Print this Article


දන්නා දෙය කෙටියෙන් කියන්න අසන දෙය හොඳීන් වටහා ගන්න

දන්නා දෙය කෙටියෙන් කියන්න අසන දෙය හොඳීන් වටහා ගන්න

දේශන පැවැත්වීම හෝ උත්සව අවස්ථා පැවැත්වීම හෝ ඉගැන්වීම හෝ එවැනි ඕනෑම අවස්ථාවක දී දැක ගත කැකි සුවිශේෂ ලක්ෂණයක් වේ. ඒ එහි හරය හෙවත් අරමුණු කරගත් වැගත්ම කොටස් දක්වන්නේ දේශනය හෝ උත්සවය අවසානයේ දී ය. ඒ වන විට පැමිණි බොහෝ පිරිසක් දැඩි වෙහෙසට පත්ව අවසන් ය.

ඇතැම්හු ස්ථානයෙන් පිටත්ව ගොස් ය. මෙය අසාර්ථක වැඩ පිළි‍වෙළකි. බුදුන් වහන්සේගේ ධර්මය සිහි කරන මෙන්ම අනුගමනය කරන පිරිසක් වශයෙන් එය ප්‍රතික්ෂේප කළ යුතු වැඩ පිළිවෙළකි. බුදු රජාණන් වහන්සේ කිව යුතු දෙය ඉතා කෙටියෙන් දේශනා කරති. පැහැදිලිව, කල් නො යවා ප්‍රකාශ කරති. එවිට ලබා ගත හැකි ප්‍රයෝජන ඉතා අධික ය.

වගකීම හා බුද්ධිමත්කම

යම් කෙනකු සමඟ කතා කිරීමේ දී කතාවේ හරය පමණක් ගෙන කතා කරන්නේ නම් එයින් තමන්ගේ මෙන් ම සෙසු පිරිසගේ ද කාලය ඉතිරි වේ.

තමාගේ අරමුණ අනුව ඉතාම සංක්ෂිප්තයෙන් වදන් භාවිත කරමින් අදහස් හුවමාරු කරගැනීම වඩාත්ම වැදගත්ය. එහි දී වැදගත් වන්නේ තමන්ගේ අදහස් හෙවත් තමන් දන්නා දෙය අනෙක් තැනැත්තාට වහා අවබෝධ කරවීමයි. එය වටහා ගැනීම අසන්නාගේ වගකීම හා බුද්ධිමත්කම වේ.

සෑම සමාජ ස්ථරයක ම මෙය කි‍්‍රයාවට නැඟේ නම් එහි සාර්ථක බවක් පෙන්නුම් කරයි. මෙය පවුල් ජීවිතය හා සම්බන්ධ කර ගැනීමේ දී සැමියාගේ කාලය බිරිඳටත්, බිරිඳගේ කාලය සැමියාටත්, දරුවන්ගේ කාලය මව්පියන්ටත්, මව්පියන්ගේ කාලය දරුවන්ටත්, ඥාතීන්ටත්, අසල්වැසියන්ටත් යනාදි වශයෙන් අන්‍යොන්‍ය ලෙස සම්බන්ධ වේ. එයින් අදහස් වන්නේ කතා නොකර සිටීම නොවේ.

සැහැල්ලු බව අමිල ය

කතා කළ යුත ªය. එහෙත් එහි ද පිළිවෙළක් ඇති බව බුදු දහම පෙන්වා දෙයි. ජීවිතය සාර්ථකවීමටත්, ගැටුම්වලින් තොර වීමටත්, මනස සැහැල්ලුවීමටත්, ප්‍රඥාව දියුණුවීමටත් ප්‍රබලව එය බලපෑම් කරයි.

නිතර කතා කරමින් සිටි අයකුට මෙය නුහුරු නුපුරුදු දෙයක් විය හැකි ය. එහෙත් දින කිහිපයක් ගත වන විට එයින් දැනෙන සැහැල්ලු බව අමිල ය. දින දෙකක් තුනක් හතරක් යන විට කිසියම් පාලුවක්, හෝ කිසියම් නිහඬ බවක් දැනිය හැකිය. එහෙත් ක්‍රමයෙන් එයට හුරු වූවිට දැනෙන සහනය ඉතා ඉහළය. එය බුදුන් වහන්සේ විසින් දේශිත මහා දේශනාවකි.

එබැවින් අවශ්‍ය දෙය පමණක් කෙටියෙන් කතා කිරීමට හුරුවන්න. කොතරම් කාර්ය බහුල අවස්ථාවක වුවත් එවිට සියලු කටයුතු ඉතා පහසුවෙන් සාර්ථක කරගත හැකි ය. බුදුන් වහන්සේ තමන් වහන්සේ ඉතා කාර්ය බහුල අවස්ථාවක දේශිත ඉතාම කෙටි වදනකින් ලොවට සිදු වූ සේවය ඉතා විශාල ය. සිදු වූ ශාන්තිය සිත් නිවා සනසන්නේ ය. එහි පවත්නා වටිනාකම වචනවලින් ලියා තැබීමට නොහැකි ය.

