Print this Article


දැහැමි පිළිවෙතින් තෙරුවන් පුදමු

දැහැමි පිළිවෙතින් තෙරුවන් පුදමු

පංච ශීලය සහිතව තෙරුවනට පූජාවක් පැවැත්වීමෙන් බෞද්ධ සැදැහැවතකුට මහානිසංස උදා කර ගැනීමට පුළුවන. මෙය ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි. විහාරස්ථානයකට යාමට අපහසු කෙනකුට තම නිවසේ සිට මෙම පූජාව සාර්ථකව කළ හැකි ය.

නමස්කාරය ආරම්භ කරන්නේ පළමුව සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙනි.

උක්කුටිකයෙන් වැඳීම -

දෙපතුල බිම පිහිටන සේ වාඩි වී නමස්කාර කිරීම

පසඟ පිහිටුවා වැඳීම -

දෙ දණ දෙ වැළමිට සහ නළල යන පස්තැන බිම තබා වැඳීම

දණ්ඩ නමස්කාරය -

මුළු සිරුරම බිම දිගාවෙන ආකාරයට මුනින්තලා වී වැඳීම.

මෙයින් වඩා සුදුසු වන්නේ පසඟ පිහිටුවා වැඳීමයි. මේ කුමන ආකාරයට වැන්ඳත් අත් ඇඟිලි නෙළුම් මල් පොහොට්ටුවක් සේ එකට එකතු කරගෙන වැඳිය යුතු ය. නමස්කාරය සිත, කය, වචනය යන තිදොරින් කෙරෙන හා කළයුතු ක්‍රියාවකි. සිතේ උපදවා ගත් ගෞරවයෙන් ම බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ යුතු ය. මෙහිදී නමස්කාර පාඨය කියමින් ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. යනුවෙන් තෙවරක් ප්‍රකාශ කළ යුතු ය.

සරණාගමනය

සරණාගමනය යනු විශ්වාසය පිහිටුවා ගැනීමයි. නමස්කාරයෙන් පසුව කළ යුත්තේ සරණා ගමනයයි. මෙය තෙරුවන් සරණ යෑම යනුවෙන් ද කියැවෙයි. සරණාගමනය අපට නිතර කියවා පළපුරුදු දෙයකි. එහෙත් කෙනකු සරණාගමනය යා යුතු වන්නේ පහත සඳහන් අරමුණු මෙනෙහි කරගෙන ය.

මම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමි. සෝවාන් ආදී මාර්ගවලට පැමිණෙමි. ඒ ආර්ය මාර්ගයට පැමිණි ආර්යයන් වහන්සේ හා සමාන තත්ත්වයට ඇතුළු වෙමි යනුවෙනි. මෙම ප්‍රාර්ථනා සහිතව ඒ උතුම් රත්නත්‍රය මෙසේ සරණ යා යුතු ය.

මට බුදුරජාණන් වහන්සේ ගේ සරණ හැර අන් සරණක් නැත. ඒ නිසා මම ඒ බුදුරජාණන් වහන්සේ සරණ යමි. මට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් සරණ හැර වෙනත් සරණක් නැත. ඒ නිසා ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් සරණ යමි. මට ඒ විනය ගරුක වූ සංඝයා වහන්සේගේ සරණ හැර වෙනත් සරණක් නැත. ඒ නිසා මම ඒ උතුම් වූ සංඝ රත්නය සරණ යමි. මෙසේ පළමුව ද දෙවනුව ද තෙවනුව ද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යා යුතු ය.

බුදු දහමේ පරමාර්ථය මිනිසුන් යහ මඟට ගෙන නිවන කරා යොමු කිරීම ය. නිවනට පමුණාලීම ය. එයට මුල් වන්නේ ප්‍රතිපත්තියයි. සරණාගමනයෙන් කෙනකුට බුදු සසුනට ඇතුළත් විය හැකි ය. එහෙත් බෞද්ධයකු විය හැකි වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති පිළිගැනීමෙනි. ඒ පිළිවෙත් නොපුරා තෙරුවන් ඇදහීමෙන් පමණක් කෙනකුට නිවනට පැමිණිය නොහැකි ය. තෙරුවන් සරණ යන සෑම කෙනකු ම දෙවනුව වැරදි පහකින් වෙන්ව සිටීමට පුරුදු විය යුතු ය. ඒ පොරොන්දු නම් පන්සිල් ය.

