Print this Article


 රයිගම රජ මැඳුරු බිමේ පිහිටි පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම රාජමහා විහාරය

 රයිගම රජ මැඳුරු බිමේ පිහිටි පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම රාජමහා විහාරය

රයිගම් පුරවරයේ රජ මාලිගය පිහිටියේ යැයි සලකනු ලබන බිමෙහි ගොඩ නංවන ලද පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම රාජමහා විහාරස්ථානය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරු මධ්‍යස්ථානයට නුදුරින් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ රයිගම හන්දියෙන් හැරී ගමන් කිරීමේ දී හමු වෙයි.

පුරාණ රාජකීයයන් ස්නානය සහ ජල ක්‍රීඩා පිණිස යොදා ගත් විශාල පතහක් හෙවත් පොකුණක් පිහිටීම නිසා පතහවත්ත යන නම ලැබී ඇත. දිගින් අඩි අසූවක් ද, පළලින් අඩි හතළිහක් ද, ගැඹුර අඩි පහළොවක් ද වන සුවිසල් පතහ වටා දැව පාදමක් මත බැඳී කබොක් ගල් බැම්මක් තනවා ඇත. විහාරයට නුදුරින් ඇති උයන්වත්ත වැවෙන් ජලය ගෙන එන්නට ඇතැයි සැලකේ.


විහාරාධිපති

දියකඩුවේ සෝමානන්ද නාහිමි

එසේම කෝට්ටේ නගර සීමා දක්වන පෞරාණික කොටු පවුරට සමාන අන්දමින් උස අඩි නවයක් සහ පළල අඩි අටක් පමණ වන කබොක් ගලින් තැනූ ප්‍රාකාරයක් ද විහාර බිමේ ශේෂ වී පවතී. මේ හැර පැරණි මාලිගයේ අවශේෂ ලෙස සැලකිය හැකි මුරගල්, ගොඩනැගිලි පාදම්වල කොටස්, වැසිකිළි ගල් වැනි නිර්මාණ විහාර බිමේ ශේෂ වී පවතී. විහාර බිමේ ශේෂ වී ඇති පෞරාණික ළිං දෙක ද රජවරුන් පරිහරණය කළ ළිං ලෙස සැලකෙයි.

කඩඉම්පොතේ පානබුන්නෙහි රජනුවර ලෙස දක්වා ඇත්තේ රයිගම යනු ඉතිහාසඥයන්ගේ මතයකි. ගම්පොළ රාජධානි සමයේ රණ ශූරත්වයෙන් පිරිපුන් අලකේශ්වර හෙවත් අලගක්කෝනාරවරුන්ගේ ජන්මභූමිය ද රයිගම විය. වානිජ්‍යමය වශයෙන් වැදගත් සංධිස්ථානයක් සහ ආරක්ෂිත මධ්‍යස්ථානයක් වශයෙන් රයිගමට සුවිශේෂී වැදගත්කම් රාශියක් හිමි වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. උතුරේ ආර්ය චක්‍රවර්තී පාලකයාගේ ආක්‍රමණ හමුවේ ගම්පොළ රජතුමා රයිගමට පසු බැස සිටි අන්දම ඉතිහාසයේ කියැවෙයි. සයවැනි පැරකුම්බා මහ රජතුමා රයිගම අගනගරය කොට ගනිමින් වසර තුනක් රජකම් කොට කෝට්ටේට සංක්‍රමණය වී රාජධානිය පිහිටුවීය. වීදාගම මෛත්‍රෙය මාහිමියන් වැඩසිටි වීදාගම ඝනානන්ද පිරුවන, වීදියබණ්ඩාර සෙන්පතිඳුන් හා සබැඳෙන වීදියගොඩ නාථ දේවාලය ඇතුළු වැදගත් ස්ථාන රයිගමට නුදුරින් පිහිටා ඇත.

විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජධානිය සත්වන බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ යන කුමාරවරුන් අතර බෙදී ගිය අවස්ථාවේ දී රයිගම් බණ්ඩාර කුමරුන්ගේ පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවතුණේ රයිගම් පුරවරයි.

රයිගම් බණ්ඩාර කුමරුන්ගෙන් පසු සීතාවක රාජ්‍යයට අයත්ව පැවතී ඉන් පසු පෘතුගීසීන්ගේ ආක්‍රමණ හමුවේ විනාශයට පත් අලකේශ්වර සෙනෙවියා, සවැනි පැරකුම්බා නිරිඳුන් සහ රයිගම් බණ්ඩාර කුමරුන්ගේ මාලිගා පිහිටි බිම විහාරස්ථානයක් බවට පරිවර්තනය වූයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ තෘතීය ශිෂ්‍ය ගිනිගත්පිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙතිනි.

