Print this Article


ආවේග පාලනයට පස්වැදෑරුම් පව් මල දුරු කරමු

ආවේග පාලනයට පස්වැදෑරුම් පව් මල දුරු කරමු

ලොව ඇති විසිතුරුම හා අඳුරුම වස්තුව ද බලවත්ම හා දුර්වලම වස්තුව ද සිත හෙවත් මනස යි. මනාව පුහුණු කළ සිත තරම් අන් සැනසීමක් සත්වයන්ට නැත්ම ය. නො මනා කොට ගත් සිත තරම් අන් ව්‍යසනයක් ද නැත්ම ය.

අප දන්නා ලෝක ඉතිහාසය තුළ සිතක ඇති පුදුම සහගත බලය දියුණු කළ හැකි ඉහළම තලයට පමුණුවා ලොව අසමසම පදවියට පත් අසිරිමත් මුනිවරයාණෝ අප මහා ගෞතම ධර්ම රාජයන් වහන්සේ ය.

තුන් ලොවක් සැනසූ උදාර ගුණ ධර්මයන් අඛණ්ඩ ව ප්‍රගුණ කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලයක් පුරාවට සුවපත් හා බලවත් වූ ද, ශාන්ත හා සුන්දර වූ ද, විරාගී හා විමුක්තියෙන් යුතු හදමඬල් තනා ගැනීමෙහි යෙදුණ ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වගට අමරණීය දායාදය වන ධර්ම දායාදය ලබාදී සංසාර ගිරි දුර්ගය තරණය කොට අමා ශාන්ත නිවන් පුරයට වැඩම කළහ.

විසිතුරු හා බලවත් වූ සිතක් සකසා ගැනීම යනු හැඟීම් පාලනය, ඉවසීම, දරා ගැනීම, කලබල නොවීම, යුක්ති ගරුක වීම, ආචාරශීලී බව, නිහතාමානීත්වය, කරුණාව, මෛත්‍රිය ආදී යහගුණ වැඩි වර්ධනය කිරීමයි.

එහිදී විවිධ විසම චිත්තාවේගයන් පාලනය කිරීමේ හැකියාව ඉතා වැදගත් වේ. දුක් විපත්වලට වැටෙන මිනිසුන් අතරින් අති බහුතරයක් ආවේග පාලනයෙන් තොර වූවන් ය. ඉතා සුළු සිදුවීම්වලින් පවා ඇවිස්සෙන ප්‍රකෝපකාරී සිතක් ඇති පුද්ගලයකු අතින් ඕනෑම පාපයක් සිදුවිය හැකි ය.

මහා කාරුණික බුදුරදුන් විසින් වදාළ රාග දෝසාදී පාපී ආවේගයන් පාලනය කිරීම පිණිස පුහුණු කළ යුතු ධර්ම පර්යායක් ‘විතක්කසණ්ඨාන’ සූත්‍රයේ දැක්වේ. ඒ අනුව චිත්තාවේගයන් දමනය කිරීම සඳහා ක්‍රමවේද පහක් අනුගමනය කළ යුතු ය.

සිතේ උපන් පාපී සිතුවිල්ල නැවත නැවත මෙනෙහි නො කර ඒ වෙනුවට බුදුගුණ සිහිකිරීම ආදී යහපත් සිතුවිල්ලක් මෙනෙහි කිරීම පළමු ක්‍රමවේදයයි.

එවිට පාපී අරමුණෙන් සිත නිදහස්ව කුසල් අරමුණක පිහිට යි. එහෙත් එම ක්‍රමය තුළින් සාර්ථක ලෙස ආවේග පාලනය කිරීමට නම්, පෙර පුහුණුවක් ලබා තිබිය යුතු ය. හටගන්නා අයහපත් සිතිවිල්ලේ ස්වභාවය නිරීක්ෂණය කිරීම ඊට ප්‍රතිපක්ෂ කුසල විතර්කය තෝරා ගැනීම හා එය ක්ෂණිකව භාවිත කිරීම සඳහා තරමක හෝ ජීවිතාවබෝධයක් තිබිය යුතු ය.

