Print this Article


බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි

බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි

දවසක් දා අපේ බුදුරජාණන් වහන්සේ උක්කට්ටා හා සේතව්‍ය කියන නගර දෙක අතර මහා මාර්ගයට ගොඩ වැදුණා. මේ මාර්ගයේ ඉදිරියට එමින් සිටියා දෝණ නම් බමුණෙක්. මේ බමුණාට අහම්බෙන් අතරමග දී හමු වූ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අසාමානය රූපකාය දකින විට මෙබඳු අදහසක් ඔහුට පහළ වූවා.

“ මේ නම් අසිරිමත් රූපයක් ම යි. මිනිසකුගේ රුවක් නම් විය නො හැකි යි. මෙබඳු දෙපා මිනිසකුට නම් පිහිටන්නට බැහැ.” මේ වන විට බුදුරජාණන් වහන්සේ පා ගමනින් වඩිමන් සිටි මහමගින් ඉවත් ව අසල තිබුණු ගසක් මුලට වී වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ පා සටහන් දිගේ එතැනට පැමිණි දෝණ බමුණා බුදුරුව බලමින් මෙසේ සිතන්ට වූවා.

“මේ නම් අසාමාත්‍ය පුරුෂයෙක් ම යි. සන්සුන් මනා ප්‍රසාදය උපදවන ඉඳුරන්ගෙන් යුක්ත යි. දමනය වූ සමනය වූ නාග නම් වූ පුරුෂයෙක් ද? බුදුරජාණන් වහන්සේ දැක වහා එතනට පිය නඟා මෙසේ විමසන්නට වුවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හා දොණ බමුණා අතර ඇති වූ සංවාදය ද අසිරිමත් වූවක්.

”භවත්නි, ඔබ දෙවියෙක් ද?

බමුණ, මම නම් දෙවියෙක් නොවෙයි.

ගාන්ධර්වයෙක් ද?

නැහැ මම ගන්ධර්වයෙකුත් නොවෙයි.

එහෙම නම් ඔබ යක්ෂයෙක් ද?

නැහැ මම යක්ෂයෙකුත් නො වෙයි. එහෙම ත් නැති නම් ඔබ මනුෂ්‍යයෙක් ද? බමුණ මම මනුෂ්‍යයෙකුත් නො වෙයි.” මේ අවස්ථාවේ බුදුමුවින් ම ප්‍රකාශ වූයේ තමන් වහන්සේ මනුෂ්‍යයෙක් ද නො වන බව යි. ඉතින් දැන් බමුණාට හිතන්ට මහා ගැටලුවක් ඇති වුණා. ”උපශාන්ත ගති ඇති දැමුණු නැමුණු ඉරියව් ඇති රූප ශෝභාවෙන් පිරිපුන් උත්තම පෙනුමැති මේ පුරුෂයා තමන් දෙවියෙක් නො වන බව ද කියනවා. ගාන්ධර්වයෙක් නො වන බව ද කියනවා. යක්ෂයෙක් නො වන බව ද කියනවා. මනුෂ්‍යයෙක් නො වන බව ත් කියනවා. එහෙම නම් මේ පුරුෂයා කවු ද? බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ම මේ ආකාරයෙන් ප්‍රශ්න කරන්නට වූවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ”

බමුණ මම දෙවියෙක් නම් මා තුළින් කාමාදි ආශ්‍රවයන් ප්‍රහීණ වී තිබෙන්නට බැහැ. මම ඒ සියල්ලක් ඉතා සුලුවෙන් හෝ අල්ප මාත්‍රයක් වත් ශේෂ නො කර සමුපූර්ණයෙන් ම ක්ෂය කර විනාශ කර දමල යි මේ ඉන්නේ. නැවත කවර ම දාක වත් ඒවා අල්ප මාත්‍රයකුදු උපදින්නේ නැහැ. මුලසුන් කරල යි තිබෙන්නේ. මුදුනින්ම කපා විනාශ කරන ලද තල් ගසක් මෙන් සියල්ල නැවත හට නො ගන්නා ආකාරයෙන් ම ප්‍රහීණ කරල යි ඉන්නේ.

