Print this Article


උතුම් වෙසක් දිනය පිරිසිදු සිතින් සමරමු

උතුම් වෙසක් දිනය පිරිසිදු සිතින් සමරමු

ලෝකයේ බිහි වූ ශාස්තෘවරුන් අතර පුද්ගලයාගේ සිතීමේ නිදහසට මුල් තැන දුන් විශිෂ්ටතමයා වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. සිය දහම පිළිබඳව ඉතාම සංක්ෂිප්තව හා පූර්ණව කරන පැහැදිලි කිරීමේ දී උන්වහන්සේ දේශනා කරන්නේ ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි‘ යනුවෙනි. එහි තේරුම නම් පරීක්ෂා කර පිළිගන්න යනුවෙනි. එනිසා ම බුදු දහම යනු ප‍‍්‍රඥාවන්තයින් ට වඩාත් ම ගෝචර තමා කළ යුත්ත තමා විසින් ම හඳුනාගෙන යා යුතු ගමන් මාර්ගයකි.

බුදුරජාණන් වහන්සේ හැම විටම අගය කළ දෙයකි යහපත් ක‍ි‍්‍රයාව. සිතා මතා කටයුතු කරන, විමසිලිමත්, යහපත් කි‍්‍රයා සිදු කරන්නවුන් බුදු රජාණන් වහන්සේ ඉතා ඉහළින් අගය කළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට සල් ගස් දෙකක් අතර පැනවූ ආසනයක වැඩ හිඳීන විට ධම්මාරාම නම් එක් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර රහත් වන්නෙමියි භාවනා කරන්නට පටන් ගත්හ. ඒ ඇසූ අනෙක් හිමිවරු බුදුරජාණන් වහන්සේ ට මේ පුවත සැලකළහ. බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා සැබෑ දැයි විමසූහ. එය පිළිගත් ධම්මාරාම හිමියන් ට බුදුරජාණන් වහන්සේ මහත් සේ ප‍‍්‍රශංසා කළහ. බුදුරජාණන් වහන්සේ ට සිදු කරන විශාලතම උතුම්ම පූජාව නම් උන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම බව උන්වහන්සේ සාධුකාර දෙමින් දේශනා කළහ.

මල් සුවඳ දුම් ආදියෙන් තමන්ට සිදු කරන පූජාව උතුම් පූජාවක් නොවන බවත් යමෙක් ධර්මානුධර්ම ප‍‍්‍රතිපන්න ව ධර්ම මාර්ගයේ ගමන් කිරීම තමන් ට කරන නියම පූජාව බව දේශනා කළහ. මේ දේශනා පාඨයෙන් පුද පූජා හා ගරු බුහුමන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මතය ඉතාම පැහැදිලි වෙයි. ඒ අනුව පුද පූජාවන්ට බුදුරජාණන් වහන්සේ අභිමත නොවූ බව පෙනේ. එහෙත් එය සම්පූර්ණයෙන් ම බැහැර කිරීමක් හෝ තහනම් කිරීමක් ද සිදු කර නැත. ඒ නිසා මෙකී පුද පූජාවන් හා ධර්මානුකූල පැවැත්මෙන් වෙන් වූ අන් සියලුම දේ සිදුකිරීමේ දී වඩාත් බුද්ධිමත් හා කල්පනාකාරී නොවුහොත් එය පූජාවකට වඩා අපහාසයක් වනු ඇත.

බුදුරජාණන් වහන්සේ බිහි කළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සහිත මේ සම්ප‍‍්‍රදාය තුළ එදා බුදුන් ධරමාන අවධියේ තිබුණේ එක් අරමුණක් පමණකි. ඒ නිවන් අවබෝධ කර ගැනීම ය. අද මෙන් විවිධ උත්සව මෙන්ම විශේෂ බුද්ධ පූජාවන්, ආමිස පූජා කොටසට වැටෙන විවිධාංගයන් එකල නොතිබිණි.

එහෙත් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ආමිස පූජාව මුල් කරගත් විවිධ සංස්කෘතිකාංගයන් සහිත ජනප‍ි‍්‍රය බුද්ධාගමක් නිර්මාණය විය. එය එක් මොහොතකින් නිර්මාණය වූවක් නොව විශාල කාල පරිච්ජේදයක් මුළුල්ලේ කෙමෙන් කෙමෙන් සංවර්ධනය වූවකි. එහෙත් වර්තමානය වන විට බුදු දහමේ මූලික හරයන් මූලික සිද්ධාන්තයන් පරයා යමින් ආමිස පූජාවක් පවා නොවන කිසියම් අශෝභන දේ පවා බෞද්ධ සංස්කෘතිය තුළට ඇතුළත් ව ඇති බව පෙනේ.

වෙසක් දිනය යනු ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතා ඉහළින් අගය කරනු ලබන පුණ්‍ය අවස්ථාවකි. ලොවුතුරා බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන අවස්ථා තුන පිළිබඳව සිහිකිරීම වෙසක් යනුවෙන් ලෝකය පුරා සමරනු ලබයි. ඒ වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම්, වෙනත් ගිලන්පස පැන් හා ආහාර ද්‍රව්‍ය ආදිය පූජා කිරීම විශේෂ ය. විවිධ වාද්‍ය භාණ්ඩ ආදිය යොදාගෙන කිසියම් ශ‍‍්‍රද්ධා ජනනය කරන නාදයන් ඇති කිරීම ද බෞද්ධ ජනතාව ප‍ි‍්‍රය කරති. භක්ති ගීත උපහාර ගීත ආදිය ද බොහෝ රටවල බෞද්ධ ජනතාව සිදුකරනු ලබයි. එසේම විවිධ ආලෝක පූජාවන් ක‍්‍රම ද විශාල වශයෙන් දක්නට ලැබේ. පහන් කූඩු වෙසක් කූඩු තොරණ ආදීය ලංකාවේ මෙන්ම විවිධ රටවල් වල දක්නට ලැබේ.

කෙනකුගේ උපත යන්න සතුටින් සැමරීම ලෝකයේ සිරිතකි. කිසියම් ජයග‍‍්‍රහණයක් ලබා ගැනීම ද සතුටින් සැමරිය හැකිය. එහෙත් මරණයට පත් වීම ඒ කොටසට ගත නොහැකි ය. එහෙත් බෞද්ධ ජනතාවට බුදු රජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑම මංගල්‍යයකි.

සංසාරයේ අනේක විධ දුක් වේදනා විඳීමින් ආ ගමන් මග අවසන් කර සංසිඳීමට පත් වීම එය යතාර්ථයෙන් ගත් කල තවත් මරණයක් හෝ අහිමි වීමක් නොවේ.

සියල් කෙලෙසුන් නැසූ බුදු රජාණන් වහන්සේ සිය භෞතික ශරීරය අත්හැර දමා නිවීමට පත් වූහ. ඒ නිසා එයද මංගල්‍යයකි.

එහෙත් මේ සියලූ මංගල්‍යය සැමරීම බුදුරජාණන් වහන්සේ අප‍ි‍්‍රය කළ අනුමත නොකළ ක‍‍්‍රමවේදයන් හරහා ද සිදු කිරීම ඉතාම වැරදි ක‍ි‍්‍රයාවකි.