Print this Article


ජීවිතයට වටිනාකමක් දෙන්නට නම් කාලයට වටිනාකමක් දෙන්න

ජීවිතයට වටිනාකමක් දෙන්නට නම් කාලයට වටිනාකමක් දෙන්න

ලොව මිල අධිකම දෙය කුමක්දැයි ඔබගෙන් යමෙක් ප්‍රශ්නයක් විමසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් ද? එවිට කෙනෙක් රත්රන් ද, තවත් අයෙක් මුදල් ද, තවත් අයෙක් ජීවිතය ද, තවත් අයෙක් දැනුම ද, තවත් අයෙක් කාලය ද යනුවෙන් විවිධ පිළිතුරු ලබා දෙති.

සාමාන්‍ය ගැමි ව්‍යවහාරයේ කාලය සම්බන්ධයෙන් අපූරු පිරුළු බිහිව ඇත. ‘‘ගිය කාලය ඇතුන් ලවාවත් නැවත ඇද්ද විය නොහැකියි‘‘, ‘‘කාලය රන් හා සමානයි“ ‘‘කාලය මිල කළ නොහැකියි“ යනු එවැනි කිහිපයකි.

ලොව යම් ද්‍රව්‍යයක් හෝ පුද්ගලයෙක් වේ නම් එයට මිලක් නියම කළ හැකි ය. එහෙත් කාලයට මිලක් හෝ අගයක් පැවරිය නොහැකි ය. ඒ බව හොඳින් ම අවබෝධ කරගෙන ලොවට සේවය කළ ශාස්තෘන් වහන්සේ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

ජීවත් වූ වර්ෂ ප්‍රමාණය අසූවකි. එයින් ගිහි ජීවිතය ගත කිරීමට වර්ෂ විසිනවයක් වැය කරයි. සත්‍ය සෙවීමට වර්ෂ හයක් යොදවයි. ඒ දෙකෙහි එකතුව වර්ෂ තිස්පහකි. බුද්ධත්වය ලබා ගන්නේ වයස තිස් පහේ දී ය. පරිනිර්වාණය සිදුවන්නේ වයස අසූවේ දීය. බුද්ධත්වය ලබා ජීවිත් වූ කාලය අවුරුදු හතළිස් පහකි. බුදුබව ලබා ගත කළ දින ගණන දහසය දහස් හාරසිය විසිපහකි. බුදු බව ලබා ජීවත් වූ පැය ගණන තුන්ලක්ෂ අනූහතර දහස් දෙසියයකි. එයින් තමන් වහන්සේ නිදාගැනීමට වෙන් කරගත්තේ පැය තිස් දෙදහස් අටසිය පනහකි. ඉතිරි තුන්ලක්ෂ හැට එක්දහස් තුන්සිය පනහක් වූ විශාල පැය ගණන ලෝකයට සේවය කිරීමට වෙන් කරගත්හ. එය සියයට අනූඑකක ප්‍රතිශතයකි. මෙයින් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කාලය මැනවින් කළමනාකරණය කළ බව සහ ලෝකයාට සේවය සැලසීමට වෙහෙසුණු ආකාරයයි.

කාලයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගත්හ. ශ්‍රාවකයින්ට ද එය හුරු කළහ. තමන් වහන්සේ කාලයෙන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට විධිමත් කාල සටහනක් අනුගමනය කළහ. පරිනිබ්බාණ සූත්‍රයේ දී එය දක්වන්නේ පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස සහ පැසුළුයම් කිස යන කොටස් පහ යටතේ පැවැති බවකි.

එවැනි කාල සටහනක් අනුව සේවය සැලසූ බුදුරජාණන් වහන්සේ ආගමික ශාස්තෘන් වහන්සේ ලෙස පිළිගෙන අනුගමනය කරන බෞද්ධයින්ගේ දෛනික කාල සටහන කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් ඇත්තේ ශෝචනීය තත්ත්වයකි. එහෙත් සංඝයා වහන්සේලා තවමත් බුදුන් වහන්සේගේ ධර්මෝපදේශ අනුව කාලය නිසි ලෙස හසුරුවන බව පෙනේ. උදේ බුද්ධ පූජාව, දිවා බුද්ධ පූජාව, සවස බුද්ධ පූජාව සහ බුදුන් නැමදීම, මළුපෙත්මං හැමදීම, ස්නානය කිරීම, සැතපීම සහ අවදිවීම කාලසටහනකට අනුව කි‍්‍රයාත්මක කරයි.