ගිනිගත්පිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ හා තත්ශිෂ්‍ය යාගොඩමුල්ලේ හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ මදුරාවල ධම්මදින්න මාහිමියන් වහන්සේ පහතරටට වැඩමකොට එගොඩ උයනේ ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය, අරුක්ගොඩ ඉන්දසාරාරාමය ඇතුළු විහාරස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් ශාසනාලෝකයෙහි නිරත වූ අතර තත් ශිෂ්‍ය හිමිනමක වූ නාරංගස්පිටියේ සුදස්සි මාහිමිපාණන් වහන්සේ වර්ෂ 1816දී පමණ සිරිපා වන්දනාවේ යාමට වැඩම කරද්දී මෙම ප්‍රදේශවාසීන්ගේ අයැදුමෙන් පුරාණ රජ මැදුර පිහිටි ලෙස සලකන ලද විශාල පතහ සහිත බිමෙහි වස් සමාදන් වූ බව සඳහන් වෙයි. ඉන් පසුව අනුක්‍රමයෙන් කාලානුරූපීව විහාරාංග ඉදි වෙමින් විහාරස්ථානයක් බවට පත්ව ඇත.


රාජකීයයන් පරිහරණය කළ පතහ

නාරංගස්පිටියේ සුදස්සි මාහිමියන්ගෙන් පසු කොතලාවල සුවණ්ණජෝති මාහිමියන් මෙහි ආධිපත්‍යයට පත්වූහ. විහාර මන්දිරයෙහි සෙවිළි කරවීමට යාබද කොළමැදිරිය ග්‍රාමයේ සිට උළු රැගෙන ඒමට සහභාගී වූ දරුවන් පාසල් නොපැමිණීම නිසා මිෂනාරි පාසලේ ගුරුවරුන් දඬුවම් පැමිණ වූ නිසා සුවණ්ණජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් පතහවත්ත, රයිගම, ගුංගමුව, වැලිතල, හල්තොට, පොකුණුවිට, හොරණ, මාපුටුගල, දඹර, කහටපිටිය, දීයකඩුව ආදී ගම්මානවල පාසල් දා හතරක් ආරම්භ කරවීය. පතහවත්ත පාසල රජයේ ලියාපදිංචි කළ සිව්වන පාඨශාලාව ලෙස ඉතිහාසගත වෙයි.

කොතලාවල සුවණ්ණජෝති මාහිමියන්ගෙන් පසු පිළිවෙළින් රයිගම සංඝානන්ද මාහිමි, කොතලාවල සීලරතන මාහිමි, ගැලනිගම ධම්මාලංකාර මාහිමි, දීයකඩුවේ ධම්මාරාම මාහිමි යන මාහිමිවරුන් විහාරාධිපති පදවිය හෙබ වූ පසු වර්තමානයේ දීයකඩුවේ සෝමානන්ද මාහිමියන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති.

රයිගම් කෝරළය කේන්ද්‍ර කොට ගනිමින් ව්‍යාප්ත වූ සංඝ පරම්පරා තුනක් වීදියගොඩ, වෙහෙරවත්ත සහ පතහවත්ත යනුවෙන් ප්‍රකටව පවතී. පතහවත්ත රජමහා විහාරස්ථානයට නවෝදයක් උදා කළ නාරංගස්පිටියේ සුදස්සි මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇසුරෙන් ව්‍යාප්ත වූ සඟ පරපුර පතහවත්ත සඟ පරපුර ලෙස හැඳීන්වෙයි.

පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම රාජමහා විහාරය, කොතලාවල රාජමහා විහාරය, වීදාගම දෙල්ගස්වත්තේ ශ්‍රී සුවිසුද්ධාරාමය, දීයකඩුවේ විහාරස්ථානය, දියගම සාලවනාරාමය, පලන්නොරුවේ විජයසුන්දරාරාමය, කනන්විල කන්දේ විහාරය, කහටපිටියේ සුනේත්‍රාරාමය, උඩුවන සුපේසලාරාමය, ගෝවින්නේ සුදර්ශනාරාමය, රයිගම ලේඛකාරාමය, මිල්ලෑවේ රන්ගිරි විහාරය, හොරගල සුධර්මාරාමය, ඈගල්ඔය සුනන්දාරාමය, කොබවක සුමනාරාමය, දේවමුල්ලේ සුමංගලාරාමය ආදී විහාරස්ථාන 21ක් පතහවත්ත සඟ පරපුරට අයත් වෙයි.

රයිගම සුමංගල මාහිමි, මොල්ලිගොඩ විමලතිස්ස මාහිමි, පිඹුරේ සීලවිමල නාහිමි, විද්‍යොදය විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවිය හොබවා වදාළ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පලන්නොරුවේ විමලධම්ම නාහිමි, රයිගම විමල නාහිමි, වේරහැර අරියවංස නාහිමි වැනි සම්භාවනීය මහා යතිවරයාණන් වහන්සේලා රාශියක් පතහවත්ත සඟ පරපුරෙන් බිහි වී සම්බුදු සසුනඹර එකලු කොට ඇත.