Print this Article


අනියත බවේ කමටහන ...

අනියත බවේ කමටහන ...

එදා මෙදා තුළ මානව ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදු වූ අසිරිමත් දිනය අදයි.

දීපංකර පාදමූලයෙන් ආරම්භ වී වෙසතුරු ආත්ම භාවය දක්වාම බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළ අප මහා සිද්ධාර්ථ බෝසතාණන්ගේ උපත ලොවට ශාන්තියක් ම ය. සැනසීමක් ම ය.

අපමණ කාලයක් සසර කැපකිරීම් කොට දුක සේ අවබෝධ කළ බුදු පදවියෙන් සත්ත්ව වර්ගයාගේ භව දුකට ප්‍රතිකාර කළ ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුද්ධත්වය ද ලොවට ශාන්තියක් ම ය. සැනසීමක් ම ය. එසේම එදා සුජාතා සිටු දියණිය පිදූ කිරිපිඬු වළඳා සව් කෙලෙසුන් නසා ලැබූ සෝපාධිශේෂ පරිනිර්වාණය ද චුන්ද කර්මාර පුත්‍රයා පිදූ” සූකර මද්දව“ නම් විශේෂ දානය වළඳා මල්ල රජදරුවන්ගේ සල් වනයේ දී සංස්කාරයන්ගේ අනියත බව පසක් කරමින් ලැබූ අනුපධිශේෂ පරිනිර්වාණය ද ලොවට ශාන්තියක් ම ය. සැනසීමක් ම ය.

උතුම් සම්බුදු තෙමඟුල සිහිගන්වන මේ මොහොතේ එවන් ශාන්තියක්, සැනසීමක් ලැබූ ලෝකය අද වන විට සුසානාගාරයක් වැනි ය. දුටු දුටු තැන රෝග බියෙන්, මරණ බියෙන් තැතිගත් මිනිසුන් ය. බුදුන් ජීවමාන සමයේ විශාලා මහනුවර පහළ වූ රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ නම් තුන් බිය සේ ම අපට අසල්වැසි භාරත දේශය ද දැන් විශාලා මහනුවර සේ ම ය. නූතන විද්‍යාත්මක ලෝකය ඇසට නොපෙනෙන වෛරසයක් අබියස කිසිවක් කර ගන්නට නොහැකිව නිරුත්තර වී සිටී.

දිනෙන් දින ඒ මහා ව්‍යසනයේ බියකරු බව ලොවම අත්විඳිමින් සිටී. අද අප උතුම් සම්බුදු තෙමඟුල සිහි කරන්නේ එවන් පීඩාකාරී පරිසරයක බැවින් තොරණක්, කූඩුවක්, දන්සලක් හෝ වෙනයම් ආමිස පූජාවකින් තෙමඟුල සමරන්නට වෑයම් කරනු වෙනුවට මේ බියකරු ව්‍යසනය ම ජීවිතයේ අනියත බව මෙනෙහි කරන කමටහනක් සේ ගැනීම කොතරම් ශ්‍රේෂ්ඨ ද?

එදා බුදුන් දවස කිසාගෝතමිය තම කුලුදුල් දරුවාගේ වියෝවෙන් වැඩූ අනියත බවේ කමටහන සේ ම පටාචාරාවන් තම පවුලම නැතිවීමෙන් වැඩූ අනියත බවේ කමටහන සේ ම නූතනයේ ද සිය ගණනින් දහස් ගණනින් කිසාගෝතමීලාට, පටාචාරාවන්ට අනියත බව පසක් කරන්නට කමටහන් බොහෝ ය.

සොබා දහම අපට නොමිලේ දායාද කළ ඔක්සිජන් ආඝ්‍රහණය කරන්නට නොහැකිව මර බියෙන් වේදනා විඳින මිනිසුන් දෙස බලා මේ කයේ අනියත බව නුවණින් දකිමින් මරණානුස්සතිය වඩමු. මේ වෙසඟේ සැබෑ සැමරුම විය යුත්තේ එයයි.

