බක් පුර පසළොස්වක 2021.04.26
ස්වයං අධ්‍යයනයක් ඇවැසියි
බක් පුන් පොහෝ දිනය අදයි. තථාගතයන් වහන්සේ දෙවැනි වර ලංකාද්වීපයට වැඩම කොට
තෘෂ්ණාදික බව නිසා, නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර සිදු වන්නට ගිය මහා විනාශයක්
වළක්වාලමින්, ගැටුමෙහි අමිහිරි බව හා විනාශය පෙන්වා දෙමින් ශ්‍රී සදහම් දෙසා
ජීවිතයේ යාර්ථය අවබෝධ කර දුන් උතුම් සංසිද්ධිය බක් පුන් පොහෝ දා හා සම්බන්ධ ය.
එදා උතුම් සද්ධර්මය අසා ලක්වැසි බොහෝ පිරිසක් යහ මග ගියහ. ඒ අසිරිමත් සිදුවීම
සිහිපත් කරන අද දින අප කළ යුතු වන්නේ ද ජීවිතයේ ඇත්ත තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.
නොදන්නාකම නිසාත්, නොදනිතත් දන්නේ ය යන හැඟීම නිසාත් අපි බොහෝ ගැටුම් ඇති කර ගනිමු.
පළමුව තම චිත්තාභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් තමන්ට වද වේදනා දී, අනුන් වෙත ද එය මුදා
හරින්නේ බොහෝ අයහපත් දේ නිර්මාණය කරමිනි. රාග, ද්වේෂ, මෝහා දී අකුසල සිතිවිලි බලවත්
වීම නිසා අප වෙතින් බොහෝ අනර්ථ සිදු වේ. ප්‍රාණඝාතය ඇතුළු කොට ඇති පස්පව් සේ ම
අන්‍ය සියලු අවැඩ එහි ප්‍රතිඵල ය. බොහෝ දෙනෙක් එය සාධාරණීකරණය කිරීමට පෙළඹෙන්නේ ද
වැරැදි සිදුවීම පෘථග්ජන ස්වභාවය යැයි කියමිනි. ස්වභාවය එය වුව ද එය වෙනස් කරගන්නට
පැහැදිලි මඟක් අපට ඇත.
ඒ උතුම් සදහම් මඟයි. ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඒ ධර්මාවබෝධය
කරන්නටත්, ඒ අවබෝධය තුළ ප්‍රායෝගික වන්නටත් අප උත්සාහ කළ යුතුව තිබේ. නැතහොත්
සිදුවන්නේ මේ ජීවිතයේ ද මංමුළාව මතු සසර ද මුළාවේ වැටීමට ය.
මේ බවට අපූරු නිදර්ශනයක් අටුවා කතාවක එයි.
එක් ගොපලු මිනිසෙක් සිටියේ ය. දිනක් ගවයන් රැගෙන මහ වනයට ගිය ඔහු රෑ බෝ වූ කල ආපසු
එන්නට පිටත් වුණි. එහෙත් සිදුවූයේ අවාසනාවකි. මහ වනයේ අතරමං වූ ඔහුට මඟ සොයාගත
නොහැකි වුණි. බොහෝ වෙහෙසුණ ද කිසිදු මඟ සලකුණක් නුදුටු හේ අසල කඳු ගැටයකට නැඟ ගත්තේ
යා යුතු දිසාව එමඟින් දැන ගනිමි’යි සිතමිනි. අඳුර නිසා මඟ පැහැදිලි නොවුණි. කඳු
මුදුනේ දී ඔහුගේ පය ලිස්සා ගියේ ය. පහළට පෙරළී යන ගොපල්ලාගේ අතට හසු වූයේ කටුවැල්
පටකි. ඔහු වහා එය අල්ලා ගත්තේ ජීවිතාශාවෙනි. අල්ලා ගත් වැලෙහි වූ කටු ඇනී සීරී
ඔහුගේ දෑත රිදුම් දෙන්නට විය. ඉවසාගත නොහී දෙපයින් ද කටුවැල සිර කර ගත්තේ ය. දෙපය ද
සීරී වේදනා දෙන්නට විය. එහෙත් පහළට ඇද වැටී දිවි නැසී යතැයි බිය වූ ඔහු කටුවැල නම්
අත් හැරියේ නැත.
රැයක් පුරා එලෙස දුක් වේදනා විඳි ගොපල්ලා අඳුර මැකී ආලෝකය උදාවනු දැක වහා වට පිට
බැලුවේ ය. දැඩි බියකින් පහළ බැලූ ඔහු දුටුවේ තමන් එල්ලී සිටින්නේ මහ පොළොවට ඉතාම
ආසන්නයේ බව ය. රැයක් පුරා වේදනා විඳිමින් කටුවැල අල්ලාගෙන සිටීම ගැන ඔහු පසුතැවීමට
පත් වූයේ වැල අත නොහැරීම ගැනය.
බොහෝ දෙනෙක් වේදනාව ලැබෙන බව දැන දැනම අල්ලාගෙන සිටිති. පසුව පසු තැවෙති. මේ කතා
පුවතින් විස්තර කෙරෙන්නේ අල්ලා ගැනීමේ දුක ම ය. පෘථග්ජනයාගේ ස්වභාවය අල්ලා ගැනීම ය.
ඔහු එල්ලීගෙන සිටින්නේ ලෝකය නම් වු කටුවැලෙහි ය. ඒ මුළාව නිසාම ඔහු අඳුරේ ගමන්
කරයි. මම ය, මගේ ය යැයි අල්ලා ගනිමින් රැස් කරයි. ඒ තුළ අනුන්ට වන ඇවැඩ, අයහපත,
නොකළ යුතු දෙය නොසලකා හැරෙයි.
වැඩි දෙනෙක් එසේ වැරැදි මඟ යන්නේ නොදැනය. තවත් පිරිසක් වැරැද්ද හරියැයි සිතමින්
වැරැදිම කරති.
බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ බාල වග්ගයේ දී මෙවැනි පුද්ගලයින් ගැන පැහැදිලි කොට
තිබේ. උන්වහන්සේ දේශනා කොට වදාළේ මෝඩ පුද්ගලයකුට තමන්ගේ මෝඩකම ගැන හැඟේ නම් එයින්ම
ඔහු පණ්ඩිතයෙක් වන බව ය. තමා පණ්ඩිතයෙකැයි සිතන මෝඩයා ඒකාන්තයෙන් ම මෝඩයෙක් වන බවය.
දැන් අපට තෝරාගත යුතු මඟ පැහැදිලිය. මෝඩකම් අත හරින්නට නම් ප්‍රඥාව, අවබෝධය ලබා ගත
යුතු ය. ඒ සඳහා සුදුසුම මඟ ධර්මය නිවැරැදිව දැන ඉගෙන ගැනීම ය. |