Print this Article


පිළිවෙත් පිරීම බුද්ධ පූජාවකි

පිළිවෙත් පිරීම බුද්ධ පූජාවකි

ලොවුතුරා බුදුබවට පැමිණ පන්සාළිස් වසරක් ලෝවැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල්රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නො නැඟිී සිටින සෙය්‍යාවෙන් සයනය කළ කල්හි දෙවියෝ මල්, සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ. ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද මහ තෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

“ආනන්දය, මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේ නම් හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ.

ආනන්දය, එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයි ද නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නමෝ වෙමු යැයි ද ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යැයි ද මෙසේ හික්මිය යුතු ය.

සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාරපාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට වුවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය.

තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එබැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පුජාවක් කිරීමක් ලෙස සලකති.එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක් ද වේ.

සුවඳ මල් ආදී ද්‍රව්‍යයන් මෙන් තම තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනකුට පූජා කළ හැකි දෙයක් නොවේ. මෙකල බොහෝ දෙනා “ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි” යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නො පෙනේ.

නානාවිධ පූජාකොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කතා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කතාවක් කිසි තැනක නො දක්නා ලැබේ.

ඉහත දැක් වූ දේශනා පාඨයෙන් කියැවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීම ම පූජාවක් වන බව ය.

ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයැයි වදාරා තිබෙනවා ය. දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පුජාය. ඒවා නොකළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ.

යමෙක් තිසරණය පඤ්චශීලය දශ ශීලය සම්පූර්ණ කෙරේද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජ කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය යනුවෙනි.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන්නේ දන්දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යග් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කතාවෙහි අදහස් කරන්නේ සම්‍යග් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යැයි වදාළ දේවලින් වැළකීමත්, කළ යුතු යයි වදාළ දේවල් කිරීමත් ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු බව වදාරා ඇති දානාදි පින්කම්වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතු ය.