Print this Article


ධර්මය දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දකින්න

ධර්මය දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දකින්න

“සුගතො සුගතත්තානං - සුගතො සුන්දරං මුනිං”

උන්වහන්සේ දේශනා කළ වචන සියල්ල හදවත දිනාගත් මිහිරි වචන වූ අතර ඒවා මට, සුමට වචන වන හෙයින් බින්දු නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

සුසරතා ලක්ෂණ

සුසරතා ලක්ෂණය යනු නියම ස්වර උච්චාරණය කරමින් කතා කිරීම ය.

සුසණ්ඨාන ලක්ෂණය

සුසණ්ඨාන යනු නියමාකාරයෙන් අක්ෂර උත්පත්ති ස්ථාන ඇසුරු කොට කතා කිරීම ය. එසේ නොකළ කල්හි භාෂාවේ ව්‍යක්ත බව පිරිහේ.

එසේම කාලවාදී වූ, භූතවාදී වූ, අත්ථවාදී වූ බුදුන් වහන්සේගේ දේශනා ගාම්භීර ය. වත්මන් සමාජයේ පුද්ගලයන් තමන් කතා කළ යුතු ආකාරය නිසි ලෙස හඳුනාගෙන නොමැති බැව් පෙනේ.

කාලවාදී

කාලවාදී යනු අවශ්‍ය වේලාවට කතා කිරීමයි. මෙයට හොඳම නිදසුන ලෙස දාරුචීරිය කතාව දැක්විය හැකි ය. දාරුචීරිය තාපස තෙම බුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින කල්හි ධර්මය දේශනා කරන මෙන් ඉල්ලා සිටියේ ය. එවිට බුදුන් වහන්සේ “අකාලොයං දාරුචීරිය පිණ්ඩාය පට්ටඨමහා” යනුවෙන් “දාරුචීරිය මේ පිණ්ඩපාතයේ වඩින වේලාවයි. බණ කීමට සුදුසු වේලාවක් නොවේ.” යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ සේක. යළි යළිත් කරන ලද ඇවිටිල්ලට අනුව සුදුසු වේලාව බලා උන්වහන්සේ දාරුචීරියට ධර්මය දේශනා කළ සේක.

පුණ්ඩරීක

පියුමක් යම් සේ ජලයෙහි නොගැලී සුවඳ දෙමින් පවතී ද එමෙන් ලෝකය සමඟ නොඇලී කටයුතු කරන හෙයින් බුද්ධ යන නමින් බුදුන් හඳුන්වමු.

මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස යාම් ඊම් ආදී විහරණයන් සිදුකොට එහෙත් මිනිසකු තුළ පවතින සසර ගමනට හේතුවන කෙලෙස් සහමුලින්ම දුරුකොට දැමූ නිසා ද උන්වහන්සේට බුද්ධ යැයි කියමු.

උන්වහන්සේ අවස්ථානුරූපීව යතාර්ථය දේශනා කළ සේක. දුටු දේ දුටු දේ ලෙසත්, ඇසුණු දේ ඇසුණු දේ ලෙසත්, දැනුණු දේ දැනුණු ලෙසත් කල්පනා කළ යුතු බවට කෙටි ධර්මානුශාසනාවක් කරමින් බුදුන් වහන්සේ දාරුචීරිය වෙතින් ඉවත්ව ගිය සේක. ඉන් උන්වහන්සේගේ කාලවාදී බව ප්‍රකාශ කෙරේ.

භූතවාදී

සිදු වූ දෙය පමණක් උන්වහන්සේ දේශනා කළ හෙයින් භූතවාදී වූ සේක. උන්වහන්සේ අභූතයක් දේශනා නොකළ සේක. සාකච්ඡාවට ගත යුතු දේ පමණක් සාකච්ඡා කළ සේක.

උන්වහන්සේගේ දේශනා සිවු ආකාර වේ.

එකංස ව්‍යාකරණ

ඉන් අදහස් කෙරෙනුයේ යම් පැනයකට තනි වදනින් පිළිතුරු සැපයීමයි. ඔව්, හැබෑව, නැත, බොරු යනාදී අර්ථය ප්‍රකාශය වන පිළිතුරු සැපයිය හැකි අවස්ථා උදා වේ. එවන් අවස්ථාවන් හි දී එකංස ව්‍යාකරණ භාවිතයට ගෙන ඇත.

