යසෝධරා මහ රහත්
තෙරණින් වහන්සේ
එදා දීපංකර බුද්ධ ශාසනයේ සුමිත්‍රාවෝ වූ ඇය යසෝධරා ආත්මභාවය දක්වා අනන්ත දුක්
විඳීමින් ද, පින් එක්රැස් කරමින් ද, බෝසතාණන් වහන්සේ හා එක්ව සාරාසංඛ්‍යය කල්ප
ලක්ෂයක් වූ ඒසා අති දීර්ඝ සසර ගමන එන්නී ය.
අප බෝසතාණෝ රජකම පමණක් නොව දරුවන් ද, තමාව ද දන් දෙමින් දාන පාරමිතාව සපුරද්දී
මිහිකත සත් වරක් ගුගුරා කම්පා වුව ද පුණ්‍යවන්තිය වූ යසෝධරාවෝ එදා මන්ද්‍රි දේවිය
මොහොතකටවත් කම්පා වූයේ නැත. “ මා හිමි පතන බුදුබව ම වේවා!” යැයි එක් සිතින් පැතුම්
පතන්නී ය.
සිදුහත් කුමරු ලුම්බිනි සල් උයනේ උපන්දා ම සුප්පබුද්ධ රජ මැඳුරේ යසෝධරාවෝ උපත
ලබන්නී ය. එදා සුන්දර වෙසක් පුන් පෝ දවස යි. රාහුල මාතාව නම් ඒ යශෝධරා උත්තමාවිය
යි. ඕ බිම්බා දේවිය යි. භද්දකච්චායනාය. මහා බෝසතුන්ට පෙරුම්පුරන සසරේ සහය වූ
ස්ත්‍රී රත්නය යි.
සසරේදී යසෝධරාවෝ මියගිය සැමියාට කඳුළින් ප්‍රාණය ලබා දුන්නා ය. මවක සේ, සහෝදරියක
සේ, යෙහෙළියක සේ හිමියාට මෙහෙවර කළාය.
ඕ පවිත්‍ර බවේ සංකේතය යි. ළබැඳී සෙනෙහසින් එතරම් කඳුළු සැලූ වෙනත් ස්ත්‍රියක් නැති
තරම් ය. තපසට ගිය බෝසතාණන්ගේ තපස ඕ නෙබින්ඳා ය. සැමියා බඹසර රකිද්දී වසර දහස්
ගණන් ඇය බ්‍රහ්මචාරිනියක වූවා ය.
සිදුහත් කුමරුට අයත් ව තිබූ රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගා තුන ද සියලුම දැසි
දස්සන් ඇතුළු වස්තු සම්පත් ද යන සියල්ල යසෝධරාවනට හිමිවිය. නමුත් තම පුතු ද
බුදුරජාණන් වහන්සේ හා එක්ව මහණ දම් පුරද්දී මේ කිසිවකින් මට කුමන පලක්දැයි, සිතා
අනගාරික ව බුදු සසුනේ පැවිදි බව පතා විසාලා නුවර ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ ආරාමය
වෙත දහසක් කාන්තාවන් සමඟ ඉතා දුෂ්කරව පනස් එක් යොදුනක් පා ගමනින් ගොස් ප්‍රජාපති
ගෝතමීන් වහන්සේ වෙත පැමිණ එතුමිය සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි
උපසම්පදාව ලද්දීය.
භාග්‍යවතුන් වහන්සේ යශෝධරාවගේ අපමණ ගුණ ගැන සියලුදෙනා ඉදිරියේ කියා පෑහ.
“රාහුල මාතාවෙනි, බුදු කෙනකුගේ පහළ වීම දුර්ලභ ය. මිනිසත් බව ලැබීම ද දුර්ලභ ය.
බුද්ධ දර්ශනය දුර්ලභ ය. ඒ බුදුන්ගෙන් ධර්ම ශ්‍රවණය ද දුර්ලභ ය. පැවිදි බව ද එසේම
දුර්ලභ ය. එබැවින් අප්‍රමාදී ව සීල, සමාධි, ප්‍රඥා වැඩිය යුතු ය.”
ඒ අමා බුදු වදන් එලෙසින් ම සිතට ගත් යශෝධරා මෙහෙණින් වහන්සේ අප්‍රමාදී ව සමථ
විදර්ශනා භාවනා වැඩූහ. ඉන්පසු ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ දෝමනස්සයන්ගෙන් ද
පීඩා නො විඳ සදහට ම නිදහස් වුණි. උන්වහන්සේ අභිඤ්ඤාලාභි භික්ෂුණීන් අතරින් අග්‍ර බව
ද ලැබුවා ය. එදා පටන් දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද එතුමියගේ සිරිපා වන්දනා කළහ.
