Print this Article


පැවිදි සීලය සහ ගිහි විනයකෙසේ විය යුතු ද?

පැවිදි සීලය සහ ගිහි විනයකෙසේ විය යුතු ද?

ධර්ම සහ විනය නම් වූ වචන දෙක සම්බුද්ධ ශාසනයෙහි අගනා වදන් පෙළකි. මෙය උත්තරීතර බවට පත්වන්නේ එයට අනුගත වීමෙනි. විනයෙන් හෙවත් සීලයෙන් ධර්ම මනසිකාරය පිහිටුවා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙයි. මෙය සමාධිය නම් වෙයි. සම්මා පඤ්ඤාව සකස්වීමට එය හේතු ප්‍රත්‍ය වෙයි.

“සමාහිතො යථාභූතං පජානාති“ යනුවෙන් එය දැක්වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්හි බොහෝ අවස්ථාවන්හි මහා කරුණාවෙන් භාවිත කරන ලද සදහම් වදන් පෙළක් වෙයි. “අප්පමත්තා ආතාපිනො පහිතත්තා“ අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්ය ඇතිව, නිවන් පිණිස මෙහෙයවන ලද සිත් ඇතිව“ වාසය කරන්නේ ද යන්නයි. සම්බුද්ධ ශානයෙහි සිත සිහිය පිහිටුවන්නට අදිටන් කරන පැවිදි, ගිහි සියලු දෙනාට ම මෙම අවවාදාත්මක දහම් පෙළ අනුස්සති ධර්මයක් ම විය යුත්තේ ය.

“බුද්ධං සරණං ගච්ඡාමි“ නම් වූ බුදුරජාණන් වහන්සේ සරණ යාම ලෙස අදහස් කරන්නේ ද උන්වහන්සේ දෙසූ දහම් මග අනුගමනයට කරන්නා වූ අධිෂ්ඨානයක් ය. මේ නිසා ගිහි හෝ පැවිදි හෝ වේවා, අපගේ ආධ්‍යාත්මික ගමන් මඟ සකස් විය යුත්තේ “බඹසර“ හෙවත් “බ්‍රහ්මචරිය“ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මූලික කරගෙන ය.

මෙම මාර්ගය කිසිසේත්ම ලෞකික වූ යහපැවැත් ම අඩාල හෝ දුර්වල කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දවසත් විශාකා මහෝපාසිකාව සහ අනාථපිණ්ඩික සිටුතුමාගේ කතා පුවත් මනා වූ නිදසුන් ය.

මේ මූලික විස්තරය මෙසේ ලියා දක්වන්නට වූයේ ආධ්‍යාත්මික පොරොන්දුවක් ඇති කරගන්නා බවට වචනයෙන් දක්වා චර්යාව හෙවත් චරණය මඟින් එය එසේ සිදු නොවන යම් යම් චරිත මඟින් පෙන්නුම් කරන බැවිනි.

භික්ෂුවකගේ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය සහ ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය යනුවෙන් සතර ආකාරයකින් දැක්වෙයි. මෙම සම්බුද්ධ ශාසනයට ඇතුලුවන සෑම අයෙක් විසින් ම, පැවිද්දෙක් නම් පළමුව සීලයෙහි පිහිටා සිටිය යුතු ආකාරය ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවෙහි මෙසේ දැක්වෙයි. “එහි බං භික්ඛු, සීලවා හෝහි, පාතිමොක්ඛ සංවරසංවුතො විහරාහි, ආචාරගෝචර සම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවි, සමාදාය සික්ඛති සික්ඛා පදේසු“

“මහණ, සිල්වත්ව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව, ආචාර ගෝචර සම්පන්නව, කුඩා අනුකුඩා වරදෙහි පවා බිය දක්නා සුළුව වාසය කරන්න. භික්ඛු නම් වචනයෙහි අදහස් කීපයක් ඇතත් ප්‍රධාන වශයෙන් මෙසේ ය.

පිඬු පිණිස හැසිරෙන බැවිනුත්, සසර බිය දක්නා සුළු බැවිනුත් භික්ඛු නම් වේ ම ය. වර්තමානයෙහි වූව ද, ලෞකිකව කුමන අදහස් දැරුවේ ද, ප්‍රකාශ කළේ ද, භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉහත අවවාදයෙන් නිදහස් විය නොහැකි ය. එය ධර්මය මෙන් ම විනයයි.

