දළ්හ ධම්ම ජාතකය:
කළගුණ සැලකීමේ අගය වටහා ගත් උදේනි රජතුමා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
බුදුරජාණන් වහන්සේ පරලොව සුගතියට පමණක් ධර්ම දේශනා නො කළහ. සමාජයේ ජීව ගුණය ආරක්ෂා
කිරීමට ද ධර්ම දේශනා කළහ. මනුෂ්‍යයා උතුම් ගුණ ධර්මවල පිහිටා ජීවත් විය යුතු ය.
මනුෂ්‍යත්වය කි‍්‍රයාවට නැගිය යුතු ය. උපකාර කළ අයට කෘත උපකාර කළ යුතුය. ආරක්ෂා කළ
අය ආරක්ෂා කළ යුතු ය. පෝෂණය කළ අය පෝෂණය කළ යුතුය. තමාට කිසියම් උදව්වක් කවර
අවස්ථාවක දී හෝ කර ඇත්නම් ඒවා අමතක නො කළ යුතුය. ගලේ කෙටූ අකුරක් මෙන් සිහි තබා
ගනිමින් කි‍්‍රයා කළ යුතු ය.
බුදු දහමේ එක් ඉගැන්වීමක් එය යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව එය
කි‍්‍රයාවෙන් පෙන් වූහ. බුද්ධත්වය ලබා ගැනීමට උපකාර කළ සිත් පිත් නොමැති ඇසතු
බෝධියට ඇසිපිය නොහෙළා දවස් හතක් කෘත ගුණ සැලකූහ.
සිය සුළු මෑණියන් පිටුපසින් වැඩම කරමින් ගෞරව දැක්වූහ. සම්බුද්ධ චරිතයේ එවැනි
අවස්ථා බොහෝ ඇත. තමන් වහන්සේ කෘත ගුණ සැලකීමේ ගුණය පුරුදු කළා පමණක් නොව, අන් අයට
එය පුහුණු කිරීමට ද පෙරමුණ ගත්හ. එවැනි එක් අවස්ථාවක් දළ්හ ධම්ම ජාතකයේ සඳහන් වෙයි.
ජාතක කථාව සම්පූර්ණයෙන් අවබෝධ කරගත් පසු නූතන සමාජයේ කෘතගුණ නො හඳුනන පුද්ගලයින්
අධික බව හොඳීන් වැටහේ.
ගුරුවරු සිසුන්ටත්, දෙමාපියන් දූදරුවන්ටත් යනාදි වශයෙන් සමාජයේ සෑම ස්ථරයක ම කෘතගුණ
සැලකීමේ ගුණය ඉවත දමා ධනය, කීර්තිය, බලය වෙනුවෙන් වෙහෙසෙණු හැර එම ස්ථානවලට
පැමිණීමට වෙහෙසුණු මෙන්ම උපකාර කළ පිරිස අමතක කර බොහෝ පිරිසක් කටයුතු කරති. එය
බුදුන් වහන්සේගේ ධර්මය අසන, පිළිපදින සහ අනුගමනය කරන බෞද්ධයන්ට පමණක් නොව මනුෂ්‍ය
බව ලැබූ කිසිවකුටත් සුදුසු නො වන්නකි. ජීවිතයේ කවර අවස්ථාවක දී හෝ තමාට පිහිට වූ,
උපකාර කළ, සොයා බැලූ, ආරක්ෂාව සැපයූ කිසියම් කෙනෙක් වේ නම් ඔවුන්ට උපකාර කිරීමත්,
දුක සැප බැලීමත් උතුම් ගුණයකි. එය පුහුණු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දළ්හ ධම්ම
ජාතකයෙන් පෙන්වා දෙති. එම ජාතක කථාව මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටින සමයේ උදේනි රජතුමාගේ
භද්‍රවතිකා නම් මංගල ඇතින්න අරභයා මේ ජාතක කථාව දේශනා කරනවා. දිනක් බුදුරජාණන්
වහන්සේ පිරිවර මහා සංඝයා සමග පිණ්ඩපාතයේ වැඩම කරන විට රජමාලිගයේ දී නිතර දැක
පුරුදු, තමන් වහන්සේ දුටු පමණින් ආචාර කරන, ගෞරව දක්වන භද්‍රවතිකා ඇතින්න මාර්ගය
සමීපයේ කැලෑ රොදක කොළ අහුලා කමින් සිටිනු දකිනවා. සැරියුත් මුගලන් ආදි රහතන්
වහන්සේලා වෙතින් මේ ගැන විමසා සැක හැර දැනගන්නවා.
