Print this Article


ප්‍රේත ලෝකයේ දොරටුව විවර වන්නේ මෙලෙස ය

ප්‍රේත ලෝකයේ දොරටුව විවර වන්නේ මෙලෙස ය

" නුඹ මනුස්ස ලෝකයේ දී සිත, කය, වචනය මෙහෙයවා මොන වගේ පාපයක් ද කර ගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්නට තරම් විපාකයක් ලැබුණේ මොන වගේ පාපයක් නිසා ද?"


ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහි දී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කරගෙන යි. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතුවෙන් සමහර දෙනා නිරයේ ඉපදී එහි බොහෝ කලක් පැසී එයින් චුතව ප්‍රේත ලෝකයේ උපදී. සමහර දෙනා මිනිස් ලොවින් චුත වූ සැණින් ප්‍රේත ලෝකයේ ඉපදේ.

යම් කෙනෙක් උපත ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය යි. එය කර්ම විපාකයකින් ලැබෙන්නක්. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ට කර්මානුරූපව සාදා දුන් වේදනා වි¼දීමට යි.

ප්‍රේත ලෝකය යැයි සඳහන් වූවාට මිනිස් ලොව හෝ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ ලෝකයක් ප්‍රේතයන්‍ට නොමැත. ඒ ප්‍රේතයෝ පර්වත පාමුල, හිස් නිවාසවල, පාළු ස්ථානවල, සොහොන් පිටිවල ඕපපාතික උපත උරුම කර ගනිති. එනිසා ප්‍රේතයන්ට උපදින්නට නිශ්චිත ස්ථානයක් නැත.

ප්‍රේත ලෝකයේ සැඟවුණ තොරතුරු අපට කියා දෙන්නේ ප්‍රේත වස්තුව තුළින්. මිනිසා විසින් දූෂිත සිතින් යුතුව සිත, කය, වචනයෙන් පව් කරන ලදුව එකී සා පිපාසයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු හෙළි වෙයි. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසව නිවා ගන්නට වෙහෙසෙන අයුරු ඉතා සෝචනීය ය. එම තොරතුරු දකින විට අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින් ම සිදුවේ.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා මාස තුනක් ගිය තැන ප්‍රථම සංගායනාව පැවැත්වීමව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂු පිරිසක් සමග කොසඹෑ නුවරට නුදුරු එක් ආරණ්‍යයක වැඩම කර සිටියහ.

ඒ කාලයේ රට පාලනය කළ උදේනි රජතුමාගේ එක්තරා ඇමැතිවරයෙක් මිය ගියේ ය. ඒ ඇමැතිවරයාගේ උත්තර නම් පුත්‍රයා රජතුමා විසින් ඇමැතිවරයා කළ තනතුරට ම පත්කරනු ලැබුවේ ය. උත්තර ඇමැතිවරයා දිනක් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය දේ සෙවීමට නගරයට ගියේ ය. ඔහු මහාකාශ්‍යප රහතන් වහන්සේ වැඩ සිටින කුටිය වෙත පැමිණියේ ය. උන්වහන්සේගේ සරල දිවියට පැහැදී උන්වහන්සේ සමඟ කතාබහ සිදු කළා. තෙරුන් වහන්සේ උත්තරට ධර්මය දේශනා කළ අතර, ධර්මය අසා සිත පැහැදී “ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට දින මාගේ නිවසට දානයට භික්ෂූන් වහන්සේලා සමඟ වඩින සේක්වායි!” ආරාධනා කළේ ය.

ඔහු පසුදින තෙරුන් වහන්සේලාට ප්‍රණීතව දානය සැකසුවේ ය. තෙරුන් වහන්සේලා වඩින පෙරමගට ගොස් පාත්‍ර රැ‍ගෙන උන්වහන්සේලා ගෞරවයෙන් නිවසට කැඳවාගෙන ආවේය. තෙරුන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණීත දානය ගෞරවයෙන් පූජා කළේ ය. ඉන්පසුව අනුමෝදනා දේශනාව දොහොත් මුදුනේ තබාගෙන ශ්‍රවණය කළේ ය.

තෙරුන් වහන්සේලා නැවත පිටත් වී වඩින විට ඔහු නුවර අවසානය තෙක් උන්වහන්සේලා සමඟ ගමන් කර නැවත ස්වාමින් වහන්සේලාට වන්දනා කර “ස්වාමිනි, නිතර නිතර මගේ නිවසට දානය සඳහා වඩින සේක්වායි!” නැවත ආරාධනා කළේ ය. උන්වහන්සේලා නිහඬව ඒ ආරාධනය පිළිගත්හ. ඉතාමත් සොම්නස් සිතින් නැවත නිවස කර පැමිණියා. ඔහු එදා පටන් ආර්ය මහා සංඝරත්නය ඉතා ගෞරවයෙන් ඇසුරු කළේ ය. ඒ අවවාද අනුව කටයුතු කළ නිසා උත්තර තරුණයා නොබෝ කලකින් සෝවාන් ඵලයට පත්විය. ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔහු විහාර ඉදි කළේ ය. තමාගේ ලේ ඤාතීන් ධර්මය කෙරෙහි පහදවා ඔවුන්ටත් තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති කළේ ය.

