Print this Article


ජීවිතයේ ස්වභාවයතේරුම් නොගැනීමේ අරුමයජීවිතයේ ස්වභාවයතේරුම් නොගැනීමේ අරුමය

ජීවිතයේ ස්වභාවය තේරුම් නොගැනීමේ අරුමය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පරිජිණ්ණමිදං රූපං රෝග
නිඩ්ඩං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ
මරණං තංහි ජීවිතං

" උත්තරා නම් මහලු මෙහෙණිය අරබයා වදාළ මේ ගාථාව තුළ ජීවිතය කියාදෙන පාඩම් කිහිපයක් ඇත. එනම්, මේ රූපය දිරායාම. නේකවිධ ලෙඩරෝග හට ගැනීම, වහා ක්ෂය වීම, බිඳීයාම, නව දොරකින් කුණු වැගිරීම හා එහි කෙළවර මරණය ඇති බව ය."

සුපින්වතුනි,

අද වෙසක් මස පුර අටවක පෝදා ය. අද දම් දෙසුමේ තේමාව ජීවිතයක මහිමය හෙවත් නිත්‍ය ස්වභාවය වටහා ගැනීමයි.

ඉහත සඳහන් කළ ගාථාව ජීවිතයක ඇති නියම තතු මැනවින් පෙන්වාදෙයි. මේ ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ පැනෙන එකකි. එම ගාථාව පාදක කරගෙන අද දම් දෙසුමට තේමාව සකස්කර ගත්තෙමු. මේ ගාථාවේ තේරුම කෙරෙහි මොහොතක් අවධානය යොමුකර බලමු. අප සරසන ආවඩන ශරීරය ගැන මෙබඳු දෙසුමක් ඒ තුළ වෙයි. මේ රූපය දිරා යන්නේ ය. මේ ශරීරය සියලු රෝගාබාධයන්ට කැදැල්ලක් බඳු ය. මේ ශරීරය වහා බිඳෙන සුළු ය. මෙහි නව දොරකින් කුණු වැගිරෙන්නේ ය. අවසාන ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය.

අද අප කොරෝනා වසංගතය නිසාවෙන් ජීවිතය යදිමින් මරණයට බියෙන් කල් අරින්නෙමු. තදාසන්න ඉන්දියාව තුළින් පැරණි විශාලා මහනුවර අත් දකින්නෙමු. ලෙඩවන අයුරු, විලාප දෙන අයුරු දකින්නෙමු. රතන සූත්‍රයේ පහස නැවතත් විඳීන්නෙමු. මෙබඳු පසුබිමක් තුළ ඉහත තේමාව තෝරා ගත්තෙමු. තරමක් නීරස කතාවක් වුවත් අප දත යුතු යම් දෙයක් ඒ තුළ ඇත.

ඉහත ගාථාවට පාදක වූ කතාව කෙටියෙන් වුව විමසා බැලිය යුතු ය. එය ජීවිතයේ නියම තතු තේරුම් ගැනීමට ඔබට මඟ පාදනු ඇත.

පින්වත, සැවැත්නුවර මෙහෙණින් වහන්සේ වැඩ වාසය කරන එක්තරා ආරාමයක උත්තරා නම් මෙහෙණින් වහන්සේ වැඩ වාසය කරති. එම මෙහෙණින් වහන්සේ වයසින් අවුරුදු එකසිය විස්සක් පමණ මහලු ය. එහෙත් මේ මෑණියෝ කළ යුතු වත්පිළිවෙත් ඉතා හොඳීන් කළහ. ඒ පිළිබඳ කිසිදු අලස කමක් නැත.

තමන්ගේ සිරුර බෙහෙවින් බලයෙන් හීන වුවත් පිඬුසිඟා වැඩීමෙහි පුරුද්ද අත් නොහලේ ය. උත්තරා මෙහෙණිය තුළ අමුතු සිරිතක් තිබිණ. එනම් තමන් පිඬුසිඟා ලබාගත් අහර අනෙකුත් වහන්දෑට දන්දීමත්, ඉතිරි යම් දෙයක් ඇත්නම් ඒ තුළින් යැපීමත් ය. එය දිනපතා කෙරෙන සිරිතකි.

අනෙක් අතට පිඬුසිඟා ලබා ගත් අහර වහන්දෑට පිළිගන්වා ඒ මෙහෙණි නොවළඳා සිටි වාර ගණන බොහෝ ය. අනන්ත ය.

