Print this Article


සුන්දර හංගමුව ඔයට මායිම් වූ භූගත රහස් රැසක් සඟවා ගත් වසර 2100ක් පැරැණි රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය

සුන්දර හංගමුව ඔයට මායිම් වූ භූගත රහස් රැසක් සඟවා ගත් වසර 2100ක් පැරැණි රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය

මෙරට ඉතිහාසය ගොඩනැගීමේ දී ආදි මානවයින් (ප්‍රාග් ඓතිහාසික යුගය) පිළිබඳ තොරතුරු සපයන ලෙන් සමූහයක් රත්නපුරය කේන්ද්‍ර කරගෙන පිහිටා ඇත. ලෝක ප්‍රසිද්ධ බළන්ගොඩ මානවයා හෙවත් නූතන මානවයාගේ පැරැණිම සාධක සොයා ගනු ලැබුවේ ද මේ භූමියෙන් ම ය.

ඉතිහාසය ගොඩනැඟීමට අවැසි සාධක සපයන්නා සේ ම රටේ ආර්ථික සංවර්ධනයට අවැසි මැණික් ලබා දෙන්නා වූ මෙම භූමියේ තවත් අපූර්වතම හා ගුප්ත දේ සැඟව පවතී. රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යනු එවන් ගුප්ත සාධක සපයන ස්ථානයකි.

මෙම විහාරයේ කුතුහලය දනවන, ගුප්තාර්ථ දනවන අංග ත්‍රිත්වයක් විද්‍යමාන ය. ඒවාහි විශේෂත්වය වන්නේ එම අංග ත්‍රිත්වය ම භූගතව පිහිටා තිබීමයි.

ඒවා වන්නේ විහාරයේ සිට කි.මී.2ක් පමණ ඈතට භූගතව විහිදී යතැයි සැලකෙන ළිඳක්, කිසිදා වතුර නොසිදෙන ඖෂධීය පොකුණක් හා විහාරයේ සිට කි.මී.10ක් පමණ ඈතට භූගතව විහිදී යතැයි සැලකෙන උමඟකි.


විහාරයට පිවිසෙන ගලින් තැනු පියගැට පෙළ

පොත්ගුල් රජමහා විහාරය පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාණ කුරුවිට කෝරළයට අයත් කරන්ගොඩ ග්‍රාමයේ ය. රත්නපුර නගරයේ සිට කි.මී.3.7ක් පමණ ඇලපාත මාර්ගයේ පැමිණ කොටාමුල්ල මංසන්ධියෙන් දකුණට හැරී දිමියාව-රද්දැල්ල මාර්ගයේ මඳ දුරක් ගියවිට දකුණු දෙසින් ඇති කුඩා පාලම ඔස්සේ ගොස් මෙම විහාරයට ළඟාවිය හැකි වේ.

ඒ අසලින් ගලා බසින සුන්දර හංගමුව ඔයට මායිම් ව එම ගංඟා මට්ටමේ සිට අඩි 400ක් පමණ උසින් ඉතා මනස්කාන්ත පරිසරයක මෙම විහාරය පිහිටා තිබේ. විහාරයට පිවිසීම සඳහා ගලින් තැනූ පියගැට 454ක් ඇති අතර ඉන් පියගැට 200ක පමණ ඒවා ප්‍රදානය කරන ලද දානපතියන්ගේ නම් ගොත් කොටා තිබීම විශේෂත්වයකි.

මෙම පියගැට පෙළ 1928 වර්ෂයේ ඉදිකරන්නට ඇතැයි එක් ගල් පඩියක යොදා ඇති දින සටහනකින් අනුමාන කළ හැකි ය. වර්තමාන විහාරය ප්‍රධාන මාලක දෙකකින් සමන්විත වේ. ඒ අනුව පහළ මලුවේ විහාරයට අයත් ආවාස ගෙය, සීමා මාලකය, දන් ගෙය, පිණ්ඩපාත ශාලාව හා ධර්ම ශාලාව යන නව ඉදිකිරීම් පවතින අතර එම මලුවේ සිට පියගැට 195ක් නැඟ ඉහළට ගිය විට විහාරයට අයත් පෞරාණික නටබුන් පිහිටා ඇති උඩ මලුවට පිවිසිය හැකි වේ.

කටාරම් කෙටූ දැවන්ත ගල් ලෙනක් පාදක කර ගනිමින් මෙම මලුවේ පිහිටි පෞරාණික නිමවුම් කර තිබේ. රියන් 27ක් දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා නුවර යුගයේ සිතුවම් සහිත විහාර ගෙය, දාගැබ හා කුඩා පිළිම ගෙය මෙහි ඇති පෞරාණික උරුමයෝ වෙති.

