Print this Article


ධර්මය අල්ලාගෙන සිටීමට නොවේ සංසාර විමුක්තිය පිණිසයි

ධර්මය අල්ලාගෙන සිටීමට නොවේ සංසාර විමුක්තිය පිණිසයි

ගෞතම බුදුරජාණන් වහන්සේ මීට වසර 2565 කට පෙර වැඩ සිටි උතුමකු වුව ද උන්වහන්සේ විසින් දේශීත ධර්මය එම යුගයට පමණක් සීමා වී නොමැත. සෑම කාලයකට ම උචිත ය. සමාජය දිනෙන් දින වෙනස් වෙයි. බුදු දහම ද එසේ වෙනස් වන සමාජයට යෝග්‍ය වෙයි. මේ අනුව බුදු දහම කාලයත් සමඟ ගමන් කරන දහමකි.

ක්‍රි.පූ. 6 වැනි සියවස පමණ වන විට ඉන්දීය දෘෂ්ටි වාද සංඛ්‍යාව දෙසැටක් පමණ විය. මිනිසා මෙම දෘෂ්ටි වාදයන්හි පැටලී සිටි සමයක බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක.

සය වසරක් මුළුල්ලේ සමකාලීන දෘෂ්ටි වාදය පිළිබඳව අධ්‍යයනයක් කළ උන්වහන්සේ මිනිසාගේ නිදහසට බාධක වූ සියලු දෘෂ්ටි වාද බැහැර කළහ. කිසිදු අන්තයකට නොබැස මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළ බුදුන් වහන්සේ මිනිස් චින්තාවලියේ පිබිදීමක් ලොවට දායාද කළහ. සමකාලීන ශාස්තෘවරුන් විසින් නොපෙනෙන දෙවියකුට පාවා දුන් මිනිසාගේ ස්වාමිත්වය උන්වහන්සේ විසින් මිනිසාට පවරන ලදී.

“තුම්මෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා” යනුවෙන් තමන් කළමනාදේ කළ යුතු ය. තථාගතයන් වහන්සේ මඟ පමණක් කියන සේක. යනුවෙන් අනුශාසනා කළහ.

මිනිසාගේ විමුක්තිය පිළිබඳව දේශකයකු මිස විමුක්ති දායකයකු නොවූ උන්වහන්සේ මඟ පමණක් පෙන්වා වදාළ සේක.

බුද්ධිමතුනට පමණක් ගෝචර වන්නා වූ බුදු දහම “පඤ්ඤා වන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස”

අවිචාරවත් ලෙස මිනිසා වෙත පැට වූ දහමක් නොවෙයි. හුදෙක් මෙම ධර්මය අල්ලාගෙන සිටීමට නොව සංසාර විමුක්තිය පිණිස හේතු වන බව “නිත්ථරණත්ථාය නො ගහණත්ථාය” යනුවෙන් අවධාරණය කළ උන්වහන්සේ සැමට පොදු දහමක් පෙන්වා දුන්හ.

සෑම විට ම ප්‍රතිපත්තියට මුල් තැන දුන් බුදුරජාණන් වහන්සේ සංදිට්ඨිකො අකාලිකො යන්නෙන් දහම් ඇසූවන්ට මෙලොව දීම කල් නොයවා ඵල ලැබූ දහමක් දේශනා කර ඇත.

නා නාවිධ දෘෂ්ටි වාදයන්ගෙන් වෙළී සිටි එකල ජනයාට ස්වාධීන ව සිතීමට පවා අවස්ථාවක් නොවීය. එසේ ස්වාධීන ව සිතීම බ්‍රාහ්මණ දහමට විරුද්ධවීමක් විය. ඔවුහු යම් දණ්ඩනයකට පවා ලක් වූහ. ඔවුන්ගේ එකම පිහිට නොපෙනෙන දෙවියකු විය. එහෙත් ස්වකීය විමුක්තිය සලසා ගැනීම පුද්ගලයාට ම පැවැරූ බුදුරජාණන් වහන්සේ “අත්තදීපා විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා” යනුවෙන් පුද්ගලයාට නිදහස් ව, නිවහල් ව සිතීමටත්,

පර්යේෂණයටත්, නිගමනයන්ට බැස ගැනීමටත් ඉඩ සැලසූහ. පුද්ගල නිදහස අවධාරණය කරන ලද බුදු දහමෙන් අසීමිත බව කාලාමයින් අමතා දේශීත ධර්මයෙන් ම මනාව ප්‍රකාශ වෙයි. බුදුදහම මඟින් පුද්ගල නිදහස බොහෝ සෙයින් අවධාරණය කළ ද විනාශකාරී නිදහස සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට ඇත. වරෙක චූලමාලුංක්‍යපුත්ත තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ලෝකයත්, ආත්මයත් පිළිබඳව ය. එහෙත් බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයන්ට පිළිතුරු නොදී සිටියේ විනාශකාරී නිදහස ප්‍රතික්ෂේප කරන බැවිනි.

