Print this Article


අතීතයෙන් පාඩමක්

අතීතයෙන් පාඩමක්

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස ලංකාවට හඳුන්වා දෙන ලද සංස්කෘතිය ලොව කිසිදු ආගමක නැති බව සඳහන් කළ හැකි ය.

බෞද්ධ දර්ශනය තුළින් ජන ජීවිතය අර්ථවත් කළේ ය. භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත්, පුද පූජා ක්‍රම, උත්සව ආදී මෙරට සංස්කෘතියේ සෑම අංගයක් ම පෝෂණය විය. මෙරට ආර්ථිකය ද, දේශපාලනය ද බුදු දහමට අනුව පෙළගැසුණු අතර, එමඟින් ඉහත කී සංස්කෘතිකාංග පෝෂණය කිරීමට අනුග්‍රහය ලැබුණි. පොදු ජනතාවගේ ජීවිතය සමඟ එක් වූ සිරිත් විරිත් මෙන්ම බෝධි පූජා, බුද්ධ පූජා, ධාතු පූජා, ස්ථූප පූජා ආදී විවිධ උත්සව බෞද්ධ සංස්කෘතිය තුළින් ගොඩනැඟුණි.

විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කර ගනිමින් ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සිදු කරන සියලු වැදගත් කාර්යයන් සිදු කළේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමිනි. ගැබිනි මවට අංගුලිමාල පිරිත තුන්වරක් දේශනා කරවීම, මෙලොවට බිහි වූ දරුවා පළමුව දළදා වහන්සේ හෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හෝ ගමේ විහාරස්ථානයට හෝ රැගෙන ගොස් තෙරුවන් සරණ ලබා දීම විශේෂිත ය.

උපත විපත සිහිකරමින් දානමය පින්කම් පිරිත් දේශනා කරමින් පින් අනුමෝදනා කිරීම සිදු කරයි.

දිනපතා පන්සිල් සමාදන්වීම, තෙරුවන් නැමදීම, සතර පෝයට අටසිල් සමාදන්වීම, පෝය දින තෙල් මල් රැගෙන විහාරස්ථානයට දරුවන් හා අසල්වාසීන් සමඟ එකට එකතු වී ගොස් බුද්ධ පූජා පැවැත්වීම, ධර්මය ශ්‍රවණය කිරීම, මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම තුළින් ජීවිතයේ අඩුපාඩු සකස් කර ගැනීම, විනය ගරුක පුද්ගලයෙක් වීම, හිරි ඔත්තප්ප දෙක අවබෝධ කර ගනිමින් පවට බියව, පිනට ලැදිව ක්‍රියා කළහ.

බුදු දහමත් සමඟ අපේ කෘෂිකාර්මික සමාජය තවත් දියුණු වීම නිසා වැව් සාදා ජලය ලබා කරන ගොවිතැනට භික්ෂූන් වහන්සේ ද එකතු වූහ. බෞද්ධ භික්ෂුව පන්සලට වී සිවුපසය ලබාගෙන වැළඳීමෙන් පමණක් තෘප්තිමත් නොවීය. දියුණු වන සමාජයට ඒකාබද්ධ ව බෞද්ධ භික්ෂුවට කළ හැකි කාර්යය කීපයක් විය.

පළමුවෙන්ම උන්වහන්සේ සමාජයට ආගම ධර්මය කියා දුන්හ. සමාජයට අධ්‍යාපනය ලබා දුන්නේ ද භික්ෂූන් වහන්සේයි. පොත පත ලිවීමේ දී මෙලොවටත් පරලොවටත් අවශ්‍යම දැනුම ලබා දුන්නේ ද උන්වහන්සේ ය.

තවද කෘෂිකාර්මික ජීවිතයේ දී ද හාමුදුරුවන්ගෙන් අනුශාසනා ලැබුණි. වැවක් හදන විට දාගැබක් ද ඉදිවිය. ඊට අදාළ චාරිත්‍ර හා ගුරු හරුකම් උපදෙස් උන්වහන්සේ ලබා දුන්හ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ ජනතාවගේ ලෙඩ රෝග හා සෞඛ්‍යය ගැන උනන්දු වූහ. ඒ සඳහා මුදල් අය නොකළහ. හුදෙක් ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් සෞඛ්‍ය ගැන ජනතාව උනන්දු කළේ හාමුදුරුවන් වහන්සේ ය. ජනතාව අතර ඇතිවන ආරවුල් විසඳුවේ ද උන්වහන්සේ ය.