හටගන්නේ රාගයෙන් යුතු ආවේගයක් නම්, ඒ සඳහා අසුභසති මනසිකාරය ද, කෝප වේගයක් නම්, මෛත්‍රිමය මනසිකාරය ද ආදී වශයෙන් ධර්මෝපදේශයන් අනුව අකුසලයට විරුද්ධ කුසලය තෝරා ගැනීමට ශ්‍රාවකයා දක්ෂ විය යුතු ය. සියුම් ඇණයකින් මහ ඇණයක් ගලවා ඉවත් කිරීමක් මෙන් මෙම ක්‍රමවේදය මඟින් අකුසල ය ආවේගය ඉවත් කිරීම සිදුවන ආකාරය බුදුරදුන් විසින් පෙන්වා වදාරා ඇත.

එම පළමු ක්‍රමවේදය සාර්ථක නො වූ අයකු විසින් ආවේග පාලනය පිණිස භාවිත කළ යුතු දෙවන ක්‍රමවේදය නම් පාපී සිතුවිලිවල ආදීනවය මෙනෙහි කිරීමයි.

යම් සිතක අයහපත් චිත්තාවේගයක් හට ගනී නම් ඉන් පළමු හානිය සිද්ධ වන්නේ ඒ පුද්ගලයාටම ය. ඉවසීම නොමැතිවීම, අසහනය මතුවීම, වග විභාගයකින් තොරව වචන ප්‍රකාශ කිරීම, කෝලහාල ඇති කර ගැනීම ආදී වශයෙන් තමාගේ ජීවිතයට තමාම විපත් පමුණුවා ගන්නා පුද්ගලයා දෙවනුව බාහිර පුද්ගලයන්ට ද විපත් පමුණුවයි.

තමනුත් විපතට වැටී අන්‍යයන් ද විපතට හෙළන්නේ සිතක උපදින ආවේගයන් සංසිඳුවා නො ගැනීම හේතුවෙනි. එකරුණ තේරුම් ගෙන යම් දුෂ්ට සිතුවිල්ලක් උපදින මොහොතේ ම එය දුරු කිරීමට කටයුතු කිරීම ආවේග පාලනය කරන මෙම දෙවන ක්‍රමවේදයෙන් ඉගැන්වේ.

සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තම ගෙලෙහි ලැගුණු සර්ප කුණපයක් හෝ බලු කුණපයක් පිළිකුල් කරන්නාක් මෙන් ආදීන ව මෙනෙහි කරමින් ලාමක ආවේගයන් පිළිකුල් කොට ඉවත් කිරීම මෙහිදී සිදුවේ.

එම දෙවන ක්‍රමයට අනුව පිළිපැදීමෙන් පසුවත් එම අකුසල ආවේගය නැවතත් මතු වේ නම් එහිදී පිළිපැදිය යුතු ආකාරය තුන්වන ක්‍රමයෙන් උගන්වා ඇත. එනම්, සිතේ හටගත් ලාමක විතර්කයට හේතු වූ අරමුණ අමතක කිරීම යි. මතක තබා ගැනීමට අපහසු දේවල් මෙන්ම අමතක කිරීමට අපහසු දේවල් ද ඇත. අයහපත කැන්දන අරමුණු අමතක කිරීමට නම් ඒ පිළිබඳ සිහි නො කර සිටිය යුතු ය. අකුසල සිහි කිරීම් බහුල වීම අකුසල මතකයන් බහුල වීමට හේතු වේ. එවිට අභ්‍යන්තරය කැළඹී පළිගැනීම් ආදී තත්ත්වයන්ට සිත පත් වේ.