උත්තරා මෙහෙණ දවසක පිඬු පිණිස වඩිද්දී ඇතුළු නුවර වීදියේ දී හමුවූ වහන්දෑට තමන් ලබාගත් පිඬු සියල්ල පිළිගන්වා වේලාව බලා නැවත පිඬු පිණිස වැඩම වීමට කල් නැති බව දැන කිසිදු ආහාරයක් නොවළඳා වාසය කළා ය. දෙවන දවසත්, තෙවන දවසත් පිඬුසිඟා වඩිද්දී අතර මඟ හමුවූ වහන්දෑට දන් පිළිගන්වා නැවත පිඬු පිණිස වැඩමවීමට අවේලාව බැවින් නොවළඳා කුසගින්නේ ම වාසය කළා ය. මෙසේ තුන් දවසක් පිට පිට ම අහර නොවැළඳීම නිසා දිරාගිය සිරුර බලයෙන් හීන වී ගියේ ය. උත්තරා මෙහෙණිය සුපුරුදු ලීලාවෙන් සිවුවන දිනත් පිඬු සොයා වැඩියා ය. අතර මඟ නොසිතූ දෙයක් සිදුවිය. ඈ වඩින මඟ බුදුරදුන් මුණ ගැසිණ. එසේ වඩින විට මාර්ගයේ පටු තැනක දී බුදුරදුන්ට මාර්ගය දීමට යෑමේ දි මෙහෙණියගේ පය පැකිළ බිම වැටුණා ය.

බුදුරදුන් ඒ දැක එතැනට වැඩම කොට, ඉතා වයස් ගත හෙයින් දිරීමට හා දුබල බවට පත් ඒ උත්තරා මෙහෙණිය හට උවටැන් කරවූ සේක. අනතුරුව ඉහත සඳහන් ගාථාව දේශනා කොට ඈ සෝවාන් ඵලයෙහි පිහිටුවා වදාළ සේක.

පින්වතුනි. අපගේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්තරා මෙහෙණියගේ කථාව නිසා උපන් ගාථාව ඉතා වැදගත් වේ. උත්තරා නම් මහලු මෙහෙණිය අරබයා වදාළ මේ ගාථාව තුළ ජීවිතය කියාදෙන පාඩම් කිහිපයක් ඇත. එනම්, මේ රූපය දිරායාම. නේකවිධ ලෙඩරෝග හට ගැනීම, වහා ක්ෂය වීම, බිඳීයාම, නව දොරකින් කුණු වැගිරීම හා එහි කෙළවර මරණය ඇති බව ය.

එනමුත් අරුමය අප මේ බැව් තේරුම් නොගැනීම ය. අද ලෝකය වෙළාගෙන ඇති වසංගතය දෙස බලන්න. අතීතයේ අප අසා තිබුණු තුන්බිය අපට අද ඇස් මානයේ විද්‍යමාන වේ. බුද්ධ දේශනාවට අනුව ජීවිතයේ යථා ස්වභාවය අද පෙනෙන්නට තිබේ. පසක් කරගත යුතු ලෝ දහම එයම නොවේද?

ඉහත ගාථාවේ පැනෙන පරිදි අපගේ ශරීරයට වැළඳෙන රෝගාබාධ රාශියකි. බුදුන් වහන්සේ වදාරන පරිදි අපගේ මේ සිරුර නේකවිධ රෝගවලට කැදැල්ලකි. නවාතැන් පලකි.

රෝග නමැති කුරුල්ලන් පියාඹා ඇවිත් අපගේ ශරීරය නමැති කූඩුවෙහි වසති. නවාතැන් ගනිති. එවිට අපට බොහෝ කරදර පැමිණේ. අද ලෝකය වෙළාගෙන ඇති කොරෝනා වසංගතය ද එවැන්නකි.

එපමණක් ද නොව දරුණු නිධන්ගත රෝගාබාධ අප ශරීරයේ නවාතැන් ගනී. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතතිය වැනි රෝගාබාධවලින් බොහෝ අයවලුන් අද පිීඩා විඳීති. එබැවින් මේ මෙහොතේ ජීවිතයේ ඇති තතු තේරුම් ගැනීම තරම් තවත් වටිනා දෙයක් නැති තරම් ය.

සියලු ලෝසත දුකින් මිඳී සුවපත් වේවා.