(පන්සිල්වලට) අයත්වන ශික්ෂා පද පහකි. තෙරුවන් ගිය කෙනෙකු ඊළඟට කළ යුත්තේ පංච ශීලය සමාදන්වීම ය.

සමාදන්වීම

ශික්ෂාපද අනුව ඒවැරදිවලින් වැළකී සිටීමට පොරොන්දු වීම සමාදන්වීම නම් වෙයි. මෙසේ නීති දක්වා ඇත්තේ ඇතත් ඒවායින් වැළකී සිටිය යුත්තේ ඒවා වැරදි බව තමා විසින් ම අවබෝධ කර ගැනීමෙන් ය.

මෙම නීති කඩකරන අයට දෙන දඬුවමක් බුදු සසුනේ නැත. එම වැරදි සිදු කිරීමෙන් මෙලොව දී මෙන්ම පරලොව දී ද විපාක ලැබෙන බව බුදු දහමේ උගන්වයි.

පන්සිල්වලින් දක්වා තිබෙන මෙම සිල් පද පහ පිළිබඳ අවබෝධයකින් යුත්ව ඒවා කිව යුතු ය. එසේ පොරොන්දු වූ කරුණු එලෙසම ඉටු කිරීමත්, ඒ අනුව හැසිරීමත් බෞද්ධයකුගේ නියම ප්‍රතිපත්තියයි.

බුද්ධ වන්දනාව

තිසරණ සහිතව පංච ශීලය සමාදන්වීමෙන් පසුව කළ යුතු වන්නේ නව අරහාදී බුදුගුණ මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම ය.

අරහං

ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද පූජාවට සුදුසු වූ බැවින් අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ

ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම, සියලු ධර්ම මනාව අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ වන සේක.

විජ්ජාචරණ සම්පන්න

ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රි විද්‍යා විද්‍යා

අෂ්ට විද්‍යා සහ පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගත

ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගමන් ඇති හෙයින් ද, උතුම් වූ නිවනට පැමිණි හෙයින් ද, මිහිරි පි‍්‍රය වචන ඇති හෙයින් ද සුගත නම් වන සේක.

ලෝකවිදූ

ඒ භාග්‍යවතුන් වහන්සේ කාම, රූප, අරූප යන තුන් ලොව ම මනාව දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක.

අනුත්තර පුරිස ධම්ම සාරථි

ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කිරීමට අපහසු, නොදැමුණු පුද්ගලයන් දමනය කළ හෙයින් ද පුරිස ධම්ම සාරථි නම් වන සේක.

සත්ථා දේව මනුස්සානං

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව සැප හා නිවන යන ත්‍රිවර්ග සම්පත් ලබා දෙනු පිණිස දෙවියන්ට හා මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා නම් වන සේක.

බුද්ධෝ

ඒ භාග්‍යවතුන් වහන්සේ තම නුවණින් ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන්‍යයන්ට ද අවබෝධ කරවූ හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා

ඒ භාග්‍යවතුන් වහන්සේට සියලු ලෝ වැසියන් ගරු කළ යුතු හෙයින් ද, භාග්‍ය සම්පන්න වූ හෙයින් ද බුද්ධ නම් වන සේක. යන ආකාරයට ඉතිපිසො භගවා යනුවෙන් සඳහන් වන නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරගෙන එහි අරුත දැනගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ යුතු ය. මේ බුද්ධ වන්දනාවයි.

දහම් වැඳීම

භාග්‍යවතුන් වහන්සේ විසින් නව ලොවුතුරා දහම මනාකොට වදාරන ලද්හ.

