තුන්පිටකයට පිවිසුමක්:
සිංහල අටුවා
පාලියට පරිවර්තනය වූයේ ඇයි?
ඌරුගමුවේ
අස්සජී හිමි
සම්මුති දේශනා
විනය පිටකයෙහි සේ ම සූත්‍ර පිටකයෙහි ද ධර්ම විනය ඉදිරිපත් කරනුයේ මිනිසා, ගහකොළ,
භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යනාදී ලෝක සම්මත නම් ගම් ඒ ආකාරයෙන් ම භාවිත
කරමිනි. උදාහරණ ලෙස එම දේශනාවන්හි සැවත්නුවර ජේතවනාරාමය, ආනන්ද හිමි, අනේපිඬු
සිටුතුමා, බිම්බිසාර රජු, විශාඛා මහෝපාසිකාව යනාදී නම් ගම් එලෙසින් ම කියැවෙයි. නම්
ගම් යන සියල්ල සම්මතයක් පමණි. එවැනි ලෝක සම්මත නම් ගම් කියැවෙන බැවින් විනය හා
සූත්‍ර පිටක දෙක සම්මුති දේශනා නම් වේ.
පරමාර්ථ දේශනා
මෙකී ලෝක සම්මත නම් ගම් කිසිවක් අභිධර්ම පිටකයෙහි භාවිත නොවෙයි. ඒ වෙනුවට ජීවි,
අජිවි සෑම වස්තුවක් ම සකස්වීමට මූලික වූ ස්කන්ධ, ධාතු, ආයතන මහාභූත යනාදී ධර්මයන්
යොදාගෙන අභිධර්මයෙහි කරුණු විග්‍රහ කෙරෙයි. මෙසේ පරමාර්ථ ධර්ම ගැන විග්‍රහ කෙරෙන
හෙයින් මෙම දේශනා ක්‍රමය හඳුන්වන්නේ පරමාර්ථ දේශනා නමිනි. අභිධර්මයට අනුව ලෝකයේ ඇති
සියලුම ධර්ම පරමාර්ථ වශයෙන් කොටස් සතරකට බෙදා දක්වා ඇත. එනම්
චිත්ත පරමාර්ථය
චෛතසික පරමාර්ථය
රූප පරමාර්ථය හා
නිබ්බාන පරමාර්ථය යනුවෙනි
මේවා විග්‍රහ කෙරෙන අභිධර්ම පිටකය ග්‍රන්ථ හතකින් සමන්විත ය. විභාගය, විවරණය යන
අර්ථයෙන් එම ග්‍රන්ථ හැඳින්වෙනුයේ ‘ප්‍රකරණ’ යන නමිනි. එම සප්ත ප්‍රකරණය මෙසේ ය.
1.ධම්මසංගනී ප්‍රකරණය 2.විභංග ප්‍රකරණය 3.ධාතු කථා ප්‍රකරණය 4.පුග්ගල පඤ්ඤත්ති
ප්‍රකරණය 5.කථාවත්ථු ප්‍රකරණය 6.යමක ප්‍රකරණය 7.පට්ඨාන ප්‍රකරණය
මෙම ප්‍රකරණ ග්‍රන්ථ සතෙහි ඉතා ගැඹුරින් සහ ඉතා දීර්ඝ ලෙස විස්තර කර තිබෙන කරුණු
ඉතා සැකෙවින් සරල ලෙස සකස්කොට සංග්‍රහ කළ අභිධම්ම අත්පොත “අභිධම්මත්ථ සංගහ” නම්
වෙයි. මෙය රචනා කර ඇත්තේ පොළොන්නරු යුගයේ ලංකාවේ විසූ අනුරුද්ධ නම් මහතෙර නමකි.
වර්තමානයේ දී බෙහෙවින්ම අභිධර්මය ඉගෙනීම කරනුයේ මෙම ග්‍රන්ථ භාවිත කරමිනි.
අටුවා යනු?
