Print this Article


බෞද්ධයා ආගම්වාදියෙක් නොවේ

බෞද්ධයා ආගම්වාදියෙක් නොවේ

එකම පැහැති, එකම හැඩැති මල් යායකට වඩා විවිධ පැහැති විවිධ හැඩැති මල් උයනක පවත්නා සුන්දරත්වය වැඩි බවත් ඒ නිසා ම සමස්ත පරිසරයම සුන්දර වන බවත් තේරුම් ගෙන එය ආශ්වාදනය කරන කලාකාමියකු පරිද්දෙන්, මේ විවිධත්වය පිළිබඳ බෞද්ධයා ද දක්වන්නේ බුද්ධිමය ආකල්පයකි.

“ආගම්වාදියා” යන්නෙහි වචනාර්ථය ආගම ගැන කතා කරන්නා යනු යි. එහෙත් එහි වර්තමාන ව්‍යවහාරාර්ථය වන්නේ “සිය ආගම පමණක් ඔසවා තබමින් අනිත් ආගම්වලට ගරහන්නා” යන්න යි. මෙකරුණ “අත්තුක්කංසන පරවම්භන” යන අගුණාංග සමඟ ද සබැඳෙන්නකි.

මේ අනුව “ආගම්වාදියා” යන්නෙහි වරදක් නැති නමුදු එහි එන වත්මන් සමාජ පිළිගැන්මට අනුව නම්, “බෞද්ධයා කිසිසේත් ම ආගම් වාදියකු නොවේ” ය යන්න තහවුරු කරලීම පිණිස කරුණු කීපයක් පාඨක අවධානයට යොමු කරවීම මේ ලිපියේ අදහස යි.

මුලදීම සඳහන් කළා සේ පළමු කොටම අවබෝධ කරගත යුතු වන්නේ ආගම්වාදය නරක දෙයක් නොවන බව ය. වැරැද්ද වන්නේ “ආගම් භේද වාදය” යි. එසේ ම ජාතිවාදය -ජාතිභේදවාදය, නිකායවාදය - නිකාය භේද වාදය යනාදී වශයෙන් ද තේරුම් ගත යුතු ය.

භෞතික ශරීර වශයෙන් මෙන් ම මානසික ස්වරූප වශයෙන් ද නානත්වය, විවිධත්වය මනුෂ්‍ය සමාජය තුළ අනිවාර්යෙන්ම පවත්නා ස්වභාව තත්ත්වයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇත්තාහ. ඒ බව අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස සූත්‍රයේ මෙසේ දක්වන ලදී.

“සන්ති භික්ඛවෙ සත්තා නානත්ත කායා නානත්ත සංඤා සෙය්‍යථාපි මනුස්සා”

ඒ අනුව පිළිගැනීමේ, ඇදහීමේ, ක්‍රියාකාරීත්වයේ සහ බාහිර පෙනුමේ ද විවිධත්වය අනිවාර්ය වූ ස්වභාව සංසිද්ධියක් ය යන්න ධර්මානුකූල ව පිළිගත යුතු සත්‍යයකි. මේ පිළිගැනීම ම වාද භේද දුරු කරලීම අරභයා මහත් සේ උපකාරවත් වන බව ද ඉතාම පැහැදිලි ය.

මෙවන් විවිධත්වයකට හේතුව කුමක් ද යන්නත් බෞද්ධයා මැනවින් දැන සිටි යි. එනම් කර්මය ඇතුළු කොට ඇති නියාම ධර්ම පස යි. ඒ අනුව සිය සිත් හසර මෙහෙයවා ගන්නා ඔහු බිලියන 07 තරම් වූ ලෝක මනුෂ්‍ය ගහණයේ අවම තරමින් එක සමාන මිනිසුන් දෙදෙනෙක්වත් සොයා ගත නොහෙන බව මනා ලෙස අවබෝධ කරගෙන සිටියි.

එකම පැහැති, එකම හැඩැති මල් යායකට වඩා විවිධ පැහැති විවිධ හැඩැති මල් උයනක පවත්නා සුන්දරත්වය වැඩි බවත් ඒ නිසා ම සමස්ත පරිසරයම සුන්දර වන බවත් තේරුම් ගෙන එය ආශ්වාදනය කරන කලාකාමියකු පරිද්දෙන්, මේ විවිධත්වය පිළිබඳ බෞද්ධයා ද දක්වන්නේ බුද්ධිමය ආකල්පයකි.