ඒ පර්යාප්තියත් සහිතව නව ලොවුතුරු දහම “ස්වක්ඛාත” වන සේක.

ඒ ධර්මය ඇස් ඉදිරියේ මෙහිදීම දැකිය හැක්කා වූ ගුණ වෙසෙසින් යුක්ත ය.

එබැවින් මේ ධර්මය “සන්දිට්ඨික” නම් වන්නේ ය.

ඒ සතර මග ඥානයන්ට අනතුරුව ඵල උපදවන හෙයින් මේ ධර්මය අකාලික නම් වන්නේ

ඒ සද්ධර්මය විද්‍යාමාන හෙයිනුත් එව බලවයි කීමට යෝග්‍ය වූ හෙයිනුත් මේ ධර්මය “එහි පස්සික වන්නේය.”

ඒ ධර්මය තම තමන්ගේ සිත් සතන්හි වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූ හෙයින් සමීපයට පමුණුවන හෙයින් “ඕපනයික” නම් වන සේක.

නුවණැති සත් පුරුෂයන් විසින් ප්‍රත්‍යක්ෂ කොට දත යුතු හෙයින් මේ ධර්මය “පච්චත්තං” වේදි තබ්බො විඤ්ඤුහි නම් වන්නේ ය. මෙසේ වැඳිය යුතු දහම් ගුණ හය අවබෝධ කරගෙන දහම් වන්දනාව සිදු කළ යුතු ය.

සංඝ රත්නයට වැදීම

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ශාසන ප්‍රතිපත්තියෙහි මනා පිළිවෙත් ඇති හෙයින් සුපටිපන්න නම් වන සේක. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ලාබ කීර්ති සත්කාර අපේක්ෂාවෙන් තොරව කායාදි චාරිත්‍රයෙන් ඇද නැති සෘජු පිළිවෙත් ඇති හෙයින්, උජුපටිපන්න නම් වන සේක.

තව ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ මාර්ග ඵල ලබා ගනිමි’යි නිවන සඳහාම පුරන පිළිවෙත් ඇති හෙයින් ඤායපටින්න නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා වහන්සේ ලෝකයාගේ ගෞරවයට යෝග්‍ය අන්දමේ අනුරූප පිළිවෙතට පිළිපන් හෙයින් සාමීචි පටිපන්න නම් වන සේක. ශ්‍රාවක සංඝයා වහන්සේ දුර සිට සිවු පසය ගෙනැවිත් පිදීමට සුදු වූ බැවින් ආහුණෙය්‍ය නම් වන සේක.

දුර බැහැර සිට පැමිණි තමාගේ පි‍්‍රයතම හිත මිතුරු ආදින් සඳහා පිළියෙළ කරන ලද ආගන්තුක දානයක් වුවත් ඒ අයට නොදී සංඝයා වහන්සේට ම පිදීමට සුදුසු වන හෙයින් පාහුණ්‍යෙය නම් වන සේක. පරලොව අදහා දිය යුතු දක්ෂිණාවට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය නම් වන සේක.

සියලු ලෝකයා විසින් දොහොත් මුදුන් තබා කරනු ලබන අඤ්ජලි කරණයට සුදුසු හෙයින් අඤ්ජලි කරණීය නම් වන සේක.

සියලු ලෝ වැසියන්ගේ කුසල් නමැති ධාන්‍ය වැපිරීමට එකම කෙතක් වැනි හෙයින් අනුත්තරං පුඤ්ඤඛෙත්තං ලෝකස්ස නම් වන සේක.

බඹ ලොව දක්වා පැතිර ගිය මේ නව මහා ගුණස්කන්ධයකින් යුක්ත වන්නා වූ අති උතුම් වූ සංඝ රත්නයට මාගේ කායාදී ද්වාරත්‍රයෙන් සකසා නමස්කාර කරමි. මාගේ ජීවිතය ද පූජා කරමි.