බුද්ධ භාෂිත ධර්ම විනයෙහි හා ශ්‍රාවක භාෂිතයන්හි ද ඇතුළත් දුරවබෝධ වචන හා සංකල්ප
පැහැදිලි කිරීම සඳහා සම්පාදිත අර්ථ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය පාලි අට්ඨ කථා නමින්
හැඳින්වේ. ත්‍රිපිටක ග්‍රන්ථවල අන්තර්ගත ධර්ම කරුණු සහ ඓතිහාසික කරුණු සවිස්තරව
දැක්වීම එම පාලි අට්ඨකතාවලින් සිදු කෙරෙන ප්‍රධාන කාර්යයයි.
පාලි අට්ඨ කථාවන් ගැන සඳහන් කිරීමේ දී නිතැතින් ම කියැවෙන්නේ අටුවාචාර්ය බුද්ධඝෝෂ
හිමියන් ගේ ශී‍්‍ර නාමය යි. බුද්ධකාලීන අර්ථ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය ප්‍රථම ධර්ම
සංගායනාවේ දී සහ ඉන් පසුවත් රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලදහ. උන්වහන්සෙලා ගේ
ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ඒවා මුඛ පාඨ වශයෙන් ආරක්ෂා කරගෙන ආහ. අනුබුදු මිහිඳු
මහරහතන් වහන්සේ විසින් ඒවා හෙළ බසින් (සිංහල) තබන ලදහ. හෙළ බසින් පැවති එම අටුවාවන්
යළි පෙළ බසට (පාලි) පරිවර්තනය කිරීමේ භාරදූර කාර්යය ඉටු කළේ මෙම අටුවාචාර්ය
බුද්ධඝෝෂ මාහිමියෝ ය.
මිහිඳු මහරහතන් වහන්සේ දවසම හෙළ බසින් තබන ලද අටුවා කතා වසර 700 ක පමණ කාලයක් සිංහල
ත්‍රිපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතුණේ ය. ත්‍රිපිටක පාලිය තිබුණත් ඒ පිළිබඳ අටුවා
මේ වන විට දඹදිව තිබී නැත. සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන්ට ද දැන
ගැන්මට ලැබී ඇත.
සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීම බුදුදහම චිරස්ථායි වීමට හේතුවක් යැයි සැලකූ
උන්වහන්සේ හෙළටුවා පාලියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවූ බව
මහාවංසයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියෝ අනුරාධපුර මහා විහාරයේදී එවකට එහි
ප්‍රධානත්වය දැරූ සංඝපාල හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා බැහැ දැක පැමිණි කාරණාව
සැළ කර සිටිය හ. සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පළමුව එවකට පැවති සිංහල
භාෂාවත්, එම අටුවාවල අන්තර්ගතයත් හැදැරීමට අවශ්‍ය විය.
මහාවිහාරවාසී සංඝපාල හිමි හා බුද්ධමිත්ත හිමි වැනි ප්‍රවීණ ආචාර්යවරුන් ගේ උපදෙස්
පරිදි බුද්ධඝෝෂ හිමියෝ ස්වකීය අධ්‍යයන කටයුතු සපුරා ගත්හ. සිංහල අටුවා, පාලියට
පරිවර්තනය කිරීමට පෙර නිවන් මඟ හෙළි කරන ග්‍රන්ථයක් රචනා කිරීමට සංඝපාල හිමියෝ
බුද්ධඝෝෂ හිමියන්ට ඇරයුම් කළහ. “විසුද්ධි මාර්ගය ලියැවුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.
සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ එන,
අන්තො ජටා බහි ජටා – ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි – කො ඉමං විජටයෙ ජටං
ඇතුළත ද අවුල් ය. පිටත ද අවුල් ය. මුළු සත්ත්ව වර්ගයා මෙම අවුලෙන් අවුල් වැ සිටිති.
ගෞතම සර්වඥයන් වහන්ස, එබැවින් මම ඔබගෙන් විචාරමි. මෙම අවුල කවුරු නිරවුල් කෙරෙන්ද?
මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං
සීලයෙහි පිහිටන, දක්ෂ, ප්‍රඥාවන්ත භික්ෂුව සිතත් ප්‍රඥාවත් වඩා කෙලෙස් තවන
වීර්යයෙන් යුක්තව මේ අවුල් ඉවත් කරන්නේ ය. යනුයි.
මෙසේ බුදුරදුන් ඉතා කෙටියෙන් දුන් මෙම පිළිතුර විස්තරාත්මක ව ඉදිරිපත් කිරීම
විසුද්ධි මාර්ගයේ දී සිදු වී තිබේ. ථෙරවාදී බුදු දහමට අයත් විශිෂ්ටතම නිර්මාණ කෘතිය
ලෙස බුද්ධඝෝෂ හිමියන්ගේ මෙම විසුද්ධි මාර්ගය සඳහන් කළ හැකි ය. අතිදුර්ලභ වු බුදු
සස්නෙහි පැවිද්ද ලබා විසුද්ධිය සොයා යන කුල පුත්‍රයන්ට අවසාන විමුක්තිය හෙවත් නිවන
කරා පමුණුවන මාර්ගය හඳුන්වාදීම පරමාර්ථ කොටගෙන රචනා වූ විසුද්ධි මාර්ගය සීල, සමාධි,
ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පිළිබඳව පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරයි. විසුද්ධි මාර්ගය
රචනා කිරීමෙන් පසු බුද්ධඝෝෂ හිමියෝ මෙම අටුවා ග්‍රන්ථ සංස්කරණය කළ හ.
සමන්තපාසාදිකා (විනය පිටකය)
සුමංගල විලාසිනී (දීඝ නිකායේ අටුවාව)
පපඤ්චසුදනී (මජ්ක්‍ධිම නිකාය අටුවාව)
සාරත්ථප්පකාසිනී (සංයුත්ත නිකාය අටුවාව)
මමෝරථ පූරණී (අංගුත්තර නිකාය අටුවාව)
කංඛාවිතරණී (ප්‍රාතිමෝක්ෂ අටුවාව)
පරමත්ථජෝතිකා (ඛුද්දකපාඨ අටුවාව)
ධම්මපදට්ඨකථා
ජාතකට්ඨකථා
අත්ථසාලිනී (ධම්මසංගණී අටුවාව)
සම්මෝහවිනෝදනී (විභංග අටුවාව)
පරමත්ථදීපනී (පංචජපකරණ අටුවාව)
මෙම ග්‍රන්ථවල විශාලත්වය හා විවිධත්වය ගැන සලකන විට මේ සඳහා දැරූ පරිශ්‍රමය කොතෙක්
බැරෑරුම් වූවක් ද යන්න වටහාගත හැකි ය. පාලි අටුවා පොත් වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ
බුද්ධඝෝෂ හිමියන් ය. බෞද්ධ අට්ඨකථාචාරීන් අතර උන්වහන්සේ ශ්‍රේෂ්ඨතමයා ය.
උන්වහන්සේ ලොව පහළ වූයේ බුදුරදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව
පවත්වාගෙන යාම සඳහා පාලි අට්ඨ කථා රචනා කිරීමටය, යන ජන ප්‍රවාදයක් ද ඇත. ඒ නිසාම
ලංකාවේ අටුවා ගැන කතා කරන සෑම තැනෙක ම බුද්ධඝෝෂ හිමියන්ට “අටුවාචාරීන් වහන්සේ” යන
උත්තම අභිධානයක් යොදා ගැනෙයි.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
ඉපැරණි දඹදිව වාසීහු ග්‍රන්ථ රචනා කිරීමේ කලාව ක්‍රම තුනක් ඔස්සේ අනුගමනය කළහ.
තල්පත්වල අක්ෂර ලිවීමත්, ගස්වලින් ලබාගන්නා පොතුවල හා රෙදි මත අක්ෂර ලිවීමත් එම
ක්‍රම තුනයි. එහෙත් ධර්ම සංග්‍රාහක මහරෙතුන් වහන්සේලා තීරණය කළේ බ්‍රාහ්මණයින් වේදය
|