ශික්ෂණයයි. නිවන් මඟයි. මෙය ම ධම්මපදයේ ඇතුළත් මෙම ගාථා රත්නයෙන් අනුමත කරගත හැකි ය.

“කායේන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්චති“

“කයින් සංවර වීම යහපත්. වචනයෙන් සංවරවීම යහපත්. සිතින් සංවර වීම යහපත්. හැම තැන්හි සංවර වීම යහපත්. හැම අරමුණෙහි සංවර වූ භික්ෂුව සියලු දුකින් මිදේ“

මෙය තවදුරටත් ධම්මපදයෙහි භික්ඛු වර්ගයෙහි පැහැදිලි කරයි. “අත්, පා, වචන, කය, අඟ පසඟ තැන්පත් කරගත්, කමටහනෙහි ඇලුණු, සමාධියෙහි පිහිටි, තමා ලත් මඟ පෙලෙහි හුදෙකලාව සතුටු වන යමෙක් වේ නම්, ඔහුට භික්ඛු යයි කියයි.“

“බුදු සසුනෙහි පැහැදුණු මෛතී‍්‍ර බ්‍රහ්ම විහරණය ඇති යම් භික්ෂුවක් වේ නම් හෙතෙම සංස්කාරයන්ගේ සංසි¼දීම වූ ශාන්ත නිර්වාණ සුවය ලබන්නේ ය.“ සාමණේරයන් වහන්සේ නමක් වූව ද සාමණේර දස සීලයෙහි පිහිටා ඉහත අයුරින් ශික්ෂණයෙහි පිහිටා සිටිය යුතු වන්නේ ය.

අවසන් වශයෙන් මෙහි සඳහන් කළ යුතු වන්නේ අපහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් භික්ඛු චරියාව සමන්නාගත විය යුතු බව ය. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුදු උතුමන්ටත්, රහත් උතුමන්ටත් නින්දා කළ, පීඩා කළ ලොවක නපුරු, රුදුරු මිනිසුන් නිසා “මම“ ද නපුරු වෙමියි හෝ සීලයෙන් බැහැර වෙමියි“ සිත් නොපැවැත්විය යුතු ය.

නිවන් මඟ අරමුණු කරන භික්ෂූන් වහන්සේ පමණක් නොව ගෘහස්ථ ජීවිත ගත කරන ගිහි පිරිස ද අවබෝධයෙන් සීලයෙහි පිහිටා ජීවන චර්යාව පවත්වා ගැනීම අවශ්‍යය. ගිහි ජීවිතයෙහි ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවන්, යුතුකම්, සේවාවන් හෝ රට, ජාතිය, පැවැත්ම පිණිස හෝ වේවා ශික්ෂණය හෙවත් සීලයෙන් බැහැරවීමට ආධ්‍යාත්මිකව අයිතියක් නැත.

ගෘහස්ථ ජීවිතයේ කාමභෝගීව හැසිරෙන පිරිසකට උචිත දහමක් දෙසන්නට යැයි අයැද සිටි දීඝජානු කෝලිය සිටු පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ලෞකික මෙන් ම ලෝකෝත්තර දියුණුව එක හා සමානව පවත්වා ගත යුතු මඟකි.

උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා නම් වූ දහම් සතර ලෞකික යහපත වෙනුවෙන් ද සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඤා සම්පදා, ලෝකෝත්තර දියුණුව වෙනුවෙනුන් ද දේශනා කළහ. මෙමඟින් සීල, සමාධි, ප්‍රඥා, මඟ ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ “බඹසර“ ට යොමු කරන බව පැහැදිලියි.

මහානාම නම් ශාක්‍යයන්, උපාසකයෙක් බවට පත්වන්නේ කෙසේදැයි විමසූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් දිනෙක පටන් බුදුරදුන් සරණ ගියේවේ ද , ධර්මය සරණ ගියේ, වේ ද සඟුන් සරණ ගියේ වේ ද, එම අවස්ථාවේ පටන් උපාසක හෝ උපාසිකා නම් වන බව ය.

මීළගට උපාසක හෝ උපාසිකාවකගේ චර්යාව පිළිබඳව සීලය හෙවත් විනය නමින් පෙන්වා දෙයි. එනම් ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු වූයේ වෙයි. සොරකමින් වැළකිය යුතු වූයේ වෙයි. කාමමිථ්‍යාචාරයෙන් වැළකිය යුතු වූයේ වෙයි. බොරුකීමෙන් වැළකිය යුතු වූයේ වෙයි. මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකිය යුතු වූයේ වෙයි.