මේ සම්බන්ධ බුද්ධ චරිතයේ දැක්වෙන නිදර්ශන ද බොහෝ ය. උන් වහන්සේ අන්‍යාගමික ආරාමවලට වැඩම කොට එම පූජක පිරිස් සමග සාකච්ඡා කළහ. ඒ සෑම සාකච්ඡාවක් ම අවසන් වන්නේ වාද භේද වලින් තොරව මිත්‍රශීලී ස්වරූපයෙනි. දීඝ නිකායේ පාටික සූත්‍රය වැනි දේශනාවන් රැසක ම ඒ සඳහා නිදසුන් සැපයෙයි.

බෞද්ධ භික්ෂූන්ට පමණක් නොව අන්‍යාගමික පූජකතුමන්ලා හට ද ගරු කළ යුතු බවත්, නිසි යුතුකම් ඉටුකළ යුතු බවත් පරාභව හා වසල ආදි සූත්‍ර දේශනාවල බුදුරදුන් විසින් අවවාද කරනු ලැබ ඇත. කවර හෝ ආගමක පූජකවරයකු ට වංචා කිරීම මඟින් පුද්ගලයකු පරාභවයට හා වසල භාවයට පත්වන බව ද බුදුරදුන් දේශනා කර ඇත.

යො බ්‍රාහ්මණං වා සමණං වා
අඤ්ඤං වා පි වණිබ්බකං
මුසාවාදේන වංචෙති
තං ජඤ්ඤා වසලෝ ඉති
(වසල හා පරාභව සූත්‍රය)

ආගමික පූජකයන්ට පරිභව කිරීම ද නොකළ යුත්තක් බව එම සූත්‍රයේ ම සඳහන් ය.

මේ බෞද්ධ ආකල්පය නිසා ම ධර්මාශෝක මහ රජතුමා ද සියලූ ආගම්වල ප්‍රජාවට සහනශීලී පිළිවෙතක් අනුගමනය කළේ ය.

ඔහු සිය ගිරිනාර් ශිලා ලේඛනයේ මෙසේ සඳහන් කර ඇත. “සව්වේ මානුසා පජාමම” (සියලූ දෙනාම මාගේ දරුවෝ ය.) එතුමා බෞද්ධයකු ලෙස ක්‍රියා කළ ද වෙනත් ආගමිකයන්ට බලපෑම් කළේ නැත. තම ආගමික ලබ්ධිය අනුන් මත බලයෙන් පැටවීමට රාජ්‍ය බලය යොදා ගත්තේ ද නැත.

ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම මේ සුසමයාදර්ශය පැතිර පවතී. අපේ කිසිදු රජතුමකු අන් ආගම්වලට කරදර කළේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදුකළේ ආගම්වලට රාජ්‍ය අනුග්‍රහය පවා ලබා දීම යි.

ක්‍රි. ව. 1505 දී සිදුවුණු පෘතුගීසි ආගමනය සමග ම අප රටට කතෝලික ක්‍රිස්තියානි දහම ද පැමිණියේ ය. ඔවුන් කෙමෙන් කෙමෙන් දේශපාලන බලය තහවුරු කරගත් පසු අවි බලය යොදවා ගනිමින් සිදු කළේ අහිංසක බෞද්ධයන් සිය ආගමට හරවා ගැනීම යි. සිය දේපළ හා ජීවිත බේරා ගැනීමේ අරමුණින් යුතුව දහස් ගණනක් දෙනා කතෝලික ආගමට අවනත වූහ. එසේ නොකළ ජනයා කෲර ලෙස මරා දැමුණු ආකාරය දුටු ඒ අසරණයින්ට වෙනත් ගත හැකි මඟක් නොවින.

මේ කෲර ක්‍රියාවන් ගැන පැහැදිලි වන එක් සාධකයක් වන්නේ 1660 දී නිකුත් කෙරුණු ලන්දේසි පාලන වාර්තාව යි.

“පෘතුගීසීන් මේ රටේ බෞද්ධයන්ට කරන ලද වද හිංසාවන් දෙවියන් වහන්සේවත් ඉවසුවේ නැති නිසා ඔවුන්ට දඬුවම් පිණිස අප (රෙපරමාදු ක්‍රිස්තියානීන්) මෙරටට එව්වේය” යැයි එහි සඳහන් ය.