ඇතැම් බෞද්ධයෝ ද කාලයෙන් නිසි ප්‍රයෝජන ගනිති. එය සතුටට කරුණකි. ලොව දැනුමෙන් පොහොසත් හෝ ධනයෙන් පොහොසත් හෝ අධ්‍යා‍ත්මික දියුණුවෙන් පොහොසත් යමකු වේ නම් ඔහු කාලයෙන් නිසි ප්‍රයෝජන ගත් අයෙකි. කාලය හොදින් ම කළමනාකරණය කළ කෙනෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් කමටහන් ලබා ගෙන මරණය පිළිබඳව අදහස් දැක් වූහ. සමහර භික්ෂු පිරිසක් මරණය හෙට වන්නේ යැයි සිතමින් අද භාවනා කරන බව පැවසූහ. තවත් පිරිසක් අතට ගත් බත් පිඩ මුඛයට දමා එය උගුරින් පහළට වැටෙන තෙක් වත් ජීවිතය විශ්වාස නැති බව සිතමින් භාවනා කරන බව පැවසූහ.

තවත් පිරිසක් බුදුන් වහන්සේට දන්වා සිටින්නේ ‘‘ස්වාමිනි මේ ජීවිතය හෙට දක්වා පවතින්නේ යැයි හෝ මුඛයට දාගත් බත් පිඩ උගුරින් පහළට යන තෙක් වත් විශ්වාස නැතැයි හෝ සිතමින් කටයුතු නො කර උඩට ගත් හුස්ම පොද පහළට දමන තෙක්වත් ජීවිතය විශ්වාස නැතැයි සිහිකරමින් භාවනාවේ යෙදෙන්නෙමු‘‘ යනුවෙන් පැවසූහ.

බුදුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලාගේ අදහස අනුමත කරමින් ජීවිතය වහා විනාශයට පත්වන බව නිතර සිහි කරමින් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ධර්මාවවාද කළහ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය නොකරන, ධර්මය ප්‍රායෝගික නො කරන පිරිස විසින් බුදුන් වහන්සේගේ අගනා කාල සටහන පිළිබදව දැනුවත් විය යුතුය. බුදු කෙනෙකුට කළ හැකි කාර්යයන් පෘථග්ජන වූ සත්වයාට කළ නොහැකි ය. එහෙත් සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සුදුසු කාලසටහනක් සකසා ගත යුතු ය.

අවුරුදු සියයක් ජීවත්වන මනුෂ්‍යයෙක් අවුරුදු පනහක් ම වැය කරන්නේ නිදා ගැනීමට ය. ජීවත්වන්නේ අවුරුදු පනහක් පමණි. එයින් රැකියාවට යාම, ඒම සහ එහි රාජකාරි කිරීම වෙනුවෙන් අවුරුදු සියයක් ජීවත්වන පුද්ගලයා අවම වශයෙන් වසර විසිපහක්වත් වැය කරනු ඇතැයි සිතමු. ඉතිරි වන්නේ තවත් අවුරුදු විසි පහක් පමණි. එයින් තමන්ගේ අසනීප තත්ත්වයන්ට, මව්පියන්ගේ, දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, හිතමිතුරන්ගේ, ඥාතීන්ගේ සැපදුක් බැලීමට අවුරුද්දක් වෙන් කරමු. එවිට ඉතිරි වන්නේ තවත් අවුරුදු විසිහතරකි. එයින් කුඩා අවදියේ මව්තුරුලේ ගත කිරීමට, ළදරු අවදියේ සහ ළමා අවධියේ, මෙන්ම ගැටවර වියේ කාලය, සහ තරුණ අවධියේ සැලකිය යුතු කාලයක් අධ්‍යාපනය, කී‍්‍රඩාව, සහ විනෝදය වෙනුවෙන් අවුරුදු විස්සක් වැය කරමු යැයි සිතමු. එවිට තවත් ඉතිරි වන්නේ අවුරුදු හතරක් පමණි. එම හතර ආහාර සපයා ගැනීම, ඇඳුම් පැළඳුම් සකස් කර ගැනීම, ගෙවල් දොරවල් සකසා ගැනීම සහ ඒවා පිරිසුදු කිරීම, සමිති සමාගම්වලට සම්බන්ධවීම, විනෝදචාරිකා යාම, බෞද්ධයින් නම් බෞද්ධ පින්කම් වෙනුවෙන් කටයුතු කිරීම සහ ඒ සඳහා සූදානම් වීම, මඟුල් ගෙවල්, මළගෙවල්, දේශපාලන කටයුතු ආදිය වෙනුවෙන් සම්බන්ධවීමට සහ සහාය දැක්වීම, කම්සැප විඳීම වැනි කටයුතුවලට අවුරුදු දෙකක් පමණක්වත් වැය කරනු ඇත. තවත් ඉතිරි වන්නේ අවුරුදු දෙකක් පමණි. එය හිතමිතුරන්, මව්පියන්, ඥාතීන් ඇතුළු තමාට මුණ ගැහෙන පිරිස් සමග කථා කිරීමට, රූපවාහිනි, ගුවන්විදුලි, අන්තර්ජාලය, අතිරේක කියවීම් යනාදිය වෙනුවෙන් වෙන් වනු ඇත. මෙවැනි කාල සටහනක් සාමාන්‍ය ජනයා නූතනයේ ගෙන යනු පෙනේ. වැඩි පිරිසක් ශරීරයට සැප ලබා දීමට සහ විනෝදවීමට කාලය වැය කරති. ඒ වෙනුවෙන් ම කැපවෙති. ලෝකයට සේවයක් සැලසීමට හෝ තමාගේ ආධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරගැනීමට කාලය වැය කරන පිරිස ඉතා ම සීමිත ය.