විභජ්ජ ව්‍යාකරණ

බෙද බෙදා දැක්වීම මින් අදහස් කෙරේ. අවබෝධය පිණිස ප්‍රශ්නයක් ඇසූ කල්හි විශ්ලේෂණාත්මක ව පිළිතුරු සැපයීම විභජ්ජ ව්‍යාකරණයෙන් අදහස් කෙරේ.

පටිපුච්ඡා ව්‍යාකරණ

ප්‍රශ්න අසන්නාගෙන් ප්‍රති ප්‍රශ්න අසා ඒ තුළින් පිළිතුරු සොයා ගැනීමට ඔහුට අවස්ථාව සැලසීම පටිපුච්ඡා ව්‍යාකරණය පරිදි සිදු වේ.

ඨපනීය ව්‍යාකරණ

පසෙකින් තැබීම මින් අදහස් කෙරේ. ඨපනීය ධර්ම හෙවත් ඨපනීය දේශනා යනු සාකච්ඡාවට නොගෙන පසෙකින් තබන කරුණු ය. අප කවුරුත් දන්නා පරිදි තීර්ථකයෝ සුන්දරිය මරා ජේතවනාරාමයේ පරමල් ගොමුවක සඟවා තබා බුදුන්ට චෝදනා කළහ.

එහිදී ආනන්ද හිමි බුදුන් වෙත පැමිණ වෙනත් නගරයකට යාමට ඇවිටිලි කළ මුත් බුදුන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේ, ඇතැම් ගැටලු විමසූ අවස්ථාවල දී නිර්වාණ ගාමී ප්‍රතිපදාවට නොයෙදේ නම් උන්වහන්සේ නිහඬ වූ සේක. මක්නිසාද යත් එම පැනය අර්ථ රහිත, පසෙකින් තැබිය යුතු ප්‍රශ්නයක් ලෙස උන්වහන්සේ හඳුනාගත් බැවිනි.

බුද්ධ වන්දනාවේ ස්වරය ඉතා මිහිරි ය. එසේම දේශනයේ දී නින්නාද

ලක්ෂණය ද ඉතා වැදගත් වේ. උන්වහන්සේ නිරන්තරයෙන් ගිගුම් නදින් දම් දෙසූ සේක. උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණයට පැමිණි දහස් සංඛ්‍යාත ශ්‍රාවකයාට අදහස් වූයේ උන්වහන්සේ තමන්ට දම් දෙසන ආකාරයක් බව පැවසේ.

සාමාන්‍ය මනුෂ්‍යයා ඉක්මවා ගිය ස්වරූපයක් ඒ කාරණය තුළින් ද ප්‍රකාශ වේ. ද්‍රෝණ බමුණා හා බුදුන් වහන්සේ අතර ඇති වූ පහත සංවාදයෙන් ද මෙම ගුණය ප්‍රකාශ වේ. ඔබ කවුදැ’යි, ද්‍රෝණ බමුණා පිළිවිසි කල්හි, තමන් වහන්සේ මිනිසකු බවත්, දෙවියකු හෝ යක්ෂයකු නොවන බවත් දෙවියන් හා යක්ෂයන් සතු ක්ලේශ ධර්ම තමන් වෙත නොමැති බවත් ප්‍රකාශ කළ සේක. ඒ නයින් ද බුදුන් වහන්සේ උත්තරීතර මිනිසකු බව වැටහේ.

බුද්ධානුස්සතිය වඩන්නකුට තමන් තුළ බුදුන් ජනිත කර ගත හැකි ය. පසුබිමේ ඇති බුදු පිළිමයක් මවා ඒ සඳහා උපකාරයක් ලැබුණ ද, උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ අප හදවතේ නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත්තේ නම්, නියම බුදුන් එහි වැඩ සිටියි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට බුද්ධාදී අටතැන පිළිබඳව සැක දුරු කළ යුතු වේ. එවන් සැක ඇති අයෙක් මිථ්‍යා දෘෂ්ටිකයකු විනා සැදැහවතෙක් නොවනු ඇත. බුදුන් කෙරෙහි අප සැක දුරු කර ගන්නේ කෙසේද?