බමුණ ඔබ, පැහැදිලි ව මේ ටික තේරුම් ගන්න. යම් ආකාරයකින් මානෙල් මලක් වේව යි, නෙලුම් මලක් වේව යි, සුදු නෙලුම් මලක් වේව යි, ජලයෙහි හට ගෙන වර්ධනයට පත් වෙලා, ජලයෙන් උඩට පැමිණ ජලයෙහි නො ගෑවී, පවතින්නේ යම් විදියකට ද, අන්න ඒ වගේ බමුණ, මම මේ ලෝකයෙහි ඔබ වාගේ ම උත්පත්තිය ලැබුවා. මේ ලෝකයෙහි වර්ධනය වුණා. එහෙම වුණ ත් මම ඒ ලෝකයාගෙන් උඩට ඇවිත් ඒ ලෝකයා හා නො ගැවී ඉන් ඉහළට ඇවිත් වාසය කරනවා.. ඒ නිසා බමුණ මම බුද්ධ නම් වෙමි. මම දෙව්ලොව දෙවියෙක් නම් ඒ කාමාදි ආශ්‍රවයන් නිසා ලබන, ලද උපතක්. ගාන්ධර්වයෙක් වී ආකාශයෙහි හැසිරෙනවා නම් එය ද සිදු වන්නේ කාමා දි ආශ්‍රව ධර්මයන් ප්‍රහිණ නො කරා නම් පමණයි. යම් විදියකින් මම යක්ෂයෙක් නම් ඒත් කාමාදි ආශ්‍රව ධර්මයන් නිසා ලද උපතක් ම යි. මනුෂ්‍යයෙක් නම් ඒත් කාමාදි ආශ්‍රව ධර්මයන්ගෙන් යුක්ත වූවෙක් ම යි. ඒ නිසා මම බුද්ධ නම් වෙන්නේ. මනුෂ්‍යයෙක් නො වන්නේ.” කියා බුදුරජාණන් වහන්සේ දොණ බමුණා ට තමන් වහන්සේගේ අසිරිමත් බව මේ ආකාරයෙන් මනරම් උපමාවක් අරගෙන පැහැදිලි කළා.

ඒ වගේ ම උන්වහන්සේ මෙහි දී බමුණාට පැහැදිලි කර දුන්නා තමන් වහන්සේ හැඳීන්වීමට තිබෙන එකම වචනය බුද්ධ බව.”බුද්ධොති මං බ්‍රාහ්මණ ධාරෙහිති ” මෙයින් පැහැදිලි වන්නේ කිසිවිටෙකත් අපට බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය කියන සමූහයට එක් කර ගැනීමේ හැකියාවක් නො මැති බව. මෙහි තිබෙන සුවිශේෂ කාරණය ද වන්නේ බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කරනවා තමන් වහන්සේත් අර බමුණා වගේ ම ඒ කියන මිනිස් සමූහය තුළ ම හටගෙන එයින් උඩට ඇවිත් සියලු කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයෙන් සිඳබිඳ සුනු විසුණු කොට ලබන ලද උත්තරීතර සර්වඥතා ඥානය නිසා ම නැවත ඒ හටගත් මිනිස් සමූහය හා සම්මිශ්‍ර නො වී එයින් ඉස්මතු වී ඒ හා නැවත නො ගැටි ඉහළ ම තලයට පත් බව.

මේ නිසා කෙලෙස් භරිත ව ජිවත් වන සාමාන්‍ය මිනිසුන් හඳුන්වා දීමට අප විසින් භාවිත කෙරෙන මේ මනුෂ්‍ය යන වචනය කෙලෙස් ප්‍රහීණ කළ සැබෑ උත්තමයකු හැඳීන්විමට සුදුසු නො වන බව දැන් වැටහෙනවා ඇති. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ක්ෂණය දක්වා මනුෂ්‍යයෙක් ම යි.