වඩා වැදගත් කරුණ වන්නේ, රෙපරමාදු ලන්දේසින් විසින් කතෝලික පෘතුගීසින් මරා දමන්නට වූ අවස්ථාවේ බෞද්ධයන් පෘතුගීසින්ට ආරක්ෂාව සැලසීම යි. තම ඥාති පිරිසට ඒ තරම් කෲරකම් කළ ද ඒවා සියල්ලම අමතක කර ඒ පරම සතුරා අසරණ වූ අවස්ථාවේ පිහිට වන්නට තරම් බෞද්ධ ජනයා ආගමික සහනශීලිතාවෙන් යුතු විය. මේ තත්වය අන් කිසිදු ආගමික ජන කොටසක දක්නට නොමැති සුවිශේෂතාවකි.

එසේම සෙනරත් රජතුමා ද (1627) මුස්ලිම් ජනයාට උපකාරවත් වූ ආකාරය සැලකිය යුතු ඓතිහාසික සාධකයකි. එවක රටේ පැවති වෙළඳ ආධිපත්‍ය හිමිකර ගැනීම සඳහා මුස්ලිම් වෙළඳුන් ඇතුළු එම ප්‍රජාවම සමූල ඝාතනය කිරීමට පෘතුගීසි පාලකයන් යත්න දැරූ අවස්ථාවේ අසරණ වූ මුස්ලිම් ජනයාට අනුකම්පා කර ඔවුන්ට ජීවත් වීමට ඉඩකඩම් ආදී සියලූ පහසුකම් සපයන ලද්දේ සෙනරත් රජතුමා විසිනි. එහිලා බෞද්ධ ජනතාව නොමසුරුව සහය දැක්වූ බවද සිහිපත් කළ යුතු ය. තම ආගමට පටහැනි ලබ්ධියක පිරිසක් බව දැන දැනම ඉස්ලාම් භක්තිකයන්ට එසේ උපකාරවත් වූයේ ආගමික සහනශීලිතාව නමැති තම ගුණයෙහි බෞද්ධ ගිහි පැවිදි පිරිස සුපෝෂිත ව සිටි බැවිනි.

ගෞතම ශ්‍රී පදස්ථානය ද බෞද්ධ සහනශීලතාවට කදිම උදාහරණයකි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක යටතේ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මේ පුදබිම පැහැදිලි ලෙස ම හඳුනා ගනු ලැබ තිබුණ ද අන් ආගමිකයන් ද තම තම උරුමකම් කියමින් වන්දනාවේ නියැළෙන අයුරු ප්‍රකට ව පෙනෙන කරුණකි.

ක්‍රිස්තියානි බැතිමතුන් එය “ඇඩම්ස්පීක්” ආදම්ගේ පා සලකුණ පිහිටි කඳු මුදුන යනුවෙන් ද, හින්දු බැතිමතුන් “සිවනොලී පාදම්” ශිව දෙවියන්ගේ පා සලකුණ යනුවෙන් ද, ඉස්ලාම් බැතිමත්තු ආදම් නබිතුමාගේ පාද සලකුණ සහිත කඳු මුදුන යනුවෙන් ද විශ්වාස කොට ගෙන වන්දනාමානයෙහි නියැළෙති.

මේ ආකාරයෙන් බෞද්ධ නොවන පිරිස් පැමිණ තම තම විශ්වාසයන්ට අනුව වැඳුම් කිරීම ගෞතම ශ්‍රී පාදස්ථාන අධිකාරීන්ගේ හෝ පොදුවේ බෞද්ධ ජන සමාජයේ හෝ විරෝධයට කිසිදා යොමු වී නැත. බෞද්ධයා ආගම්වාදී අන්තවාදියකු නොවන බවට එකරුණ ද වැදගත් සාධකයකි.

ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය මඟිින් ද සියලූ ආගම්වල අයිතිය හා ඇදහීමේ නිදහස තහවුරු කොට තිබේ. බහුතර බෞද්ධ ජනතාවගේ ආගමික සහනශීලිතාව එයින් ද ප්‍රදර්ශනය වේ. ආගම නිසා අප රටේ කිසිදු පුරවැසියකුට කිසිදු ආකාරයක අසාධාරණයක් සිදු වන්නේ නැත.

ඉතිරි කොටස වෙසක් අව අටවක ජූනි 2 බදාදා පුවත්පතේ පළවේ.