එහෙත් මේ තරුණයාගේ මව ඉතාමත් මසුරු ය. අකීකරු ය. තුනුරුවන් කෙරහි කිසිදු ශ්‍රද්ධාවක් නැති අහංකාර ස්ත්‍රියකි. ඇය තම පුතා නිතර පින්කම් කරනවාට විරුද්ධ වුණි. දොස් නඟමින් සාප කළා ය.

දිනක් ඇය බොහෝ සේ කිපුණි. ඇය තම පුතාට සාප කරමින් කියා සිටියා ඔබ මේ මුඩු මහණුන්ට දානය දෙන්නේ මාගේ කැමැත්ත නො විමසා යි. මේ දේට මම අකමැතියි. නුඹ මේ දෙන ආහාර පරලොව දී රුධිරය බවට පත්වේවා! කියා සාප කළා.

නමුත් උත්තර තරුණයා දිනක් විහාරයක් කර පූජා කරන අවස්ථාවේ දී මේ මව ඒ කෙරෙහි සතුටු සිත උපදවාගෙන මොණර පිල් කළඹක් පිදුවා ය. කාලයකට පසු ඇය මියගොස් ‍ ප්‍රේත ලෝකයේ භයානක පෙනුවක් ඇති ප්‍රේතියක් ලෙස ඕපපාතික ව උපත ලැබී ය.

දිනක් එක් භික්ෂූන් වහන්සේ නමක් දවල් කාලයේ භාවනාවෙන් ගත කිරීමට සිතා ගං තෙරට වැඩම කළහ. එව්ලෙහි ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේ වෙතට පැමිණියා. ඇගේ කොණ්ඩය බොහෝ දිගය. කෙස්වලින් තමයි මේ ප්‍රේතිය සිරුර වසාගෙන සිටියේ ඒ තෙරුන් වහන්සේට ඇය මෙසේ කියා සිටියා ය.

“ස්වාමිනි, මම දැන් මියගොස් පනස් පස් අවුරුද්දක් වෙනවා. මේ තාක් මම කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන දැනීමක් නැහැ. අනේ ස්වාමිනි මම ගොඩක් පිපාසයෙන් ඉන්නේ. මට පැන් ටිකක් ඕන පානය කරන්න. මට පැන් ටිකක් ලබාදෙන සේක්වා!” යි ඉල්ලා සිටියා.

“මෙතැනින් ගලා බසින්නේ සීතල පැන් ඇති ගංගාවක්. හිමාල කන්දේ සිටයි මේ ගඟ ගලන්නේ. මේ ගඟෙන් පැන් අරගෙන පානය කරන්න. ගත, සිත නිවා ගන්න.”

“අනේ ස්වාමිනි, මම පැන් ටිකක් බොන්න ඕනේ කියා ගඟට බසිනවා තමයි. එවිට ඒ ජලය ලේ බවට හැරෙනවා. මම ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ.”

“නුඹ මනුස්ස ලෝකයේ දී සිත, කය, වචනය මෙහෙයවා මොන වගේ පාපයක් ද කර ගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්නට තරම් විපාකයක් ලැබුණේ මොන වගේ පාපයක් නිසා ද?”

“ස්වාමිනි, මට හිටියා උත්තර කියලා පුතෙක්. හරිම ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. ඔහු මම අකමැති වෙලා සිටිද්දී ම ශ්‍රමණයන් වහන්සේලාට දන් දුන්නා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස පිදුවා. එවිට මසුරුකමෙන් සිටි මම ඔහුට නින්දා අපහාස කළා. මම කිව්වා උඹ මම අකැමැති ව සිටිද්දී නේද ඔය ශ්‍රමණයන් වහන්සේලාට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පූජා කරන්නේ. උත්තර, පරලොව දී නුඹට මේ සියල්ල ම ලේ බවට පත්වේවා!” කියා කළ සාපය නිසයි ගංගා ජලය මට ලේ බවට පත් වන්නේ.

ඇය කෙරෙහි අනුකම්පාව උපදවාගත් මේ තෙරුන් වහන්සේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට පැන් පූජා කළහ. පිඬුසිඟා වැඩ දානය ද පූජා කළහ. සිවුරු පූජා කළහ. ඒ පින් ප්‍රේතියට අනුමෝදන් කළහ. විපාක ලෙස ඒ ප්‍රේතියට දිව්‍ය සැප ලැබුණි. ඇය ඒ සළුපිළි පොරවාගෙන තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට වන්දනා කළා ය.

ඒ තෙරුන් වහන්සේ මෙම පුවත සිව්වනක් පිරිසට කියා සිටියහ. දානයේ විපාක කෙ තරම් ද කියා වැටහේ. ඒ පුවත ඇසූ බොහෝ දෙනා මසුරුමළ දුරු කොට දස කුසල් කරමින් ධර්මයේ හැසිරුණ හ.