ඇතින්න කෙරෙහි අනුකම්පාවෙන් ඇය වෙත එළැඹුණු වහාම ඇතින්න තම සිතෙහි සඟවා ගෙන සිටි
දුක් ඉවසා ගත නොහැකි ව බිම පෙරළෙමින් වැඳ වැටී කදුළු පිරුණු මුහුණින් යුක්ත ව මෙහෙම
කියන්න පටන් ගන්නවා. අනේ ස්වාමිනි, ඔබ වහන්සේ පමණ යි මාගේ දුක හඳුනන්නේ, ඔබ වහන්සේ
පමණ යි මා කළ සේවය සිහි කරන්නේ, කුඩා අවධියේ සිට මම උදේනි රජතුමාට සේවය කළා. සේවය
සපයන කාලයේ මට රජතුමා හොඳින් සැලකුවා, උපස්ථාන කළා. වස්ත්‍රාභරණවලින් පවා අලංකාර
කළා. මගේ කාය ශක්තිය ඇති එසමයෙහි රජුගේ යුද්ධවලට විශාල සහායක් ලබා දුන්නා. රජතුමාත්
එසමයෙහි මා අමතක කළේ නෑ. රජතුමා ගන්නා රසවත් ආහාර පවා මට වෙන් කර ලබා දුන්නා.
වැස්සෙන් අව්වෙන් පීඩා වි¼දින නිසා අලංකාර ඇත්හළක් පවා මා වෙනුවෙන් ඉදිකර දුන්නා.
සේවකයන් පවා මාගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් කර දුන්නා. එහෙත් ස්වාමිනි, රජතුමා දැන්
මා ඇත්හලෙන් පිටමන් කර දමා තියෙන්නේ. මගේ කාය ශක්තිය දුබල නිසා, රජතුමාගේ කටයුතුවලට
සහාය කර ගන්නේ නැහැ. ඇත්හලෙහි අලුත් ඇතුන් සිටින නිසා එහි පවා නො රඳවා ගනිමින් මා
වනයට පිටමන් කළා. දැන් කෑමට බීමට කිසිවක් සොයා ගැනීම අපහසු යි. ඇවිද ගන්නේත් ඉතාම
අපහසුවෙන්. දැන් මාගේ ඓශ්චර්යයක් නැහැ. හැකි පමණින් කොළ අතු කඩාගෙන කමින් ජීවත්
වෙනවා. මාගේ මේ දුක නැති කිරීමට හැකි වන්නේ ඔබ වහන්සේට පමණයි. එබැවින් මා හට පිහිට
වන්න යැයි භද්‍රවතිකා ඇතින්න කදුළු පිරුණු දෙනෙතින් යුක්තව පවසා සිටියා.
බුදුන් වහන්සේ ඇයගේ දුක ඉතා හොඳීන් තේරුම් ගත්තා. උන්වහන්සේ පිණ්ඩපාත කිරීමට උදේනි
රජතුමාගේ මාලිගාවට මහ රහතන්වහන්සේලා සමඟ පිටත් වුණා. රජතුමාත් මහත් ගෞරවයෙන් බුදුන්
වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා පිළිගෙන ආදරයෙන් සහ ගෞරවයෙන් වඩා හිඳුවා දන්
පිරිනැමීම් සිදු කළා. අවසානයේ දී බුදුන් වහන්සේ රජතුමා ඇතුලු පිරිසට ධර්ම දේශනා
කරන්න පටන් ගත්තා. එවේලෙහි බුදුන් වහන්සේ රජතුමාගෙන් මෙසේ විමසා සිටියා. මහරජතුමනි,
මම වෙනදා වඩින විට ඇත් හලෙහි භද්‍රවතිකා ඇතින්න සිටිනු දකිනවා. ඇගේ ආචාරයත්,
ගෞරවයත් පුද කරනු දකිනවා. එහෙත් අද දකින්නට හිටියේ නෑ. කුමක් ද ? ඇය අසනීපෙන් ද?
යනුවෙන් විමසා සිටිනවා. එවිට රජතුමා ගෞරවයෙන් යුක්තව
ස්වාමිනි, ඇය දැන් ඉතා මහලු ය. රාජ්‍ය සේවය සැපයීම කළ නො හැකිය. එබැවින් ඇයට නිදහසේ
ජීවත්වීමට ඇත්ගාලෙන් බැහැර කළා යැයි පවසා සිටිනවා.
එවිට බුදුරජාණන් වහන්සේ භද්‍රවතිකා ඇතින්න නිසා රජතුමා රාජ්‍ය ආරක්ෂා කරගත් බවත්,
අග මෙහෙසිය පවා ලබා ගත් බවත්, රාජ්‍ය සේවයේ දී මෙන්ම යුද්ධ කටයුතුවල දී අපමණ සහායක්
ලබා දුන් බවත්, පවසා මහලු වූ කල එවැනි පිරිස් ඈත්කර දැමීම නො කළ යුතු බවත්, මරණයට
පත්වන තුරු තමාට සැපයූ සේවය නිසා ආරක්ෂා කළ යුතු බවත් පෙන්වා දෙමින් කෘත ගුණ
සැලකීමේ අගයා පහදමින් ධර්මය දේශනා කරනවා.