භික්ෂූන් වහන්සේ ඊළඟට පිහිට වූයේ මිනිසුන්ගේ මානසික දුකට ය. විවිධ ප්‍රශ්නවලින් පෙළුණු විට උදව් වූයේ පන්සලයි. වර්තමානයේ අප උපදේශනය යන්න එදා පන්සලෙන් සිදු විය. ලෙඩක්, මරණයක්, කම්පනයක් හෝ වෙනත් කරදරයක් සිදු වූ විට ඊට ඉදිරිපත් වූයේ මිහිඳු හිමියන්ගේ මේ නියෝජිත පිරිස ය. ගස් වැල්, සතා සිවුපාවාට ඉතා ආදරයෙන් සලකන්නට මිනිසා පුරුදු වූයේ ය.

දියුණු සාහිත්‍යයක් අපට ලැබුණේ මහින්දාගමනයෙනි. හාමුදුරුවරු බුදු දහම මුල්කොට ගෙන පොත පත ලියුව නිසා අපේ සාහිත්‍ය අලංකාර විය. සාහිත්‍යය පමණක් නොව ලලිත කලාව, චිත්‍ර, කැටයම් බුදු දහමින් පෝෂණය විය. ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය, අභයගිරිය, බුදුදහම නිසා ලැබුණි.

රාජ්‍ය පාලනය බුදු දහමට එකඟව සිදුවිය. මේ අනුව රජු ධාර්මික විය. පංචශීල ප්‍රතිපත්තියට අනුගතව සතර සංග්‍රහ වස්තු, සතර අගති, දසරාජ ධර්ම, දස සක්විතිවත් ආදියේ පිහිටා රාජ්‍ය කරවිය. දේවානම්පියතිස්ස රජුගේ පටන් සිරිසඟබෝ රාජ්‍ය පාලනය අපට සිහි වේ. මේ බෞද්ධ රාජ්‍යවරුන්ගේ පාලනය යටතේ සතුන් හා වහල් වෙළඳාම නැති බව, අවි ආයුධ නිෂ්පාදනයෙන් ඈත්වීම, විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් තොරවීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් නිෂ්පාදනය නොකිරීම මසට, සතුන් නොවිකිණීම සිදු විය. රාජ්‍ය පාලකයින් නිවැරැදි මඟ ගමන් කරවීමට අනුශාසනා කළේ මහා සංඝරත්නයයි.

මහජන බලය රටට දැනෙන්නට ගොනු වූයේ හාමුදුරුවරුන් මඟිනි. රජු යහමඟට හැරවීමට උපක්‍රම උන්වහන්සේලාට තිබුණි. ගැමුණු තිස්ස සොහොයුරන් සමඟි කරවූ සැටි ආදියෙන් ඉතා ප්‍රකට ය. මහජන බලය එක්තැන් කිරීමට මිහිඳු හාමුදුරුවන් මෙරටට ආ මේ සඟරුවන මුල්වූහ.

රජවරු රට පාලනය කළත් ඒ රජවරුන් මහජන බලය දකින්නට තරම් අවස්ථා මතුකර දුන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ය.

මිහිඳු හිමියන් අලුත්ම සිංහල සමාජයක් ගොඩනැඟීමට අත්තිවාරම් දැමුවේ බුදු දහම පමණක් මෙරටට ගෙන ඒමෙන් නොවේ. ඒ සමඟම විශාල ඥාන සම්භාරයක් හා ශිල්පීය ක්‍රමයක් අපට දායාද කිරීමෙනි. අනුරාධපුර යුගයේ ජීවත් වූ ජනතාව දවසට දෙවතාවක් එකට එකතු වී සිය නිවසේ පවුලේ සියලු දෙනා ආගමික කටයුතු වල නිරතවූහ. සවස් වරුවේ ඔවුන්ගේ පිරිත් පොත හා ජාතක පොත වැනි වටිනා ධර්ම ග්‍රන්ථයක් කියවූහ. තාත්තා සමඟ එකට පිරිමි දරුවෝ කෘෂි කාර්මික කටයුතුවල යෙදුණාහ. ගැහැනු දරුවෝ සිය අම්මාට එකතුව ගෙදර ඉවුම් පිහුම් කටයුතු කළහ. මේ තුළින් පවුලේ එකිනෙකා අතර ඇති වූයේ අන්‍යොන්‍ය සම්බන්ධයයි. පවුලත් අවට සමාජයත් පන්සලත් අතර සම්බන්ධය දැකගත හැකි ය. යුතුකම් හා කළගුණ සලකන සුහදශීලී සමාජයක් ද දුකේ දී පිහිට වන පුද්ගල සමාජයක් ඇති වීමට මිහිඳු හිමියන් ගේ පැමිණීම මුල් විය. ඒ අතීත සමාජයේ යහපත් පාඩම් උගත යුතු කාලයයි මේ එළඹ තිබෙන්නේ.