මේ ලෝකය නම් “දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ” දුක මතම පිහිටා තිබෙන්නකි. දුක මත පිහිටා තිබෙන මේ ලෝකය හෙවත් සංසාරය නමැති මහා සැඩ පහර මහා බියකරු වූවෙකි.

බුදුන් වහන්සේ තිණකට්ඨ සූත්‍රයේ දී වදාළේ “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති.” මහණෙනි, මේ සසර ඉමක් කොනක් නොපෙනෙන, පරක් තෙරක් නැති දෙයකි.

එය උපමාවකින් කියන්නේ නම් “මහණෙනි, යම් පුරුෂයෙක් මුළු දඹදිව් තලය පුරාම ඇති තණකොළ, වේළී ගිය ලී දඬු, වේලී ගිය කොළ අතු කැබලි එක් රැස් කරයි. එසේ රැස් කරන ලද රොඩු අඟල් හතරක් වූ කොළ රොඩු පරඬැල්වලට නමක් දෙයි. එක ගොඩක් මේ මාගේ අම්මා ය. තවත් ගොඩක් ගෙන මේ මාගේ අම්මාගේ අම්මා ය. තවත් ගොඩක් ගෙන මේ ආච්චි අම්මාගේ අම්මා ය. මෙසේ කරන කල්හි මුළු දඹදිව් තලයේ ම කොළ රොඩු, ලී දඬු, පරඬැල් අවසන් වෙයි. එහෙත් සසරේ මව් පරම්පරාව අවසන් නොවෙයි. අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ සංසාර ගමන අනවරාග්‍රයි. ඉමක් කොනක් නොපෙනෙන්නේ ය.” යනුවෙනි. මේ සූත්‍රයේ අවසානයේ බුදුන් වහන්සේ මෙසේ වදාරති. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කාලයක් දුක් විඳින ලදී. තියුණු දුක් විඳින ලදී. ඤාති ව්‍යසන ආදී ව්‍යසන විඳින ලදී. පොළොවෙහි සුසානයන් වර්ධනය කරන ලදී. මහණෙනි, ඒ නිසා සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට අවශ්‍ය ම ය. නො ඇලෙන්නට අවශ්‍ය ම ය. මිදෙන්නට අවශ්‍යම ය. “ඔබත් මමත් මේ ගෙවාගෙන ආ සංසාර ගමනේ මේ සා වූ තියුණු දුක්ඛයන්ට ගොදුරු නොවුණේ යැයි ද, මේ මහා පොළොවේ සොහොන් කොත් වර්ධනය නොකළේ යැයි ද කෙසේ නිගමනයකට එළඹිය හැකි ද?

එනිසා නුවණැති බොඳුනුවනි, අප දෑස් මානයේ පෙනෙන ලොවම සලිත වී ඇති මේ මහා ව්‍යසනය ම කමටහනක් ලෙස ගෙන මේ දුක් සහිත ගමන නවතා දමන ධර්මානුකූල මාවතට අවතීර්ණ වෙමු. හිත පුරා උඩු දුවන පාපී සිතුවිලි මරා දමන්නට සිත නිරෝධායනය කරමු.

රාගය, ද්වේෂය, මෝහය, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, කුහකකම, වංචාව, අනුන් සතු දේ ඩැහැගැනීම, එකිනෙකා පරයා යෑම හා අනුන් පහත් කොට තැකීම වැනි පාපී සිතුවිලිවලට සිතේ නවාතැන් ගන්නට ඉඩ නොදී සිත නිරෝධායනයට ලක් කරමු. කය වෛරසයෙන් වෙළා ගන්නට පෙර සොබා දහමෙන් ලැබූ මේ නිරෝධායන කාලච්ඡේදය සිත වෙළා සිටින කෙලෙස් මල සෝදා හරින්නට ම යොදවමු. එවිට ඔබ මේ අසිරිමත් වෙසඟ සැබෑ ලෙසම සැමරුවා වැනි ය.

ලොවේ රෝග බිය දුරුවේවා.