උන්වහන්සේ සිදුහත් කුමරු. සිදුහත් රජතුමා ආදි වශයෙන් ගත කළ ජිවිතය අනෙකුත් මිනිසුන් හා එක්ව ගත කළ මිනිස් ජිවිතයක්. එහෙත් ඒ තත්වය වෙනස් වූයේ සම්මා සම්බුද්ධත්වය නිස යි. එතැන් සිට නැවත උන්වහන්සේ ඒ මිනිස් සමාජය ඉක් ම වූ උත්තරීතර උත්තමයෙක්. ඒ නිසා බුදුමුවින් ම ඒ තත්වය එකම අනන්‍ය වූ වචනයකින් ද්කවනවා බුද්ධ යනුවෙන්. ඒ වචනයට සමාන තවත් වචනයක් ඇත්තේ ම නැහැ.

එමෙන් ම සේල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ කරන ප්‍රකාශය මේ මිහිපිට උපන් කිසිදු මිනිසකුට ප්‍රකාශ කළ නො හැකි නිසා ද උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉත්ම වූ අයකු බව පැහැදිලි ව ප්‍රකාශ වෙනවා.

උන්වහන්සේ ට ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ? උන්වහන්සේ සේල බමුණාට ප්‍රකාශ කරනවා ”දැන ගත යුතු සියල්ල මා දැන ගත්තා. වැඩිය යුතු සියල්ල මා වඩා වර්ධනය කර ගත්තා. දුරු කළයුතු සියල්ල මා ශේෂ නො කර ම දුරු කළා. අන්න ඒ නිස යි මට බුද්ධ යනුවෙන් කියන්නේ ”

මේ කියන බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාව ත්‍රිවිධාකාර වන ආකාරය අටුවාචාරීන් වහන්සේලා විසින් පෙන්වා දෙනවා. මේ තත්වය වෙනත් කිසිදු මිනිසකු තුළින් ප්‍රකට වන්නේ නැහැ. මෙහි දි පළමුවෙනි වර්ණනාව චරියා වර්ණනාව යි.

උන්වහන්සේ දීපංකර පාදමූලයේ දී නියත විවරණ ලබා ගත්තේ තමන් වහන්සේට එම අත්බවෙහි දි ම නිවන් අවබෝධ කර ගෙන සසර අවසන් කර ගැනීමට අවස්ථාව උදාවෙලා තිබිය දී යි. උන්වහන්සේ එදා ඒ අවස්ථාව මඟහැරියේ එතැන් සිට සසර අප්‍රමාණ දුක් විඳීමින් පාරමී දම් සපුරා ගත්තේ අනන්ත අප්‍රමාණ තවත් බොහෝ ජනතාවකට මේ සසර තේරුම් කර දි ඔවුන් ද නිවන් දක්වා ලීමේ මහාකරුණා අරමුණ පෙරදැරිව යි.

බෝධිසත්වයන් වහන්සේ මෙසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ විශාල ශ්‍රාවක පිරිසක් හැදුවා. මේ අය හදන වඩන කොට නොයෙක් නො හොබිනා වැඩ කළ, දඩබ්බර ගති, සමහර විට කණ්ඩායම් වශයෙන් එක් වී අසංවර ව ක්‍රියා කළ පිරිස් ද ඒ අතර සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිරිස් ආයති සංවරයෙහි පිහිටු වීමට විවිධ පියවර ගත්තා.

ඇතැම් විට “මොඝපුරිස” යනුවෙන් තදින් සැර වගේ අමතන ලද අවස්ථා තිබුණත් උන්වහන්සේ ඒ භික්ෂුව ඊ ළගට කුමකින් කුමක් සිදු කර ගෙන තවත් අවැඩට යොමු වේදෝ යන සැකයෙන් එවැනි අවවාද උපදෙස් ලබන ශ්‍රාවකයන් අත් නො හැර ඒ අය ගැන විමසිල්ලෙන් පසුවුණා.

එය වෙනත් කුමන හෝ මනුෂ්‍යයෙකුගෙන් සිදු වන තත්වයට වඩා අසාමාන්‍ය ලෙස යි සිදු වුණේ.‘.