Print this Article


ඇති වුණොත් මානය එතැනමයි අවමානය

ඇති වුණොත් මානය එතැනමයි අවමානය

අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේණ වණ්ණෝ පසීදතී

අතීතං නානුසෝචන්ති - මම අතීතය පිළිබඳ සෝක නොකරමි.

නප්පජප්පන්ති නාගතං - මට අනාගතය ගැන සිතින් බිය වීමට කාරණයක් නොමැත.

පච්චුප්පන්නේන යාපෙන්ති - මම වර්තමානය තුළ සතුටින් ජීවත් වෙමි.

තේන වණ්ණෝ පසීදතී - එහෙයින් මාගේ ශරීරය ප්‍රසන්න ය.

මෙය තේමිය ජාතකයෙහි තේමිය කුමරු සිය පිය රජුට දේශනා කළ ගාථාවකි. තේමිය කුමරු ගුණධර්ම පුරා නිවන් අවබෝධය පිණිස රජකම අත් හළේ ය.

ඉහත ගාථාව බොහෝ දෙනකුට අතීතයත් ,වර්තමානයත් ,අනාගතයත් මැනවින් ස්පර්ශ කළ හැකි ගාථාවකි. “

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ

පින නම් නොපමාව ම කර ගන්නේ.”

ජීවිතය යනු ,තන අග පවතින පිනි බිඳක් බව ලෝවැඩ සඟරා කතුවරයා පවසන කරුණකි. ජීවිතය කුමන අවස්ථාවේ කවර වේලාවක අවසන් විය හැකි දැයි කාහට වුව ද පැවසිය නොහැකි ය. එය ඊළඟ තත්පරයේදී වුව ද සිදුවිය හැකි ය. ලෝභ ,ද්වේශ ,මෝහ යන ත්‍රිවිධ අකුසලයන්ගෙන් යුතු පුද්ගලයා කාමච්ඡන්ද ,ව්‍යාපාද ,ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන්ගෙන් ද බොහෝ විට විනිර්මුක්ත ද නොවේ.

වර්තමානයේ මිනිසා ආශාවෙන් ඇලී ගැලී ජීවත් වීම ස්වභාවයකි. ජරා ,ව්‍යාධි ,මරණයට පුද්ගලයාට මුහුණ දීමට සිදුවේ. එය තේරුම් ගැනීම, යථාභූත වශයෙන් අවබෝධය පුද්ගලයාට අපහසු ය. සැබැවින්ම මිනිසා තණ්හාවට දාසයකු වී ඇත.

“ඌණො ලොකො අතිත්තො තණ්හා දාසෝ”

මිනිසා සොයා යනුයේ සතුට පමණකි. දුකට ,ශෝකයට ,තැවීමට , මරණයට මිනිසා කැමැත්තක් නැත. ජීවත් වීම ආධ්‍යාත්මික ශික්ෂණය මෙන්ම සංවර්ධනයෙන් ගෙවීමට පුද්ගලයා ගනු ලබන උත්සාහය ද ඉතාමත්ම අල්පය.

“අත්ථ දීපා විහරථ ”

තමාට තමා පහනක් වන්න. එම ආලෝකය තම ජීවිතය ආලෝකමත් කරන බව තථාගත දේශනාවේ පණිවිඩයයි.

ලාභ අලාභ ,යස අයස ,නින්දා ප්‍රසංසා ,සැප දුක් ,ලොව ජීවත් වන සෑම පුද්ගලයාටම මුහුණ දීමට සිදු වන පොදු ධර්මතාවන්ය. ඇස, කන , නාසය, දිව, ශරීරය, මඟින් ගනු ලබන රූප, ශබ්ද , ගන්ධ, රස, ස්පර්ශ අරමුණු තුළද, අප කෙසේ ජීවත් විය යුතුද යන්න තීරණය කරනු ලබයි. ජීවිතයට ලැබෙන අට ලෝ දහම අප නිවරැදිව ජීවිතය ගත කරන අයුරු පිළබඳව අත්හදා බලනු ලබන දහම් කරුණුය.

“ චිත්තං දන්තං සුඛා වහං ”

දැමුණු සිත සුව ගෙන දේ. තම සිත දමනය කර ගැනීම පුද්ගලයා තුළ සතුට ගෙන දෙනු ලබන බව එයින් කියැවේ. දුක සතුට යනු මනසේ ගොඩ නැඟෙන සංකල්ප යුගලයක් පමණි. දුක් වීම , සතුටු වීම අප සිතුවිලි මඟින් හා සිතීමෙන් ගොඩ නැගෙන බව කල්පනාවේ යෙදෙන ඔබටද වැටහීමක් ලැබෙනු ඇත.

එම සිතුවිලි දාමයන්ගේ ක්‍රියාත්මක වීම පුද්ගලයා තුළ ලාභ අලාභ ආදී භෞතික ලැබීම් සිදු වේ. යස අයස මෙන්ම නින්දා ප්‍රසංසා ද ලැබෙන්නේ පුද්ගල මනසින් ගොඩ නැඟෙන සිතුවිලි ක්‍රියාත්මක කිරීම තුළින් ලැබෙන සමාජ ක්‍රියාවන්ටය.

