Print this Article


ද්වේෂය දුරු කරන මඟ හඳුනා ගන්න

ද්වේෂය දුරු කරන මඟ හඳුනා ගන්න

පුද්ගල සිත පුදුමාකාර ය. පාපයට නැඹුරු වීම ලෙහෙසියෙන් සිදුවේ. ද්වේෂය සිතේ පහළ වන දැඩි අකුසලයකි. පුද්ගලයා තුළ ද්වේෂය ඇතිවිය හැකි අවස්ථා කීපයක් සම්බුදුපියාණෝ පෙන්වා දී ඇත.

. “ආඝාත පටි විනය සූත්‍රයේ දී” මෙම අකුසල සිතුවිලි දුරු කර ගන්නා අන්දම බුදුපියාණෝ විස්තර කරති. කිසියම් පුද්ගලයකු හෝ සිද්ධියක් පිළිබඳ ද්වේෂයක් ඇති වූ විට පිළිපැදිය යුතු කරුණු කිහිපයකි.

ඒ තැනැත්තාට මෛත්‍රී කිරීම, අනුකම්පා කිරීම, උපේක්ෂා කිරීම, ඒ පිළිබඳ නැවත නොසිතීම හා එක් එක් පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් තේරුම් ගැනීම ය.

සමාජය තුළ පස් ආකාර චරිතයෝ වෙති. ඒ මෙසේ ය. වැරදි දේ කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෝ ය.

අපි‍්‍රය වචන කතා කරන එහෙත් යහපත් දේ කරන පුද්ගලයෝ ය.

අපි‍්‍රය වචන කතා කරන, වැරදි වැඩ කරන, එහෙත් වරින් වර යහ ආකල්ප වලට පරිවර්තනය වන පුද්ගලයෝ ය.

වචනය, ආකල්ප, ක්‍රියාව යන සියල්ලම අයහපත් පුද්ගලයෝ හා ක්‍රියාවෙන් ද, වචනයෙන් ද, ආකල්පයෙන් ද පිවිතුරු අය යනුවෙනි.

අපට ලෝකය නිවැරැදි කළ නොහැකි ය. එහෙත් තමන්ට තමන් නිවැරැදි විය හැකි ය. වැරැදි කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෙක් හමු වූවා යැයි සිතන්න. ඔහුගේ යහපත් වචන ගැන සිතමින් තරහ නො ගත යුතු ය. හරියට අපිරිසුදු, දිරාගිය රෙදි කැබැල්ලක අපිරිසුදු කොටස් ඉවත් කොට පිරිසුදු නො ඉරුණු කොටස පමණක් ගන්නා සේ තරහව දුරු කොට ඔහුගේ හොඳ පමණක් සිහිපත් කළ යුතු ය. මෛත්‍රී කළ යුතු ය.

අපි‍්‍රය වචන කතා කරන එහෙත් යහපත් දේ කරන කෙනෙක් ඉදිරියේ ද්වේෂ සහගත සිතිවිලි උපදින්නේ නම් වහා කළයුතු දිය සෙවෙල් පිරි දිය කඩකින් වතුර බීමේ දී දිය සෙවෙල් ඉවත් කොට පිරිසුදු වතුර පමණක් පානය කරන්නා සේ ඔහුගේ යහපත් ක්‍රියාව සිහිපත්කොට තරහ සිතිවිලි පාලනය කර ගැනීම ය.

අපි‍්‍රය වචන කතා කරන, වැරැදි වැඩ ද කරන, වරින් වර යහපත් ආකල්පවලට යොමුවන අය ඉදිරියේ කළයුතු වන්නේ වතුර නැති තැනක, දැඩි පිපාසයෙන් සිටින කෙනෙකු ගව කුහරයක එක්ව ඇති ජලය බිම දිගා වී කටින් පිඹ පිරිසුදු වතුර පමණක් බොන්නා සේ ඒ පුද්ගලයාගේ යහපත පමණක් තෝරා බේරා ගෙන ද්වේෂය දුරු කර ගැනීම ය.

මේ සමාජයේ වචනය, ආකල්ප හා ක්‍රියාව යන සියල්ල ම අයහපත් අය සිටිති. එවැන්නෝ දැක ආබාධිතයන් සේ සලකා අනුකම්පාවෙන් කටයුතු කළ යුතු ය.

එමෙන් ම ක්‍රියාවෙන් ද, වචනයෙන් ද ආකල්පයෙන් ද පිවිතුරු අය සිටිති. පිරිසුදු දිය පොකුණක් දුටු විට එයට පැන නාගෙන පිපාසය සංසිඳුවාගෙන සතුටු වන්නා සේ කටයුතු කළ යුතු ය.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් නිසා ලෝකය පහළ වී ලෝකය පවතින්නාක් සේ ම, එම භූතයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව යම් දිනක ලෝකය විනාශ වී යයි.

අප මිනිසත් බව ලැබුයේ ඉතා දුර්ලභව ය. එසේ ලැබූ මිනිසත් බව තුළ ජීවිතයේ යතාර්ථය තේරුම් ගැනීම දෙලොව දියුණුව පිණිස හේතු වන්නේ ය. කිසිවෙක් නිසා අප තුළ අකුසල චෛතසික පහළ කරගත යුතු නැත. කිසිවකුට අප සුගතියට ගෙන යාමට ද නොහැකි ය. ඒ මඟ යා යුතු අප විසින්ම ය.

“අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
තේසං වූප සමෝ සුඛෝ”

බොදු නිවසක මරණයක් සිදු වූ විට මේ ගාථාව ඒකාන්තයෙන් ම කියැ වේ. මෙහි අදහස වන්නේ, සියලු සංස්කාරයන් නැසී යයි. උපනූපන් හැම ධර්මතාවයක් ම නැතිවී යයි.

ඉපදීමට හේතුවන සසර බිඳ දැමීම දුකින් මිදීමේ මඟ ය. අපි කවුරුත් ලෙඩ වෙනවාට, රූපය අවලස්සන වෙනවාට අකමැති වෙමු. මරණය දුකට හේතුවකි. උපන්දා සිට ඇස, කන, දිව, නාසය, සිරුර යන පංච ඉන්ද්‍රීයයන්ට වරින්වර ගොදුරු වන ඒ දේ සමඟම නැති වී යයි.

මළ සිරුරකින් සනාථ වන්නේ ද ඒ දහම යි. සම්බුදු දහමට අනුව, ලෝකයේ ස්වභාවය ඇතිවීම හා නැතිවීම යි. ලෝකය හට ගැනෙන්නේ තණ්හාව නිසා ය. ලෝක නිරෝධයට එනම්, දුකින් මිදීම සඳහා කළ යුත්තේ තණ්හාව නැති කර ගැනීම යි. ඒ සඳහා දුකින් මිදීමට ගත යුතු මාර්ගය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දී ඇත.