Print this Article


ධර්මයෙහි රැකවරණය ලැබෙන හැටි

ධර්මයෙහි රැකවරණය ලැබෙන හැටි


නහිපාපං කතං කම්මං
සජ්ජු ඛීරංව මුච්චති
ඩහන්තං බල මන්වෙති
භස්මච්ඡන්නොව පාවකො”

සියලු ලෝ සතුන් අමා දහමෙන් සනසා වදාළ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වටිනා දහම් කරුණු කිහිපයක් අද දින ධර්ම දේශනාව තුළින් පහදා දීම සඳහායි බලාපොරොත්තු වන්නේ.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව දැක්වේ. ඒ අනුව දුර්ලභ මිනිසත් බව ලද අපගේ දෙලොව දිවි මඟ ආලෝකවත් භාවයට පත් කර ගැනීමෙහිලා ඉහත ගාථා ධර්මයෙන් කියැවෙන කරුණු ඉතාම වැදගත් වනු ඇත.

බෞද්ධයාගේ අත්පොත වන ඛුද්දක නිකායේ දෙවැනි ග්‍රන්ථය වන ධම්ම පදයෙහි බාල වග්ගයට අයත් ඉහත ගාථා ධර්මයෙහි සරල අර්ථය මෙසේ ය.

“දෙවූ කිරි සැණෙකින් නොමිදෙන්නාක් මෙන් පුද්ගලයා විසින් කරන ලද පවෙහි විපාක ද එකෙනෙහි ම විපාක නොදෙන අතර, සසර පුරාම ඔහු පසු පස ගමන් කොට විපාක ලබා දෙන්නේ ය. “මෙ මඟින් කියැවෙන අර්ථය අප හැම දෙනාගේ ම ජීවිත තුළට ඉතා වැදගත් වන බව අමතක නොකළ යුතු ය.

මෙය බුදුරදුන් දේශනා කොට වදාළේ අහිනම් පේ‍්‍රතයකු අරමුණු කොට ගෙන ය. “අභි” යනුවෙන් හඳුන්වනුයේ සර්පයා යන්නයි. සර්පයකු බඳු පේ‍්‍රතයෙක් මුල් කොට ගෙන මෙකී කතා පුවත දැක්වේ.

දිනක් මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් රජගහ නුවර ගිජු කුළු පව්වෙන් බස්නා විට මගදී ඉතා දිග ශරීරයක් ඇති නාගයෙක් බඳු හිසින් ගිනි ගෙන දැවෙන ගව් සියයක් පමණ දිග පේ‍්‍රතයෙක් දුටු සේක. මොහු දුටු මහ රහතන් වහන්සේලා දෙනම මද වේලාවක් ඒ දෙස බලා පේ‍්‍රතයා විඳින අනේක දුක පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට පෙර ආත්ම භාවයන්හි සිදු කරන ලද කර්මයෙහි විපාක යැයි දේශනා කොට වැඩම කළ සේක.

එදින සවස් කල තථාගත බුදුපියාණන් වහන්සේ හමුවීමට වැඩම කළ මුගලන් තෙරුන් වහන්සේ මේ පිළිබඳ කරුණු ප්‍රකාශ කොට මෙවැනි දුක් විඳීමට හේතුව හා පෙර කරන ලද කර්මයෙහි ස්වභාවය විමසා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙම අභි පේ‍්‍රතයාගේ පෙර ආත්ම භාවය හා ඔහු සිදුකළ අකුසල් කර්මය පිළිබඳ මනාව වදාළ සේක.

අතීතයෙහි බරණැස් නුවර ගඟ අසබඩ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ විසූ අතර උන්වහන්සේගේ ආරාමය පිහිටියේ ඉතා සරුසාර කුඹුරක් මැදින් වූ කුඩා අඩිපාරක් ඔස්සේ ය.

බොහෝ සැදැහැති උපාසක උපාසිකාවන් දන් පිළිගැන්වීම් ආදි විවිධ පින්කම් සඳහා ගමන් කරනු ලබන්නේ මෙකී කුඩා අඩි පාර දිගේ වන අතර, ඒ නිසාම දෙපස ඇති වී කරල් ඔවුන්ගේ පයට පෑගී විනාශ වන්නට විය. මෙය දුටු ගොවියා දැඩි තරහින් යුතුව තම අස්වැන්න දිනෙන් දින විනාශවීම තමන්ට මහත් පාඩුවක් බව දැන ද්වේශ සහගතව දිනක් උදෑසනම මෙකී ආරාමයට පැමිණ පසේ බුදුරදුන් පිඬු සිඟා වැඩි පසු ආරාමයට ගිනි තබා අසල පඳුරකට මුවා වී ගුවනට ගිනි දලු ගමන් කරන අයුරු ඉතා සතුටින් බලා සිටින්නට විය.

ආරාමය ගිනි ගැනීමෙන් පසු හොර රහසේ ම තම මිතුරකුගේ නිවසට ගොස් ජීවත්වීමට උත්සාහ දැරුව ද මොහු සිදු කළ අධම පාප ක්‍රියාව නිතර නිතර සිහිවන්නට විය. ඒ නිසාම එයින් බෙහෙවින් තැවී මරණයට පත්ව සතර අපායෙහි ඉපිදී සිදු කළ කර්මයෙහි විපාක ලෙස තවදුරටත් පේ‍්‍රතයෙක් ව ඉපිද විපාක විඳින අයුරු බුදුරදුන් මුගලන් තෙරුන්ට මනාව පෙන්වා වදාළ සේක.

ඒ අනුව දෙනකගෙන් කිරි දෙවූ සැණින් නොමිදෙන්නා සේ පුද්ගලයා සිදු කළ අකුසල කර්මයන්හි විපාක ද සසර පුරාම ගමන් කොට විපාක දෙන බව මෙම අභිපේ‍්‍රතයාගේ කතා පුවත තුළින් මනාව හෙළිදරව් කරනු ඇත.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් පෙන්වා දෙන පරිදි කර්මය නම් ක්‍රියාව වන අතර එය චේතනාව මුල් වීමෙන් සිදු වන බව බුද්ධ දේශනාවයි. හොඳ ක්‍රියාවන්හි විපාක හොඳ ලෙසත්, නරක ක්‍රියාවන්හි විපාක නරක ලෙසත් විපාක දීම කර්මයෙහි ස්වභාවය යි. පුද්ගලයාගේ දෙලොව ජය ගැනීමට හේතු වන්නේ යහපත් කුසල කර්මයන් ය. අකුසල් හෙවත් පව් සිදු කිරීම තුළ සිදු වන්නේ නොයෙක් දුක් ගැහැට විඳීමට සිදු වීමයි. ඒ බව බොහෝ සාධක ඔස්සේ වත්මන් සමාජය තුළින් දැකිය හැකි දසුනකි.

මේ නිසා අප හැම විටම යහපත් ක්‍රියාවන් තුළින් දිවි මඟ ආලෝකවත් භාවයට පත්කර ගැනීමට උත්සාහ කළ යුතු ය. එය මෙම බියකරු සසර කතරින් එතෙරවීම සඳහා හේතු වනු නියත ය. ඉපදෙමින් මැරෙමින් යන මෙකී සසර ගමන හැම දෙනාට නුවණැස පෑදේවායි යන්න ධර්ම දේශනාව අවසානයේ දී ප්‍රාර්ථනා කොට සිටින්නෙමු.