බොහෝ අය බලාපොරොත්තු වනුයේ සමාජයේ බැබළීමටය. ඇතැමෙක් ධනයෙන් ,බලයෙන් බැබළීමට උත්සාහ දරන අතර මානයෙන් උඩඟුකමින් ඇතැම් අය බැබළීමට උත්සාහවත් වෙති. ශීලයෙන්, ගුණයෙන් බැබළීමට උත්සාහවත් වන්නෝ ඉතාමත් අල්ප ය. ඒ අතරද සමාජ ජනප්‍රියතාවයට එසේ කරන්නෝ ද නැත්තේම නොවේ. ධනය , බලය , මානය , උද්ධච්ඡය පුද්ගලයාට ලබාදෙනු ලබන්නේ තාවකාලික බැබළීමක් පමණි. සීලයෙන් , ගුණයෙන් ,ප්‍රඥාවෙන් පමණක් පුද්ගලයාට සදාකාලික සුවයක් ලැබෙන බව නොසිතීම පුදුමයකි.

“ ඇති වුණොත් මානය -එතැනමයි අවමානය

වනු නිහතමානය-එවිට ඔබ දෙවියකු සමානය”

උඩගුකම ,මානය ,ඊර්ෂ්‍යාව ආදිය පුද්ගල මනසේ සැනසීමක් ඇති කරන්නේ නැත. එයින් සිදු වනුයේ කායික මෙන්ම මානසික පිරිහීමක් පමණි. මානයෙන් ,උඩගු බවින් යුක්ත නොවීම දෙවියන් සේ සැලකීමට ඔබව ලක්වනු ඇත.

දුක, මානය, ඊර්ෂ්‍යාව පුද්ගලයා තුළ බාහිර මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරන්නේ නැත. එමඟින් සිදු වන්නේ වෛරය, තරහව, ක්‍රෝ්‍ධය ආදී පවිටු චේතනා මනස ස්පර්ශ කිරීමක් පමණි. පුද්ගලයා තුළ සතුටක් සැනසිමක් ගොඩ නඟාගැනීමට නම් සෑම ක්‍රියාවක් දෙසම උපේක්ෂාවෙන් සිතීමට ,ජීවත් වීමට හැකි මනසක් ගොඩනඟා ගත යුතු ය. උපේක්ෂාවෙන් යුක්ත වීමට නම් භෞතික සම්පත් මෙන්ම ලොවෙහි පවතින සියලු දේ පිළිබඳව යථා ,භූත ,ඥාණ දස්සනයෙන් යුතු සිතුවිලි සමුදායක් පළමුව තම මනස තුළ ගොඩ නඟා ගත යුතු ය. ඉපදීම ,පැවතීම , මියයෑම ලොව සියලු දේට පොදු ලක්ෂණය බව කවුරුත් තේරුම් ගත යුතු ය. එසේ තේරුම් නොගැනීම පුද්ගලයා අතීත ,වර්තමාන ,අනාගත කාල තුනෙහි සෑම අහිමි කිරීමකට ම හේතුවක් වන්නේ ය.

“ කාගෙන්වත් ආරාධනාවක් නොමැතිව මම මෙහි පැමිණියෙමි. කාගෙන්වත් ආරාධනවකින් තොරව මෙයින් මම පිටව යමි. යම් සේ නොකැඳව ආයේ ද, එසේම නොකැදවා යන්නේ ද එහෙයින් මා හඬමින් වැළපෙන්නේ කිමද”?

හැඬීම වැලපීම පුද්ගලයාට උචිත දෙයක් නොවන්නේ ය. අවබෝධයෙන් යුක්ත පුද්ගලයන් සම සිතින් සියල්ල විඳ දරා ගනිමින් ජීවත් වීමට හුරු විය යුත ªය. අතීතයේ ද, වර්තමානයේ ද ,අනාගතයේ ද සතුටින් ජීවත් වීමට නම් පසුතැවීමට හේතු වන ක්‍රියා අප සිදු නොකළ යුතු ය.

අන් අයකු රිදවා ලබන සතුට, සතුටක් නොවන්නේ ය. සෑම විටම ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමී බව සමාජයට මුදාහළ යුතු ය. තමන් සතුටින් සිටින විට අන් අයට ද සතුටින් සිටීමට හැකි වන අයුරින් ජීවත් වීමට අප හුරු විය යුතු ය.

ඉවසීම, කරුණාව, මෛත්‍රිය පුරුදු පුහුණු කළ යුතුය. සියලු දේ දෙස උපේක්ෂාවෙන් බැලීමට හැකිවන අයුරින් තම සිතුවිලි ගොඩනඟා ගැනීමට පුද්ගලයා හුරුවිය යුතු ය.

අතීතය සඳහා යම් පසුතැවීමක් නොවේ නම්, වර්තමානය ගැන යම් පසුතැවීමක් නොවේ නම්, අනාගතය පිළිබඳව යම් පසු තැවීමක් ඇති නොවන අයුරින් ජීවත් වීමට පුද්ගලයාට හැකියාවක් පවතී නම් එය පුද්ගල මනසෙහි නිරාමිස සතුටක් ගොඩනැඟීමට හේතුවක් වනු ඇත.