මොහඳුර නසා ප්‍රඥාලෝකය දැල්වූ සේක
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
පත්බේරිය විමලඤාණ හිමි
කලියුග වර්ෂයෙන් දෙදහස් පන්සිය දහතුන (2513) ක් වූ වෙසක් මස පුර තුදුස්වක් දා
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ දානාදී දස පාරමිතාවන් සම්පූර්ණ කළ අප සිද්ධාර්ථ
ගෞතම බෝසතාණන් වහන්සේ, සූර්යයා අවරදිගින් බැස යද්දී, පූර්ණ චන්ද්‍රයා පෙරදිග අහසේ
උදාවෙද්දී, දඹදිව මධ්‍ය ප්‍රදේශයේ දහසක් බුදුවරුන් පහළ වූ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා
බෝධි මූලය වෙත සපැමිණ සොත්ථිය නම් බමුණා විසින් පූජා කළ කුසතණ අටමිට බෝ මැඩ අතුරා
එම වජ්‍රාසනයෙහි නැඟෙනහිර දිසාවට මුහුණ ලා වැඩ හුන්හ.
දේවතා සමාගමය
අද සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේ සම්මා සම්බුදු වන්නා හ. උන්වහන්සේට ස්තූති පුජා
කරම්හයි දෙව්ලොවින් ශක්‍ර දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය සේනාවක් ද බඹලොවින් මහා
බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්ම සේනාවක් ද කාල නාග රාජයා ඇතුළු නාග පිරිසක් ද බෝ මැඩ අවට
රැස්ව සිටියහ.
මාර පරාජය
වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ආයුධ සහිත අත් දහසක් මවාගෙන ඝෝර වූ ශබ්ද නඟන්නා වූ මාර
සේනාව සමඟ ගිරිමේඛලා නම් හස්තිරාජයා මත නැඟී බෝමැඩ කරා ළං වෙත්ම දිව්‍ය බ්‍රහ්ම නාග
පිරිස පැන ගියහ.
තනිවූ බෝසතාණෝ දානාදී දස පාරමී ධර්ම බලයෙන් මාරයා පරාජය කළහ. බෝසතාණන් වහන්සේ මාරයා
පරාජය කළ විගසින් ම දිව්‍ය බ්‍රහ්ම නාගාදීන් ආපසු දිව ඇවිත් ජය ශ්‍රී මහා බෝධි
මූලයේ දී මාරයාට පරාජයත් බෝ සතුන්ට ජයග්‍රහණයත් හිමි වූ බවට සාධු නාද පැවැත්වූහ.
චතුරංග වීර්යය ඉටා ගැනීම
1. මගේ ශරීරයෙහි සම ගැලවී විසිර ගියත් සම්මා සම්බුද්ධත්වය ලබා මිස මෙතැනින්
නොනැගිටිමි.
2. මගේ ශරීරයෙහි නහර ගැලවී විසිර ගියත් සම්බුද්ධත්වය ලබා මිස මෙතැනින් නොනැඟිටිමි.
3. මගේ ශරීරයේ ඇට ගැලවී විසිර ගියත් සම්මා සම්බුද්ධත්වය ලබා මිස මෙතැනින්
නොනැඟිටිමි.
4.මගේ ශරීරයෙහි මස් ලේ වියළී ගියත් සම්මා සම්බුද්ධත්වය ලබා මිස මෙතැනින්
නොනැඟිටිමි.
යන චතුරංග සමන්වාගත වීර්යය ආරම්භ කළහ. බෝසතාණන්ගේ ඒ වීර්යය නොහැකුළුණේ ය.
උන්වහනන්සේගේ සිහි (සති) ය ද අරමුණට අභිමුඛ ව සිටියේ ය. එතැන් සිට අප මහා බෝසතාණෝ
සර්වඥතා ඥානය පිණිස සිත මෙහෙය වූහ.
පූර්වභාග ප්‍රතිපදාව
තමන්වහන්සේ සසර දී පුහුණු කළා වූ ද, වප්මඟුල් දින සිවුමස් බිළිඳු වියේ දී ද වැඩූ
ආනාපානසති කර්මස්ථානය වඩන්නට වූහ. ඒ අනුව එළඹසිටි සිහියෙන් යුක්තව නො මුළා වූහ.
කාය, චිත්ත පස්සද්ධි වශයෙන් උන්වහන්සේගේ කය සංසිඳුණේ කෙලෙස් පීඩා පහවිය. කෙලෙස්
දැවිලි පහවිය. සිත නා නා අරමුණුවල විසිර නොයා එක් අරමුණකම විය. චිත්තඒකාග්‍රතාවයට
පත්විය.
ප්‍රථම ධ්‍යානය ලැබීම
වස්තු කාමයන්ගෙන් වෙන් වීම නිසා කාය විවේකය ද, ක්ලේශ කාමයන්ගෙන් වෙන් වීම නිසා හෝ
අකුසල ධර්මයන්ගෙන් වෙන් වීමෙන් චිත්ත විවේකය ද , කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ,
උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් වික්ඛම්භණ
විවේකය ද ලබාගත් බෝසතාණෝ සිත අරමුණට නැඟීම වූ විතර්කය ද, සිත අරමුණෙහි හැසිරවීම වූ
විචාරය ද සහිත වූ නීවරණයන්ගේ පහ වීම නම් වූ විවේකයෙන් උපන්නා වූ පී‍්‍රතිය හා සැප ද
ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණියහ.
දෙවන ධ්‍යානය ලැබීම
අනතුරුව විතර්ක විචාරයන්ගේ සංහිඳීමෙන් ස්ව සන්තානයෙහි හටගත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ
චිත්තයන්ගේ එකඟ බව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ, සමාධියෙන් හටගත් පී‍්‍රතිය හා
සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණියහ.
ඉතිරි කොටස වෙසක් අව අටවක (ජුනි 02)පත්‍රයේ පළවේ ... |