ගිහි රහතන් වහන්සේ

බෞද්ධයන් වන අප සියලු දෙනාම දාරුචීරිය මහරහතන් වහන්සේ ගැන අසා ඇත. උන්වහන්සේ ගිහි රහතන් වහන්සේ කෙනකු බව කීවොත් සමහර කෙනෙක් පුදුම වනු ඇත. සමහර කෙනෙක් පුදුම නොවනු ඇත. ඒ උන්වහන්සේගේ චරිතය ගැන නො දන්නා නිසා ය.

දාරුචීරිය මහරහතන් වහන්සේ පැවිදි වන්නට පෙර ම පිරිනිවන්පෑම එයට හේතුවයි. කතා පුවත මෙහෙමයි. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලසේ සිට ම උන්වහන්සේ පැවිදි දිවියට හුරුවී සිටි කෙනෙක්. එහෙත් සසරෙහි එක් එක් ආත්මවල මිනිස් ජීවිතවල ඉපදෙමින් විවිධ ජීවන වෘත්තිවල නියැළෙමින් ජීවත් වුණා.

ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වූ සමයේ නාවික වෙළෙන්දෙක් ලෙස තම ජීවිතය ගෙනයමින් සිටිය දී දිනක් මුහුදේ දී තම නැව, සිය සේවක පිරිස සහ නැව් භාණ්ඩ සමඟ ගිලුණා. ජීවිතය බේරා ගන්න නැවේ කොට කැබැල්ලක ආධාරයෙන් සුප්පාරක නම් තොටුපල අසල දූපතකට ගොඩ වුණත් ඇඳිවතවත් ඔහුට ඉතිරි වුණේ නැහැ. ඒ නිසා ඔහු දර කැබලි කිහිපයක් අරගෙන ඒවා පට්ටාවලින් ඔතාගෙන ඒමත කොළ බැඳගෙන ගමේ ඇවිදින්න පටන් ගත්තා.

අපූරු නමක්

මේ නිසාම ඔහුට බාහිය දාරුචීරිය නම පටබැඳුණා. ගමේ සිටි මිනිස්සු ඔහු දැක රහතන් වහන්සේ කෙනෙක් ගමට වැඩියා ගමට වැඩියා කියමින් ඔහුව වඳින්නත්, පුදන්නත්, ඔහුට ආහාර පාන දෙන්නත් පටන් ගත්තා. ඉතින් නොමිලේ නිදහසේ කිසිදු ජීවන වෘත්තියක් නොකර ජීවත් වෙන්න ලැබුණ නිසා දාරුචීරියත් එලෙසම සියල්ල සඟවාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා.

පෙර කල එනම්, කාශ්‍යප බුදුන් සමයෙහි තමන් සමග පැවිදිව දිවි ගෙවූ යහළුවකු දෙව්ලොව සිට මෙය දැක යහළුවා මිථ්‍යා දෘෂ්ටියෙන් ගලවාගෙන යහපත් මාර්ගයෙහි යෙදවිය යුතු බැවින් මිනිසකු වේශයෙන් පැමිණ ඔබ රහතන් වහන්සේ කෙනෙකු නොවන බවත්, සැබෑ රහතන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටින බවත් පැවසුවා.

එයින් ලජ්ජාවට පත් දාරුචීරිය එදින රාත්‍රී වනයේ ම යොදුන් එකසිය විස්සක් දුර ගෙවා එක රැයකින්ම ජේතවනාරාමයට ගොඩ වුණා. එහෙත් දාරුචීරියගේ අවාසනාවට ඔහු පැමිණෙන විට ලොව්තුරා බුදුන් වහන්සේ පිරිවර මහරහතන් වහන්සේලා සමඟ පිණ්ඩපාතයේ වැඩම කර තිබුණා. විහාරයේ වැඩසිටියේ ධ්‍යාන සමාදන් වූ සහ අසනීප වූ මෙන් ම විශේෂ වූ කටයුතු පැවරුණ තෙරුන් වහන්සේ පමණයි.

උන්වහන්සේලා දාරුචීරියට බුදුන් වහන්සේ වැඩම කරන තෙක් විහාරයේ අසුන්ගෙන සිටින ලෙස පවසා සිටියා. ඒ කොතෙක් පැවසුවත් දාරුචීරියට බුදුන් වහන්සේ දකින්නම ඕනෑ වුණා. බුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කළ වීථි මිනිසුන්ගෙන් අසා දැනගෙන ඒ පාරවල් හොයමින් නැවතත් දුවමින් ගියා. කොහොම හරි බුදුන් වහන්සේ ඉස්සරහටම ගිහින් බුදුන්වහන්සේට වන්දනා කළා. වන්දනා කර මෙහෙම කිව්වා.