රජතුමා එයින් පැහැදී භද්‍රවතිකා ඇතින්නට පෙර සේ ම සියලු සම්පත් ලබා දෙමින් මරණය
දක්වා ආරක්ෂා කර ගැනීමට කටයුතු යෙදීමට පියවර ගන්නවා.
මේ පුවත නගරයේ පමණක් නොව, මුළු කොසඹෑ නුවර ම ව්‍යාප්තවී යනවා. එබැවින් භික්ෂූන්
වහන්සේලා ද ඒ පිළිබඳව කථා කිරීමට පටන් ගන්නවා. ධර්ම සභාවට එක් වූ භික්ෂූන් වහන්සේලා
බුදුන් වහන්සේ ගේ ධර්මදේශනය නිසා රජතුමා භද්‍රවතිකා ඇතින්නට නැවතත් පිහිට වූ බව
සාකච්ඡා කරන්නට පටන් ගත්තා.
බුදුන් වහන්සේ ධර්ම දේශනාවට කාලය පැමිණ ඇති බැවින් දම් සභාවට වැඩම කොට තමන් වහන්සේ
වැඩම කිරීමට පෙර කුමන කථාවකින් යුක්ත වූයේ දැයි විමසා අසවල් කථා පුවතින් යැයි
භික්ෂූන් වහන්සේලා පිළිතුරු සැපයූ කල්හි තමන් වහන්සේ පෙර එක් ආත්මයකත් භද්‍රවතිකා
ඇතින්නට මෙසේ ම පිහිට වූයේ යැයි පවසා සිටිනවා. එකල්හි කුතුහලයෙන් පිරී ගිය භික්ෂූන්
වහන්සේලා එම පුවත තමන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලෙස ආරාධනා කර
සිටිනවා. එකල්හි බුදුන් වහන්සේ මෙම දළ්හ ධම්ම ජාතකය දේශනා කිරීමට පටන් ගත්තා.
මහණෙනි, මම යටගිය දවස බරණැස් නුවර දළ්හ ධම්ම නම් රජතුමාගේ රාජ්‍යයේ ඒ රජ්ජුරුවන්ට
අමාත්‍යවරයකු ලෙස සේවය කළා. එකල්හි රජතුමාට තියුණු නුවණක් සහිත, කාය ශක්තියෙන් ඉහළ,
හොඳ දේහයකින් බැබළෙන ඔටුවෙක් හිටියා. යුද්ධ කටයුතුවල දීත්, රාජ්‍යයන් අතර සංදේශ
හුවමාරු කර ගැනීමේ දීත්, සැතපුම් දහස් ගණන් දුර ගමන්වල දීත් ඔහුගේ සහාය ලබා ගත්තා.
එහෙත් ක්‍රමයෙන් ඔටුවාගේ කාය ශක්තිය හීන වුණ විට දළ්හ ධම්ම රජතුමා ඔහු රාජකාරි
කටයුතුවලින් ඈත් කර දැමුවා. පෙර සේ කිසිදු සැලකිල්ලක් නො දක්වමින් ඔහු රාජ
මන්දිරයෙන් ද එළියට දැම්මා. දිනක් රජමාලිගයට වළං සපයන කුඹලා වළං සැපයීම ඉටු නො කළා.
එයට හේතු විමසූ රජතුමාට ඔහු පැවසුවේ වළං හැදීමට අවශ්‍ය මැටි ගෙනයාමට ගවයන්
නොමැතිකමින් නියමිත දිනට රජමාලිගයට වළං සැපයීමට නො හැකි වූ බවයි. එය අසා රජතුමා
එළිමහනට දමා සිටි ඔටුවා ගෙන ගොස් සේවය ලබා ගැනීමට නියම කළා. කුඹලාත් එසේම කටයුතු
කළා. ඔටුවා මහත් සේ දුක් විඳිමින් දුක සේ සේවය සැපයුවා. දිනක් බෝධිසත්වයන් වහන්සේ
අමාත්‍ය ධුරයේ කටයුතු නිමවා නිවසට යන අතරේ ඔටුවා දැක ඔහුගෙන් කරුණු විමසා සිටිනවා.
සියලු පුවත් හේ විස්තර සහිතව දන්වා සිටිනවා.එ විට හෙතෙම රජු වෙත ගොස් කාය ශක්තිය
පිහිටි කළ සේවය සැපයූ තම සේවාදායකයාට කළ නොකටයුත්ත පහදා දෙනවා. රජතුමා
අමාත්‍යවරයාගේ නිවැරදි කිරීම් නිසා සත්‍යය වටහාගෙන නැවතත් පෙර සේ ම සම්පත් සපයා
දෙමින් ජීවිතය කෙළවර වෙන තෙක් රැකබලා ගැනීමට කටයුතු සැලසුවා.
එකල ඔටු දෙන නම් මෙ සමයෙහි භද්‍රවතිකා ඇතින්න ය. අමාත්‍යවරයා නම් බුදුවූ මම් ම වේ
යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ ජාතක කථාව අවසන් කළා. |