මෙය බුදුන් වහන්සේ දකින්නේ ගලා යන ගඟක ඉහළට පීනන පිරිස මෙන් ඉතාම අල්ප බවකි. වැඩි පිරිසක් කාමය නමැති සැඩපහරට ම ගලාගෙන ගොස් නැවතත් සාගරය නමැති දුක් සසරට ම පිවිසෙති. මැරෙමින් ඉපදෙමින් යන ලෝකයෙහි මනුෂ්‍ය ආත්මයක් හමුවන්නේ කල්ප ගණනකිනි. එබැවින් කාල සටහනක් අනුව තම කාලය කළමනාකරණය කර ගැනීම උචිත ය.

දරුවන්ගේ කාලය මෙහෙයවීම මව්පියන් සතු ය. සේවකයින්ගේ කාලය මෙහෙයවීම නායකයින් සතුය. ශිෂ්‍යයින්ගේ කාලය මෙහෙයවීම ගුරුවරුන් සතු ය. එසේ වුවත් වැඩිහිටියන්ගේ කාලය සහ කාලය මෙහෙයවනු ලබන පිරිසගේ හෙවත් නායකයින්ගේ කාලය තම නුවණින් ම පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකසා ගත යුතු ය.

මෙලොවට සහ පරලොවට වැඩදායි දෙයක්ම කිරීම කාලයෙන් ගත හැකි නිසි ප්‍රයෝජනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් වැනි කාලයක දී කළ සේවය අවුරුදු පන්දහසක් පවතින බව ධර්මයේ සඳහන් වේ. මේ වන විට අවුරුදු දෙදහස් පන්සියයක් ඉක්මවා ඇත. එම කාලයේ දී ලෝක සත්ත්වයා සලසා ගත් ආධ්‍යාත්මික සහ භෞතික දියුණුව සංඛ්‍යා වශයෙන් ගණනය කළ නොහැකි ය.

නිවැරැදි සහ බුද්ධිමත් කටයුතු සිදු කරන්නේ නම් එය ලෝකය පවතිනතුරු මනුෂ්‍ය සහ සත්ත්ව දෙපිරිසට ම සේවය සලසන්නේ ය. එබැවින් නිවැරැදිව සහ අර්ථවත් ව කාලය ප්‍රයෝජනයට ගැනීම මනුෂ්‍ය ආත්මය ලැබූ සෑම අයකු විසින් ම කළ යුතු ය. එසේ නො කරන්නේ නම්, එම පිරිස ‘‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා-ලොව සිරිතට අඹුදරු රකිනවා විනා, රූපේ අරන් පාපේ ගෙවනවා විනා-ගෙන යන දෙයක් නැත පව් ගෙවනවා විනා“යන කාව්‍යයේ අර්ථයට ම ඇතුළත් වෙති.