Print this Article


අංගුත්තර නිකායෙන් 13

අංගුත්තර නිකායෙන් 13:

ඒකක නිපාතය

පභස්සර වර්ගය

සූත්‍ර අංකය - 51

අස්සුතවා සූත්‍රය

මහණෙනි, මේ (භවාංග) සිත ප්‍රභාස්වරය. පිරිසුදුය එයද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් (බැහැරින් පැමිණෙන්නා වූ කෙලෙස් වලින්) කෙලෙසෙන්නේ ය. ඒ බව ආශ්‍රැතවත් (සද්ධර්මය අසා පුරුදු නැති) පෘථග්ජන තෙමේ තතු සේ නො දනී. එහෙයින් සද්ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාට සිතෙහි වැඩීමක් (චිත්ත භාවනාවක්) නැතැයි කියමි.

අටුවාව - අශ්‍රැතවත්හු (අස්සුතවා) නම් කවරහුද, ආගම - අධිගම නැත්තා අශ්‍රැතවත්හුය.ආගම නම් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, විමසීම්, නිශ්චය කිරීම ය. මේවා නොමැති බැවින් යථාභූතඥාන අවබෝධය නැත්තේ ද ආගම නැත්තේ ය. අධිගම නම් ප්‍රතිපත්තියෙන් අවබෝධ කළ යුතු දෙය අවබෝධ කිරීම ය. මේ සඳහා ප්‍රතිපත්ති සපුරා නැත්තේ අධිගම ද නැත.

පෘථග්ජනයා නම්, බොහෝ කෙලෙස් උපදවන්නා ය.

සූත්‍ර අංකය - 52

සුතවා සූත්‍රය

මහණෙනි මේ (භවාංග) සිත ප්‍රභාස්වරය. එය වනාහි උපක්ලේසයන්ගෙන් මිදෙන්නේ ය. ඒ සද්ධර්මය ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයා තම සිත (ඇති සැටියෙන්) දන්නේ ය. එහෙයින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට (සිතෙහි වැඩීමක්) චිත්ත භාවනාවක් ඇතැයි කියමි.

සූත්‍ර අංකය - 53

මෙත්තා සේවන සූත්‍රය

මහණෙනි, ඉදින් භික්ෂුවක් අසුරුසනක් ගසන පමණ කාලයකුදු සිත මෛත්‍රියට පුරුදු කෙරේද, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නේ ය. අවවාදය මනා කොට රකිමින් වාසය කෙරෙයි. රට වැසියාගෙන් ලත් පිණ්ඩපාතය නිරර්ථක නොවන කෙනෙක්ම වළඳන්නේ ය. යමෙක් මේ සිත මෛත්‍රියට බහුල වශයෙන් පුරුදු කෙරේ ද ඒ ගැන (එහි අනුසස්) කියනුම කවරේද?

අටුවාව - මෙම සූත්‍රයේ ඇසුරු සනක් ගසන කාලයක් වුව ද යමෙක් මෛත්‍රිය වැඩීමෙහි අනුසස් දේශිත හෙයින් අච්ඡරාසංඝාත සූත්‍රය හෙවත් චුල්ල වජ්ජරාසංඝාත සූත්‍රය ලෙසින් ද නම් කෙරේ.