අනේ ස්වාමිනි, මම ඊයේ රාති‍්‍රයේ සුප්පාරක පටුනේ සිට පිටත් වුණේ. මගේ ජීවිතය ද ඔබ වහන්සේගේ ජීවිතය ද මේ දැන් ද නැතහොත් තව මොහොතකින්ද කියා ස්ථිර හෝ නැත. එබැවින් මට ධර්මය දේශනා කරන්න යැයි ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ දාරුචීරියට පැවසුවා දාරුචීරිය මම දැන් පිණ්ඩපාතයේ වැඩම කරන ගමන් ඉන්නේ.

ඔබට ධර්මය දේශනා කරන්න පටන් ගතහොත් රහතන් වහන්සේලා දහස් ගණනක් පිණ්ඩපාතය නොමැතිව කුසගින්නේ පෙළෙනවා. මිනිසුන් පිණ්ඩපාතය බෙදන්න බලා සිටිනවා. මිනිසුන් පිණ්ඩපාතය බෙදා තමන්ගේ කටයුතුවලට යාමට සූදානම් ව සිටිනවා. ඔවුන්ගේ ගෙදර දොර කටයුතු සඳහා සූදානම් වීමට තිබෙනවා. එම නිසා විහාරයට වඩින තෙක් විහාරයට ගොස් සිටින්න යැයි පවසා බුදුන් වහන්සේ නැවතත් පිණ්ඩපාතයේ යෙදෙන්න පටන් ගත්තා.

දාරුචීරිය, රහතන් වහන්සේලාගේ දිගු පෝලිම අවසන් වෙනතුරු බලා සිටියා. අවසන් වූ වහාම නැවතත් බුදුන් වහන්සේ වෙත දුව ගොස් නැවතත් ඉල්ලීම් කළා. එවරත් පෙර සේ ම බුදුන් වහන්සේ ඔහුට තමන් වහන්සේ කාර්ය බහුල කටයුත්තක බව සිහිපත් කළා. තුන්වැනි වතාවත් දාරුචීරිය බුදුන් වහන්සේ වෙත ගොස් ඉල්ලීම් කළා. ඒ බුදුන් වහන්සේ තුන්වැනි වතාව ප්‍රතික්ෂේප නොකරන බව කවුරුත් දන්න නිසා, ඔහුට ඒබව ගම්වැසියන් සහ අසල්වැසියන් විසින් පවසා ඔහුව පොළඹවා තිබූ නිසා විය යුතු යැයි හැඟෙනවා. නැත්තම් බුදුන් වහන්සේ සමීපයට කිසිදු ලෙසකිනුත් ඔහු එසේ නොයනු නියතයි.

කෙසේ හෝ දාරුචීරිය තෙවැනි වරත් බුදුන් වහන්සේ සමීපයට ගොස් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටියා.

මූලික හරය

එවිට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා. එනම් ‘‘දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති, සුතේ සුත මත්තං භවිස්සති, මුතේ මුත මත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති‘‘

මෙයින් කියන්නේ අපි දකින සියලුම දෑ දැකීම දැකීමක් ලෙස දැකීම ය. එනම් එසේ සිතීම ය, ඇසීම ඇසීමක් ලෙස සිතීම ය, මිදීම මිදීමක් ලෙස සිතීම ය, සිතීම සිතීමක් ලෙස සිතීම ය. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සෑම දෙයක දී ම නිමිති ගැනීමක් නොකරන ලෙස පැහැදිලි කිරීම ය. අල්ලා ගැනීම නො කරන්න උපදෙස්දී ම ය. එයයි බුදු දහමේ මූලිකම හරය.

මෙය දාරුචීරිය වහා අවබෝධකර ගන්නවා. එයින්ම අර්හත්භාවය ලබා ගන්නවා. එහෙත් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා ගැනීමට වාසනාව අහිමි වෙනවා. ඒ පෙර කිසිදු ආත්මයක අටපිරිකර පූජාවක් කර නො තිබූ නිසා. එබැවින් ඒවා සොයාගෙන එන ලෙසට බුදුන් වහන්සේගෙන් උපදෙස් ලැබෙනවා.

සිවුරු පිරිකර ගෙන ඒමට යන අතරේ දිය පිපාසයෙන් පෙළෙන ගව දෙනක විසින් ඇන දාරුචීරිය මහ රහතන් වහන්සේ ජීවිතක්ෂයට පත් කරනවා. දාරුචීරිය රහතන් වහන්සේ පෙර ආත්ම විස්සක් පැවිදි බව ලබා සිටියත් කිසිදු ආත්මයක අටපිරිකර පූජාවක් හෝ කිසිදු සිවුරු පිරිකර පූජාවක් සිදු කර නොතිබුණ නිසා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව නොලැබ පිරිනිවන් පෑමට සිදුවෙනවා.

සෑම අවස්ථාවක දී ම කෙටියෙන් අදහස් දැක්විය යුතුය. හොදින් අසා අවබෝධ කළ යුතුය. එය ජීවිතයේ සාර්ථකත්වයටත්, රටේ සංවර්ධනයටත් සැමදා හේතු වේ.