එතුමියගේ ජීවිතය තුළින් අපට ද ගතහැකි ගුණ බොහෝ ය. අපේ සිත බොහෝ විට චපල ය. නමුත්
එතුමියගේ සිත චපල නැත. ගංගාවක් වක්‍ර ව ගලන්නා සේ කාන්තාවකගේ සිත වක්‍ර වුවත් සසරේ
කෙදිනකවත් එතුමියගේ සිත වක්‍ර වූයේ නැත. ඒ සිත සෘජු ය. ස්වාමියාට ම ඇය දිවි පිදුවා
ය. සසර ගමනේ දී මහා බෝසතාණෝ පැතුවේ බුදු බව යි. යසෝධරාව නො පැතුවා ය. නමුත් යශෝධරාව
බුදු බව පත පතා සසරේ යන ස්වාමියා පැතුවා ය.
එලෙස ම ස්වාමියා නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට බිරිය අතහැර යන සෑම ආත්මයක
දී ම ඇය ඉවසන්නී ය. ඇය ද පැවිදි වෙමින් ආත්ම කෝටි ගණන් ගෙවා ආවා ය. ඔබ වහන්සේ පතන
සර්වඥතා ඥානය ලැබේවා! යැයි නිරන්තරයෙන් ඇයගේ පැතුම විය.
බොහෝ ස්ත්‍රීන්ගේ ස්වභාවය උපමාකර ඇත්තේ කලු නාගයාට ය. ඒ ඇය වහා කිපෙන නිසා ය. නමුත්
යසෝධරාවෝ සසරේ දී ස්වාමියාට කිපුණේ නැත. සාප කළේ නැත. එමෙන් ම කාන්තාවගේ සාමාන්‍ය
ස්වභාවය නො ඉවසීම යි. නමුත් යසෝධරාවෝ බෝධිසත්ත්වයන් වහන්සේ නිසා බොහෝ දේ ඉවසුවා ය.
බෝධි සත්ත්වයන් ඉවසීම පුරුදු කළේ සර්වඥතාව වෙනුවෙනි. යසෝධරා ඉවසීම පුරුදු කරමින්
සිටියේ තම ස්වාමියා වෙනුවෙනි. එනිසාම ඇය ස්වාමියාට දිවි පිදු තැනැත්තිය වන්නී ය.
එලෙසම යසෝධරා උත්තමාවිය සසරේ දී බොහෝ දේ දරා ගත්තා ය. බෝසතාණෝ ඇය අන් පුරුෂයන්ට සරණ
බන්ධනය කර දෙන විට ඔබගේ සර්වඥතාව වෙනුවෙන් මම මෙය දරා ගන්නවා යැයි ඇය පවසන්නී ය.
බෝසතාණෝ තම දරුවන් දන් දෙමින් දාන පාරමිතාව සපුරා ගනිද්දී ඇය ඒ සියල්ල දරා ගත්තා ය.
ඇය නිරන්තරයෙන් සත්‍යවාදී වූවා ය. සසරේ දී එතුමිය සත්‍ය බලවෙන් සත්‍ය ක්‍රියා කොට
මහ පොළොව පවා සලිත කළා ය.
එතුමිය දැන් හැත්තෑ අට වයස් ය. සම්බුද්ධත්වයෙන් හතළිස් තුන් වන වසර ගෙවී යන්නේ ය.
එක්තරා දිනෙක ගිජ්ජකූට පර්වතයෙහි කුටියක වැඩ වසන සම්බුදු හිමි දහම් දෙසද්දී යසෝධරා
උත්තමාවිය තවත් දහස් ගණන් මෙහෙණින් වහන්සේ සමඟ දහම් අසන්නට වැඩම කළ සේක. දහම් අසා
කුටියට වැඩි එතුමිය මෙසේ සිතන්නී ය.
“සුදොවුන් රජු ද, මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේ ද, නන්ද සහ රාහුල රහත් තෙරුන් ද,
සැරියුත් මුගලන් අගසව් වහන්සේලා ද අග්‍ර ශ්‍රාවිකාවෝ ද, කොණ්ඩඤ්ඤ ආදී මහරහතුන්
වහන්සේ සියලුම දෙනා පිරිනිවන් පෑහ. භාග්‍යවතුන් වහන්සේ හා එකම දා එකම මොහොත්, එකට
උපන් මා උන්වහන්සේ සමාන වයස වූයෙමි. නමුත් මම භාග්‍යවතුන් වහන්සේට පෙර පිරිනිවනට
පත්විය යුතුයැයි” සිතූහ.
පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි ඇය “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස අද රාත්‍රියේ
දී ම ජාති, ජරා, ව්‍යාධි, මරණ කිසිත් නැති ඒ නිවන් පුරයට යාමට සිතුවෙමි.
භාග්‍යවතුන් වහන්ස අනන්ත සසර පුරා මට ඔබ වහන්සේ සෙවණැල්ල සේ ම පැමිණියෙමි. ඒ සෑම
ජාතියක දී ම මම ඔබ වහන්සේ ට පක්ෂපාති වූයෙමි. සිතාමතා මම කිසිදින ඔබ වහන්සේ ඉක්මවා
නො ගියෙමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ අන්තිම ආත්මය යි. යළි ඉපදීමක් නැති
මා අතින් සසර පුරා වූ වරදක් ඇතොත් කමා කරන සේක්වා!”
“පින්වත් තෙරණිය, ඔබේ ආනුභාව ලොවට නො දක්වා නිවන්පුර යාම සුදුසු නොවේ. පෙළහර පානු
මැන.”
“තුන් ලොවට ම අග්‍ර වූ අසම සම වූ ලෝක පූජිතයාණෙනි, ඔබ වහන්සේ ඉදිරියේ මෙසේ
පෙළහර පාන්නා වූ මම අන් කිසිවකු හෝ නොව ගිහි කල සිද්ධාර්ථ නමින් දඹදිව රජ කළ
ඔබවහන්සේගේ අග මෙහෙසිය වූ යසෝධරාවන් ම ය.”
ඉන්පසු අහසට පැනනැඟි යසෝධරා තෙරණින් වහන්සේ අනේකවිධ ප්‍රාතිහාර්ය පාමින් මිහිමඬල
සලිත කළ සේක.
සක්වළ තරම් මහත් විශාල වූ ගුරුළු වේශයක් මවාගෙන මුළු දඹදිව තලයම වසා අහසෙහි හිඳ
ගුරුළු නාදයෙන් තුන් ලොව සලිත කරමින් දිව්‍ය නාග රාජයින් බිය කොට මෙසේ කී සේක. “මහා
ගුරුළු රාජයෙක් නොවෙමි. මම යශෝධරා තෙරණිය වන්නෙමි.”
පසුව අහස් ගැබ වැසෙන මහා දිව්‍ය හස්ති රූපයක් මවා එම රුවම තව තවත් සිය දහස් ගණනින්
මවා ඒ තුළින් “මම යසෝධරා තෙරණිය වන්නෙමි” ඝෝෂා කළ සේක.
එමෙන්ම දහසක් තරු පිරිවරා ගත් චන්ද්‍ර මණ්ඩලය අහසේ මවමින් චන්ද්‍ර විමාන නම්
පූජාවෙන් ද, සූර්ය මඬල දක්වමින් සූර්යය විමාන නම් පූජාවෙන් ද පූජා පැවැත්වූහ.
මෙසේ නොයෙක් අයුරින් පෙළහර පා බෝසතාණන් වහන්සේට පාරමි සපුරා ගන්නට සෙවනැල්ල සේ
උන්වහන්සේ ළඟ සිටි සෑම ආත්ම භවයක් ගැනම ලෝකයා හමුවේ වදාළ සේක.
උන්වහන්සේ පාරමිතා සපුරාලීම වෙනුවෙන් තම දූ දරුවන් දන් දුන් අයුරු ද, බැල මෙහෙවර කළ
අයුරු ද, ලෝකයා හමුවෙහි දේශනා කළහ. තවද යකුන්, රාක්ෂයින් අතපය අදිමින් ඉරා දමද්දී
“මගේ හිමි පතන බුදු බවම ලැබේවා!” පැතූ ඒ අතීත ජීවත පිළිබඳව ද වදාළ සේක.
ඉන්පසු පරිනිර්වාණය පිණිස අවසර ලද යසෝධරා මහ රහත් තෙරණියෝ භාග්‍යවතුන් වහන්සේ වටා
තුන්වරක් පැදකුණු කොට අවසාන වතාවට බුදු සිරිපා වන්දනා කළහ. බුදු සමිඳුන් පෙනෙන මානය
තෙක්ම පසු පසට ගමන් කොට මහත් වූ ගෞරවයෙන් බුදුහිමි දෙස බලා පසඟ පිහිටුවා වැඳ ආරාමයට
ගමන් කළහ. උන්වහන්සේ එදින රාත්‍රියෙහි සමාධිගත ව වැඩහිඳ එකින් එක ධ්‍යානයට සමවැදී
පිරිනිවනට වැඩි සේක.
නයනා නිල්මිණී |