එමඟින් තමන් හා අන්‍යයන් ද විපතට හෙළීමක් සිදුවන බැවින් පාපී අරමුණු අමතක කිරීමට දක්ෂ විය යුතු ය. ඇස් ඇති පුරුෂයෙක් තමාගේ ඇස් ඉදිරියට පැමිණි රූපයන් නො දකිනු කැමතිව ඇස් පියා ගන්නාක් බඳුව පාපී වූ ආවේගකාරී අරමුණු අමතක කිරීම මෙම තුන්වන ක්‍රමවේදයෙන් ඉගැන්වේ.

එහෙත් එමඟින් ද සිත හික්මවා ගත නො හැකි අවස්ථාවක එබඳු පුද්ගලයකු අනුගමනය කළ යුතු සතරවන ක්‍රමවේදය නම් පාපී ආවේගයන් හටගන්නා මූලය මෙනෙහි කිරීම යි.

හේතුවකින් තොරව සිදුවන කිසිවක් ලොව නැත. හේතූහු විවිධාකාර වෙති. සිත් හටගැනීමේ හා අරමුණු හටගැනීමේ හේතූන් විමසා බලා ඒ අනුව යෝනිසෝ මනසිකාරය පැවැත්වීම චිත්තානුපස්සනාවක් ද වේ.

රාගික නිමිති හා සටහන් නුනුවණින් ගැනීම හා ඒ අනුව කල්පනා කිරීමෙන් රාගය උත්සන්න වේ. සිත රාගයෙන් වියරු වේ. ලාමක ආශාවන් අසම්මත අයුරින් පිරිමසා ගැනීමට පුද්ගලයන් පෙළැඹෙන්නේ ඒ හේතුවෙනි.

මෙලෙසින් රාගොත්පත්තියට හේතු වූ මූල තත්ත්වය හඳුනා එය වෙනස් කිරීමට නම් සුබ වශයෙන් ගත් නිමිත්ත නුවණින් මෙනෙහි කළ යුතු ය. රාගය නිසා හටගත් අසංවරය හා දැවිල්ල සංසිඳුවීමේ ක්‍රමය අරමුණු අසුභ වශයෙන් මෙනෙහි කිරීම යි.

කෝපයෙන් හා වෛරයෙන් යුතු ආවේගයන් හට ගැනීමේ මූල හේතුව වන්නේ ප්‍රතිඝ නිමිත්ත හෙවත් ද්වේෂයට තුඩු දුන් අරමුණූ සිහි මුලාවෙන් යුතුව කල්පනා කිරීමයි. එවිට ආත්ම සංඥාව බලවත් වී,මට බැන්නේ ය, නින්දා කළේය ආදී වශයෙන් කල්පනා කරමින් හටගත් කෝපාවේගය බලවත් වේ. ඉතා සුළු වූ සිදුවීමක් හේතුවෙන් හටගන්නා මානසික ගැටුම් බලවත් වර්ගවාදී හා ජාතිවාදී අර්බුදයන් දක්වා වර්ධනය වන්නේ ගැටීම බලවත් වන ආකාරයෙන් හා ආවේගයන් තීව්‍ර වන ආකාරයෙන් කල්පනා කිරීම නිසාවෙනි.

යුක්තිය හා සාධාරණය ද, නීතිය හා විනය ද උල්ලංඝණය කොට පවට ලජ්ජාවක් හා බියක් නොමැතිව ඕනෑම බිහිසුණු ක්‍රියාවක් සිදුකිරීම දක්වා සිත වියරු වන්නේ කෝපාවේගය හේතුවෙනි.