බුදුරජාණන් වහන්සේ ජීවත් වන කෙනකුට මූලික වශයෙන් බලපානුයේ ආහාර ප්‍රශ්නයයි යනුවෙන් දේශනා කළහ.”එකනාමකිං සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන දේශනා පාඨයෙන් ඒ බව පැහැදිලි ය.

ආහාරය පුද්ගලයාට නිරායාසයෙන් නොලැබේ. දරුවාට, බිරිඳට සැමියාගෙන් හෝ ආහාර ලැබෙතත් සෙසු අයට ආහාර නොලැබෙයි. ඒ අනුව ගෘහස්ථයා ධනෝපාර්ජනය කළ යුතු ය. ඒ සඳහා මිථ්‍යා කර්මාන්ත කිරීම බුදු දහමෙන් අනුමත නොකරයි. ඒ අනුව දැහැමි රැකියාවක් කළ යුතු ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් සමකාලීන ඉන්දියානු සමාජය දෙස අවධානය යොමු කොට දැහැමි රැකියා කිහිපයක් අනුමත කර ඇත.

ගොවිතැන, වෙළෙඳාම, ගව පාලනය හා රාජ්‍ය සේවය වැනි සේවාවන් ගිහියාට මෙලොවත් පරලොවත් අනර්ථකාරී නොවන සම්‍යක් කර්මාන්ත හැටියට පෙන්වා ඇත. වර්තමානයේ විද්‍යාත්මක ලෝකය තුළ කර්මාන්ත හා වෘත්තීන් රැසකි. බුදු දහමින් මෙම කර්මාන්ත පිළිබඳව සඳහන් නොකළ ද අන්‍යයන්ට අනර්ථ නොවන පුද්ගලයාගේ අනර්ථයට හේතු නොවන, කර්මාන්ත රැකියා පුද්ගලයාගේ මෙලොව පරලොව ජීවිතය යහපතට හේතු වන බව දැක්විය හැකි ය.

වර්තමානයේ බොහෝ දෙනකු සියල්ල සිදුවන්නේ කර්මයට අනුව යැයි සිතා උත්සාහයෙන් තොරව උදාසීන ව සිටිති. බුදුදහම පුද්ගලයා කෙරෙහි බලපාන්නා වූ කර්මවාදයත් දක්වන්නේ නමුත් සියල්ල කර්මයට අනුව සිදුවන බව දක්වා නැත.

බුදු දහමට අනුව සියල්ල කර්මයට බාර කොට සිටින්නවුන් කම්මැලියෝ ය. කර්මයට අනුව සිදුවන විපාක උත්සාහය අනුව වෙනස් කළ හැකි ය. බුදු දහම පෙන්වා දෙනු ලබන්නේ තමන්ට සම්පත් නැති නම් එය නැතැයි කියා සිටීම නොව සම්පත් ලැබීම සඳහා උත්සාහයෙන් යුතුව මහන්සියෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. “වායමෙථෙව පුරිසොව අත්ථස්ස නිෂ්ඵදා” යන පාඨයෙන් ඒ බව මනාව පැහැදිලි වේ. ඒ අනුව කර්මයට, වාසනාවට, ජීවිතය පවරා නොදී තම අදහස් සපුරා ගැනීමට උත්සාහ කළ යුතු ය.

ඉගෙන ගන්නා වූ ශිෂ්‍යයාගේ පටන් රට පාලනය කරන රජු දක්වා සෑම තරාතිරමකම අයකු උදාසීන නොවී කාර්යශීලී ව උත්සාහවත් ව එහි යෙදිය යුතු ය. එම තැනැත්තා මෙලොව යහපත් ලෙස දිවි පවත්වයි. පරලොව ද සඵල කර ගනී. ඒ අනුව ජීවිතය යහපත් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් උත්සාහය අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

බුද්ධ දේශනාව ප්‍රතිපත්තියට මුල්තැන දුන් බව ඉහත කරුණු මඟින් පැහැදිලි වනු ඇත. ඒ අනුව ධර්මයේ සඳහන් කරුණු සිය ජීවිතවලට ඇතුළත් කරගෙන ඒ අනුව ජීවිත හැඩ ගස්වා ගැනීමට තව තවත් ක්‍රියා කළ යුතු ය. එමඟින් මිනිසාට යහපත් ශීල සම්පන්න ජීවිතයක් ගත කර මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.