Print this Article


මල්ලිකා දේවි

මල්ලිකා දේවි

සැවැත් නුවර එක් මල්කරුවකුට සොළොස් අවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුලි තුනක් පැසෙහි ලාගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය.

එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමගදී හමුවිය. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුලි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පිළිගත් සේක.

ඕ උන් වහන්සේ ගේ පා වැඳ බුද්ධාලම්බණ පී‍්‍රතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ.

“ආනන්දය, මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අග මෙහෙසිය වන්නීය’ යි තථාගතයන් වහන්සේ වදාළහ.

කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදින ම කොසොල් රජ අජාසත් රජු හා යුදකොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමාරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය.

රජ අසු පිට හිඳ ම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් පි‍්‍රය වූවා ය.