“බුද්ධං සරණං ගච්ඡාමි“ යැයි ආධ්‍යාත්මික පොරොන්දුවක් අවබෝධයෙන් ඇතිකර ගන්නේ නම් මෙම ශික්ෂණයට අනුගත විය යුත්තේ ම ය. අප විසින් මේ සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෞකික ලෝකෝත්තර මාර්ගය පිළිබඳවයි.

ගෘහස්ථ ජීවිතයේ පවත්නා කරදර බාධක මතුකොට දක්වමින් හෝ ආර්ථික හෝ දේශපාලන, වෙනයම් ලෞකික සංසිද්ධීන් දක්වමින් මේ මඟින් බැහැර වන්නට ආධ්‍යාත්මිකව අයිතියක් නැත.

එසේ නොමැති වුවොත්, වැඩි පිරිසක් සිදු කරන්නේ තෙරුවන් සරණ යන බව වචනයෙන් පවසමින් ද නිවන “ප්‍රාර්ථනා කරමින්‘ ද පස්පව් සහ දස අකුසල්වලට සම්බන්ධව සිටීම ය.

එමෙන් ම තවදුරටත් මහානාම ශාක්‍යයන්ට උපාසක චර්යාව පෙන්වා දෙන සේක. ශ්‍රද්ධා, සීල, චාග මැඩීම ද පින්වත්, සිල්වත් මහණුන් දැකීම ද ධර්ම ශ්‍රවණය ද, ඇසූ නිවරැදි වූ දහම දැරීම ද අර්ථය පිරික්සීම ද, ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම ද කළ යුතු ම ය. එසේ ම, අන් අය ද කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතුව මේ මඟට සමීප කළ යුතු වන්නේ ය.

මෙය අනවබෝධයෙන් “ආගම්වලට“ හැරවීමක් නොවේ. මෙය සිතීමේ සහ විමසීමේ නිදහස ලබා දෙමින් තමාගේ සිත දැකගන්නට මඟ පෙන්වන දර්ශනයකි. “ඒහි පස්සික“ ගුණය මතු වන්නේ මෙහි දී ය. කාලාම සූත්‍ර දේශනාව ද නිදසුන් ය.

උපාසක උපාසිකා ස්වභාවයේ අවබෝධයෙන් යුතුව පිහිටා ලෞකික ජීවිතයේ යහ පැවැත්මට හේතුවන බොහෝ දහම් කරුණු රැසක් සිඟාලෝවාද, මංගල, ව්‍යග්ඝපජ්ජ, පරාභව, ධම්මික ආදී සූත්‍ර දේශනාවලින් ඉගෙනීමට සහ පුරුදු කිරීමට හැකිය.

අප විසින් මෙම කෙටි ලිපියෙන් සදහන් කළේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ ඒ අයගේ වැරදි කතා කරමින්, කුසල් නොව අකුසල් ම හුවමාරු කර ගනිමින් කාලය ගත කරනවාට වඩා දෙපාර්ශ්වයම අවබෝධයෙන් යුතුව සීලයෙන් ද විනයෙන් ද ශික්ෂණයෙන් ද යුතු විය බවයි.

භික්ෂුව ද සීලයෙන් යුතුව සමාධිය සහ ප්‍රඥාව වැඩිය යුතු වන්නේ ය. වරදක් වූ විට වරද නිවැරැදි කර ගන්නට “ආයති සංවරයෙහි‘ පිහිටිය යුතු වන්නේ ය.

ගිහි පිරිස විසින් භික්ෂුව පමණක් ම සීලයෙහි පිහිටිය යුතු බව නොසිතා තමා ද භාග්‍යවතුන් වහන්සේ දෙසූ මඟ ගමන් කළ යුත්තේ ය යන්න සිහිපත් කිරීම අවශ්‍ය ය. මේ ධර්ම මාර්ගයේ දී ගිහි පැවිදි දෙපාර්ශය ම ඔවුනොවුන්ට උපකාර කර ගැනීම අවශ්‍යම ය.

මේ සම්බුද්ධ ශාසනයෙහි සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ චරිත ද අනේපිඩු, විසාකා උපාසක උපාසිකාවන්ගේ චරිත ද එයට නිදසුන් ය. ගිහි පැවිදි දෙපාර්ශ්වයම ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන්ගෙන් සදහට ම නිදහස් වීම අවශ්‍ය ය.