Print this Article


බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා විහරණය පිණිස වැඩම කළ දිවා ගුහාව

බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා විහරණය පිණිස වැඩම කළ දිවා ගුහාව

තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ දී ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ සමන් ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ ඍද්ධි බලයෙන් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කොට චක්‍රාදී මංගල ලක්ෂණයන්ගෙන් යුත් ශ්‍රී පාද පත්මය අදිටන් බලයෙන් පිහිට වූ බව සඳහන් වේ.

ශ්‍රී පාද පත්මය පිහිටුවීමෙන් අනතුරුව දිවා විහරණය සඳහා ශී‍්‍ර පාද කඳු ශිඛරයේ පාමුල වූ සුවිශාල ගල් ලෙනකට පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ වැඩිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ශී‍්‍ර ලංකාද්වීපයේ ගල්ලෙන් පූජාව සිදුකොට ඇති බවට ශිලා ලිපිවල සඳහන් ව ඇත. ඒ අනුව පළමු ගල්ලෙන් පූජාව සිදුකොට ඇත්තේ මහා සුමන සමන් දෙවියන් විය හැකි බව ද සඳහන් ය. ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව දිවා විහරණය සඳහා, (මඳක් විවේකී සුවෙන් වැඩ විසීම සඳහා) තමා සතු පාරම්පරික ගල්ගුහාව බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ රහතන් වහන්සේට පූජා කරමින් ශ්‍රී ලංකාද්වීපයේ පළමු ගල්ලෙන් හා ගල්ගුහා පූජාව ආරම්භ කළ බව ද ඉතිහාසය කරුණු හෙළි කරයි.

ගුහාවක් නිරන්තරයෙන් ම අඳුරක් පවතින ස්ථානයක් බව සිතිය හැකි ය. එසේ වූව ද ඉර පායා බැස යන තුරුම දිවා කාලය පුරා ම ඉතාම හොඳීන් හිරු රැස් පතිතවන ලෙනක් හෙයින් දිවාගුහාව යනුවෙන් නම පටබැඳුන බව ද සිතිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟින් දිවා විහරණය සඳහා වැඩි ලෙන දිවා ගුහාව වූවා ද?, නැතිනම් දිවාගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දිවාගුහාව නැතිනම් භගවා ලෙන ලෙසින් ව්‍යවහාර වූයේ ද යන්න සිතා බැලිය යුතු කරුණක් වන්නේ ය.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය තැන බටතොට හන්දිය හමුවේ. එතැනින් වමට හැරී එම මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට ඉහළින් දිස්වන මහා ගල් පර්වත රාශියක් තිබෙන අතර ඊට මැදි වූ විශාල ගල් පර්වතයක් තුළ දිවාගුහාව හෙවත් බටතොට ලෙන් විහාරය පිහිටා ඇති බව සඳහන් ය.

දිගින් අඩි 150 ක් ද පළලින් අඩි 70ක් ද උසින් අඩි 50ක් ද පමණින් සමන්විත ඓතිහාසික මෙම ලෙන නැෙඟනහිර දිශාවට මුහුණලා පිහිටා ඇත. මෙම ආකාර වූ ස්වභාවික පිහිටීම නිසා ම හිරු පායා බැස යන තුරු ම ඉතාමත් හොඳීන් ලෙන තුළට හිරුගේ ආලෝකය වැටීම නිසා දවල් කාලය පුරා ම ඉතාමත් හොඳ ආලෝකයක් පවතින බව සඳහන් ය.

සෑම වසරක ම දෙසැම්බර් මස පුන් පොහෝ දිනයෙන් ආරම්භ ව මැයි මස පුන් පොහෝ දින දක්වා ශ්‍රද්ධාවත්හු සිරිපා කරුණා කරති. මෙම සිරිපා කරුණාවත් සමඟ ම දස දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට භගවා ලෙන එනම් දිවා ගුහාව පාත්‍ර වේ.

වසර 700කට අධික කාලයක් බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් නොවී දිවාගුහාව අතුරුදහන් ව පැවති බව ද සඳහන් වේ. එයට හේතුව ලෙස මෙවන් වූ ජනප්‍රවාදයක් පැවැති බව ද සඳහන් වේ.

ඒ වර්ෂ 1178 සිට 1207 දක්වා ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය පාලකයා වූ නිස්සංකමල්ල රජු ශී‍්‍ර පාද ස්ථානය සොයා යන ගමනේ දී බටතොට නම් ගමේ පිහිටි ගල් ලෙනක දින කිහිපයක් ගත කළ බව ජනප්‍රවාදයකි. මෙම ලෙනේ සිට බැලූ විට ශී‍්‍ර පාදස්ථානයත් එහි ආලෝකයත් මෙම ලෙනට මනාව දිස්වෙන හෙයින් මෙම ගුහාව දිවාගුහාව විය යුතු බව රජතුමා තීරණය කළේ යැයි සඳහන් වේ. එම නිසා මෙම ස්ථානයේ විහාරයක් කරවිය යුතු යැයි සිතූ රජතුමා, රජතුමාගේ ඥාතිවරයකු සමඟ අවශ්‍යම පිරිස් ඒ සඳහා යොදවන ලද බව සඳහන් ය.

මෙම ලෙනෙහි පිහිටා ඇති ප්‍රතිමා හා සිතුවම් ඉතා පැරැණි යැයි සැලකේ. එනම් ඉතා පැරණි වැලි මැටිවලින් නිර්මාණය කරන ලද විසි එක් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පෞරාණිකත්වය පැහැදිලි වේ. ඒ වගේ ම පිළිම වහන්සේ අවුරුදු 700 කට වඩා පැරැණි බව ද සඳහන් වේ. ඒ අනුව නිස්සංකමල්ල රජු යුගයේ මෙම ලෙන තුළ විහාර කර්මාන්තයක් ආරම්භ කළ බවට එහි ඇති ප්‍රතිමා හා බිතු සිතුවම් සාක්ෂි දරන බව සඳහන් වේ.

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ 1995 වර්ෂයේ දිනක මෙම දිවාගුහාවට වැඩම කළ බව සඳහන් ය. මෙම ස්ථානය දිවාගුහාව බවට ඉතිහාසයේ තොරතුරු අනුව සාක්ෂි පවතින බවත්, ආගමික වශයෙන් ඉතාමත් වටිනාකමක් මෙහි පවතින බව ද උන්වහන්සේ සඳහන් කළ බව ත් පැවසේ.

රාතී‍්‍ර කාලයේ මෙම ලෙනේ සිට ශී‍්‍ර පාදස්ථානය දෙස බලන කල එහි පහන් එළි ගල්ලෙනටත් ගල්ලෙනේ පහන් එළිය ශී‍්‍ර පාදස්ථානයටත් පෙනීම විශේෂත්වයක් බව ද සඳහන් ය.

දිවාගුහාව වන්දනා කරන ගාථාවේ දැක්වෙන පරිදි මෙම භූමිය සාල වෘක්ෂයන් පිහිටි භූමියක් බව ද, වසරේ දින 365 ම මල් හටගන්නා විශාල සල් ගසක් අදටත් දැකගත හැකි බව ද කියැවේ. ඒ වගේ ම දහසකට අධික පිරිසකට එහි පහසුවෙන් රැස්විය හැකි බව ද සඳහන් වේ. බීමට ඉතා පිරිසිදු ජලය ලෙන තුළ පවතින අතර, ඉතාමත් සිසිල් පරිසරයක පිහිටීම පුදුම සහගත යැයි ද සඳහන් වේ.