පොත්ගුල් විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ.1වන සියවසේ රජ කළ වළගම්භා රාජ්‍ය සමයට දිවයන බව පෙනේ. එම රජුගේ පාලන කාලයේ දී ඇතිවූ ආක්‍රමණ හේතුවෙන් රජු දශකයට අධික කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සැඟවී සිටිමින් සේනා සංවිධානය කර ඇති අතර එවන් එක් ස්ථානයකි මෙම විහාරය පිහිටි දැවන්ත පර්වතය. මාතලේ අළු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය නැවත වරක් පිටපත් කරන ලද්දේ මෙම විහාරයේ දී බවට ජනප්‍රවාදයේ පවතී.

විහාරයේ නාමය පොත්ගුල වීමට ද එය බලපාන්නට ඇත. පසු කාලයේ දී පෘතුගීසීන් විසින් විනාශ කරන විහාරය නැවත ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය.

පොත්ගුල් රාජමහා විහාරයේ හාත්පස දක්නට ලැබෙන ස්වභාව සෞන්දර්ය විඳීන අතරතුර සිතට අපුර්ව සිතුවිලි එක්කරන අංග ත්‍රිත්වයක් උඩ මලුවේ දී දැකගත හැකි ය. විහාර මන්දිරය තුළ පිහිටි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉදිරියෙන් ශෛලමය ළිඳක් දක්නට ලැබේ. අඩි එකහමාරක පමණ දිගින් හා පළලින් යුතු විවරයකින් සමන්විත එම ළිඳ පිළිබඳව ජනප්‍රවාදයේ මෙවන් අදහසක් පවතී. එනම් එම ළිඳට දැමූ මලක් මෙම විහාරයේ සිට කි.මී.2ක් පමණ(රේඛීය දුර) උතුරින් පිහිටා ඇති රත්නපුර මහ සමන් දේවාලයේ ඉපැරැණි ශෛලමය ළිදෙන් මතුවන බව ය.

එම ජනප්‍රවාදයට අනුව තැන් දෙකක පිහිටි මෙම ශෛලමය ළිං දෙක භූගත ව සම්බන්ධ ව පැවැතිය යුතු වේ. විහාර මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේගේ දෙපා අසලින් පිළිමයේ පිටුපසට ගමන් කරන විට දැක ගත හැකි වන්නේ අඩි 3ක පමණ උස විවරයක් සහිත ඈතට විහීදී යන උමඟකි.

ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම උමඟ වළගම්භා රජු තම ආරක්ෂාව සඳහා භාවිත කරන ලද්දක් බව ය. මෙම විහාරයට කි.මී.10ක් පමණ (රේඛීය දුරකින්) පිහිටි කුකුළුවා විහාරයේ දේවාලයේ යට සිට පොත්ගුල් විහාරයට උමඟක් තිබූ බව කුකුළුවා විහාරය ආශි‍්‍රත ජනප්‍රවාදයන්ගේ සඳහන් වේ.

කුකුළුවා විහාරය ද වළගම්භා රජු සැඟව සිටි ස්ථානයක් ලෙසට සැලකෙන බැවින් පොත්ගුල් විහාරයෙන් ආරම්භවන උමඟ එම විහාරය දක්වා භූගත ව විහිදී පැවතිය හැකි ය. විහාර ගෙයට දකුණු පසින් හා බෝධින් වහන්සේට පිටුපසින් පිහිටි කුඩා ලෙනක පොකුණක් දක්නට ලැබේ.

වර්තමානයේ එය වටා බිත්ති බැඳ දොරගුළු දමා ඇති අතර එය කිසිදා දිය නොසිෙඳන දරු පොකුණ ලෙස ජනප්‍රවාදයේ හැඳීන්වේ. ඖෂධීය ගුණයෙන් යුත් එම භූගත පොකුණේ ජලය පානය කිරීමෙන් දරුවන් නොමැති කාන්තාවන් සඳහා දරුඵල ලැබෙන බව එම මතයේ වැඩිදුරටත් සඳහන් ය.

පොත්ගුල් විහාරය වටා ගොඩනැඟී ඇති ජනප්‍රවාද ප්‍රමාණය අති විශාල ය. මෙම ජනප්‍රවාදයන්ගේ නිරවද්‍යතාවය තහවරු කිරීමට ඉදිරිපත් වූ කිසිවකු පිළිබඳව ද අසන්නට නොමැත. නමුත් එම ප්‍රවෘත්තීන් හුදෙක් ජනප්‍රවාද ලෙස සලකා ඉවත දැමිය නොහැක්කේ ඉතිහාසයේ සියලු දේ ලියැවී නොමැති බැවිනි.