරුන් අමතා මෙසේ කියන්න පටන් ගත්තා.

‘‘පින්වත් උපාසකයිනි, ඔබ සැමට සැමදාම මෙසේ පැමිණීමට නොහැකියි, ඇතැම් විට අධික වර්ෂා දිනවල පීඩා විඳිමින් මෙහි පැමිණෙති, එය මාහට සිත් නොදෙන්නේ ය. එබැවින් ලෙනෙහි ම කිසියම් ආහාරයක් පිස ගැනීමට අවශ්‍ය කළමනාකරණ ටිකක් සපයා තබන්නේ නම් ඉතාම උචිතය“යි

පවසමින් හාල්, ලුණු මිරිස් සහ අවශ්‍යම දෑ සිහිපත් කර සිටියා. උපාසකවරුනුත් ඉතාම ශ්‍රද්ධාවෙන් ‘‘අනේ එහෙනම් අපි ඔබ වහන්සේගේ අවශ්‍යතා හෙට සපුරා දෙන්නෙමු“ යැයි පවසමින් පිටත් වී ගොස් පසු දින අවශ්‍ය‘ සියලු ද්‍රව්‍ය ලැබීමට සැලැස්සුවා.

තාපසයා ගෝධ මාංශ රසයෙන්වෙළී ගොස් තමන් වන්දනා කිරීමට එන ගොයා මරා උගේ මාංශ අනුභව කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ගත්තා. වෙනදා මෙන් භාවනාවට පිවිසෙන ගල් ආසනයට පැන නැඟී තාපසයා වස්ත්‍රය යටින් නො පෙනෙන සේ පොල්ලක් තබාගෙන ගොයා එන තෙක් මඟ බලමින් කාලය ගත කළා. ගොයාත් සුපුරුදු ලෙසම ශ්‍රද්ධාවෙන් තාපසයා වැඳ යාමට පැමිණෙන්නේ තාපසයාගේ සිරුරෙන් පිට වෙන ගෝධ මාංශ ගන්ධයෙන් තවුසා ගෝධ මාංශ අනුභව කර ඇති බව දැන ගත්තා.

තවදුරටත් තාපසයා සමීපයට ළංවන විට ඔහුගේ මුහුණ අහංකාරයෙන්, බියෙන් සහ නපුරු අදහස්වලින් යුක්ත බව දැනගත්තා. සියල්ල වටහාගත් ඔහු වහාම එතැනින් පිටවීමට පටන් ගත්තා.

තාපසයා තමන් සමීපයට නො පැමිණ නැවතත් පිටවී යන ගොයා දැක වහා සඟවා තිබූ පොල්ල ගෙන දමා ගැසුවා. ගොයා එයින් මිදී වහා තුඹසට පිවිසියා. එය දුටු තාපසයා

‘‘අපරාදේ මගේ අතින් ඌ ගැලවී ගියා“යි තමාට ම ඇසෙන සේ කියා ගත්තා. එය අසා සිටි ගොයා වෙනත් තුඹස් කටකින් හිස එළියට දමා ‘‘තෝ අතින් මා ගැලවුණා පමණක් ම ය. එහෙත් තෝ සතර අපායෙන් නො ගැලවුණ බව සිහි කරව“යි කියා නැවතත් මෙහෙම කියන්න පටන් ගත්තා.

‘‘එම්බල තාපසය, තෝ තාපස වස්ත්‍රයෙන් සැරසී, අදුන් දිවිසම් පොරවාගෙන, ජටාවෙන් සැරසී කරන කටයුතු කවරේද? තාපස වස්ත්‍රයටත්, අදුන් දිවිසම් සහ ජටාවටත් අවැඩක්ම කළේ යැ“යි කියමින් ඔහුගේ වංචනික කි‍්‍රයාව හෙළා දුටුවා.

එවිට තාපසයා කියන්නේ ‘‘පින්වත් ගොයාණෙනි, ඔබ බුද්ධිමත් ය, විමසුම් නුවණකින් යුක්ත ය. මට ඔබගේ මාංශවලින් කම් නැත. මා මේ ලෙන අතහැර යන්නේ ය, ඉතින් ලෙනෙහි තිබෙන හාල්, ලුණු මිරිස් ආදි අවශ්‍ය කළමනාකරණ ද්‍රව්‍ය සියල්ල දැන් ප්‍රයෝජනයක් නැත්තේ ය., ඔබ ඒවා ගෙනගොස් භුක්ති විඳින්න‘‘යැයි කියමින් ඔහු ගෙන්වා ගැනීමට නැවතත් උත්සාහ ගත්තා.

‘‘තාපසයාගේ කපටිකමට අසුවුණු මම රෑ වැටුණු වළේ නැවතත් දවල් ද නො වැටෙමි“යැයි පවසමින් ගොයා තාපසයා අමතා මෙසේ පැවසුවා. ‘‘තාපසයාණෙනි, මේ තුඹස සියක් රියනක් ගැඹුර ඇත්තේ ය, තෝ අද පටන් මෙතැන නැවතත් රැඳුණොත් තොපගේ පහත් වූ ද, පාපී වූ ද, නපුරු ගතිය මෙහි පැමිණෙන උපාසකයින්ට දන්වන්නෙමි. එවිට තොපගේ කටයුතු සියල්ල නිමා වන්නේය“ යි කියමින් තාපසයා බිය ගන්වා එතැනින් එළවා දැමීමට කටයුතු කළා. පින්වත් මහණෙනි, එකල කූට තාපසයා වූයේ මෙකල මේ භික්ෂුව ය. ගෝධ ව උපන්නේ බුදු වූ මම්ම වේදැයි දක්වා ජාතක කථාව අවසන් කළා.