එහෙත් ප්‍රතිඝ නිමිත්ත දෙස සිහි කල්පනාවෙන් බැලීමෙන් හටගත් ගැටුම්කාරී මානසිකත්වය සංසිඳී යයි. වෛරයන් දුරදිග නො ගොස් සංසිඳුවා ගැනීමට නම් සිත ගැටෙන අරමුණු හටගන්නා ආකාරය තේරුම් ගෙන එබඳු අරමුණුවලින් සිත රැක ගත යුතු ය. වේගයෙන් දුවන්නා වූ පුද්ගලයෙක් දිවීම අතහැර සෙමෙන් ගමන් කරමින්, ගමන නතර කර සිටගෙන සිටිමින්, සිටීම ද නතර කර හිඳිමින්, හිඳීම ද නතර කර නිදා ගනිමින් විවේක ගන්නාක් මෙන් වේගවත් වූ අකුසල ආවේගයන්ගේ මූලයන් දකිමින් එය සංසිඳුවා සිත නිවා ගැනීම මෙම සතරවන ආවේග පාලන ක්‍රමවේදයෙන් ඉගැන්වේ.

මෙම ක්‍රමයෙන් ද පාලනය කළ නො හැකි චිත්තාවේගයන් වේ නම්, ඒ සඳහා පිළිපැදිය යුතු ආකාරය පස්වන හැඟීම් පාලන ක්‍රමවේදයෙන් ඉගැන්වේ. ඒ අනුව ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත චිත්තාවේගයන් හටගත් මොහොතක යට දත් ඇන්දේ උඩ දත් ඇන්ද තබා දිවෙන් තලු තද කරමින් කුසල් සිතින් අකුසල් සිතට නිග්‍රහ කළ යුතු ය.

මාගේ ශරීරයෙහි සම්, මස්, ලේ, නහර වියළී ගියත්, අස්ථි පද්ධතිය බිඳී ගියත් මම පාපයට යට නොවෙමි. කුසලය අත් නො හරිමි. පෙරළා වෛර නො කරමි. පෙරළා පහර නො දෙමි. අවමන් නො කරමි. අලාභ හානි නො කරමි. පළි නො ගනිමි. ජීවිතය හා පරිත්‍යාග කොට ඉවසමි' යි කියා හික්මීම පැවැත්විය යුතු ය.

යම් සේ බලවත් වූ පුරුෂයෙක් ඉතා දුබල ව පුරුෂයකු හිසින් හෝ කඳින් හෝ බෙල්ලෙන් හෝ අත්පාවලින් අල්ලා මිරිකමින් පෙළන්නාක් මෙන් කුසලයෙන් අකුසලය ද, අවිහිංසාවෙන් හිංසාව ද, මෛත්‍රියෙන් වෛරය ද මැඬලීම මෙහිදී අපේක්ෂා කෙරේ.

දත්මිටිකමින් වෛර කිරීම, කෝපාවිෂ්ට වීම වෙනුවට දත්මිටි කමින් පව්කාර ආවේගයන් යටපත් කිරීමේ පටිසෝතතගාමී වන්දනා ගමන සඳහා අව්‍යාජ බෞද්ධයෝ සැමකල්හි පේවී සිටිති. මොනම හේතුවකින්වත් වෙනස් නොවන තිර අදිටනකින් යුතුව ආවේග පාලනය කිරීමේ නිරතවන පුද්ගලයා නොබෝ කලකින් විමුක්ති සුවය විඳින බව බුදුරජාණෝ අවධාරණය කළහ.

මෙම පස්වැදෑරුම් පව්මල හරණ ක්‍රමවේදයෙන් ඕනෑම වර්ගයක පාපී ආවේගයක් පාලනය කර මුළුමනින් ම ඉවත් කළ හැකි බව බුදුරජාණෝ වදාළහ.

සැදැහැති ඔබ එම බුදු වදනෙහි ස්ථිරව පිහිටා සියලු පාපී ආවේගයන් මනාව පාලනය කරමින් යම් දිනෙක මුළුමනින් ම ප්‍රහාණය කොට විද්‍යා විමුක්තිය උපදවා ලොව්තුරා සුවයෙන් සුවපත් වීම පිණිස අද අද ම අමා දහමින් පේ වන්න.