නව අරහාදී බුදුගුණ තුළින් අප උන්වහන්සේ දැකිය යුතු ය. උන්වහන්සේ තුළ විද්‍යමාන වූ බුදුගුණ කිහිපයක් පිළිබඳව අපි සොයා බලමු.

“රහසත් පවු නොකොට
කෙලෙසරයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
අරහ යැයි නම කියති මුනිඳුට”

මෙම අරහං ගුණය අළලා බුදුන් පිළිබඳව විවිධ අයුරින් කල්පනා කළ හැකි ය. එමෙන්ම සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ, සුගත, ලෝකවිදූ ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ යථාර්ථවත් ව දැකීමට හැකි අයට බුදුන් දැකීමට හැකියාව ලැබේ.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් බොහෝ කලකට පසුව බුදුපිළිම නෙළීම ඇරඹුණි. එසේ වීමට හේතුව බුදුන් වැනි සුවිශේෂී උත්තමයකු පිළිරුවකට නඟන්නේ කෙසේ ද යන ප්‍රශ්නය එදා නිර්මාණය වී තිබීමයි. මුල්කාලයේ දී බුදුන් වහන්සේ නියෝජනය කිරීම සඳහා සිරිපතුල යොදාගත්හ. සාංචි තොරණෙහි දැක්වෙන අනුරූ බෝධීන් වහන්සේ, ධර්ම චක්‍රය, පද්මය බුදුන් වහන්සේ සංකේතවත් කරයි.

පසු කලෙක බුද්ධියෙන් පිරිහෙන්නන් උදෙසා ඔවුන්ගේ හදවතේ බුදුරුව මවා ගැනීමට උපකාරයක් ලෙසින් බුදුපිළිමය නෙළීම ඇරඹිණි. එහෙත් උන්වහන්සේ තුළ පිහිටි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි ගුණ ඒ අයුරින් ම පිළිබිඹු කිරීමට කලාකරුවාට හැකියාවක් නොමැත.

එහෙත් බුදුරුව ඉදිරියේ ඒ ගුණ මතුකර ගැනීමට අපට හැකියාව ඇත්නම්, සුගත ශ්‍රාවකයකු ලෙස බුදුරදුන් දැකීමට ඇති හොඳම ක්‍රමය එය වේ. එවන් උත්තරීතර වූ දහමක් තුළින් අපට විමුක්තිය පසක් කර ගැනීමට මාර්ගය හෙළි කළ උන්වහන්සේ පිළිබඳව දැක්මක් ඇතිකර ගැනීම බුදුන් සරණ යාමයි.

ධර්ම සාහිත්‍යය තුළ ඇතුළත් කරුණු අනුව, උන්වහන්සේ මානුෂිකත්වය ඉක්ම වූ ශාරීරික ලක්ෂණවලින් හෙබි උත්තමයෙක් බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය. එසේම උන්වහන්සේ අතිශය පවිත්‍ර වූ හදවතක් ඇති උත්තමයෙකි.

“කරුණා සීතල හදයං...” කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමයෙකි. මහා කරුණාවෙන් යුතු වූ උන්වහන්සේ ලෞකික, ලෝකෝත්තර සියල්ල අවබෝධ කරගත් ඥාන සම්භාරයෙන් යුතු ප්‍රඥාවන්තයෙකි.

මේ උතුම් ගුණධර්මයන් පිළිබඳව ඇතිකර ගන්නා ප්‍රසාදය තුළින් හදවත පවිත්‍ර වන අතර ඉන් උන්වහන්සේ කවුරුන්ද යන වග අපට පැහැදිලිව දැක ගත හැකි වේ.

“යො පටිච්චසමුප්පාදං පස්සති - සො ධම්මං පස්සති”

ධර්මය දකින්නා බුදුන් දකියි. ධර්මය දැකීමෙන් බුදුන් දැක නිවන් අවබෝධ කර ගැනීමට අපට ශක්තිය වාසනාව උදා වේවායි පතමු.