Print this Article


සතුටින් ජීවත්වීම හා අසතුටෙන් මිය යෑම

සතුටින් ජීවත්වීම හා අසතුටෙන් මිය යෑම


ජීවිතයක වැදගත්ම කරුණක් වන්නේ සතුටයි. ලෝකයේ වෙසෙන මිනිසුන්ට සතුට ළඟා කරගත හැක්කේ ජීවිත රසය භුක්ති විඳීමෙන් ය. එය අවබෝධයෙන් හා සංයමයෙන් ලබාගත යුත්තකි.

එබැවින් ලෞකික සතුට යනු කුමක් ද යන්නත්, එය ලබාගත හැකි මාර්ගය පිළිබඳවත් තේරුම් ගතයුතු වන අතර, කිසි දිනෙකත් එය අවිචාරයෙන් විචාර නොකළ යුත්තකි.

අප වෙසෙන සමාජයේ රස වින්දනය සම්බන්‍ධයෙන් වැරදි මතවාද දරන පුද්ගලයෝ මූලික වශයෙන් දෙපිරිසක් වෙසෙති.

ඉන් එක් කොටසක් ආධ්‍යාත්මයක් ගැන කිසිදු හැඟීමක් නැති පුද්ගලයෝ ය. අනෙක් කෙටස ආධ්‍යාත්මික ජීවිතය ගැන ම අවධානය යොමු කොට ආස්වාදය අවිචාරයෙන් සහමුලින් ම පිළිකුල් කරන අය ය.

මෙයින් පළමු කොටස ජීවිතයක් ඇත්තේ විඳීන්නට මිස විඳවන්නට නොවේ යන නිගමනයේ සිට සීමා මායිම් රහිතව ආස්වාදනීය හැම දෙයක්ම විඳීති. මොවුහු ඇතැම්විට ඇලීම් ගැටීම් බැඳීම් නිසා ඇතිවන ඛේදවාචකවලට මුහුණ දෙති. එසේ නොවුණහොත් අසහනයෙන් මිය යති. සමාජයෙහි මෙබඳු පිරිස් බහුල ය.

අනෙක් කොටස ආගමික භක්තිය වැනි කරුණු හේතුවෙන් නැතහොත් කිසියම් පුද්ගල දර්ශනයකට දක්වන මානසික නැමියාවකින් සියලු සැප අත්හරින්නෝ ය. ඔවුහු ගිහි ජීවිතයක් ගෙවන නමුදු විවාහ ජීවිතය ඇතුළුව සියලු සැප ආස්වාද පිළිකෙව් කරන්නාහු ය. රස වින්දනය සම්බන්‍ධ බෞද්ධ අදහස අනුව මෙම පුද්ගල කණ්ඩායම් දෙකම වැරැදි ක්‍රමවේදයක් අනුගමනය කරන්නෝ ය.

මෙයින් පළමු කොටස එනම් නිර්ණායක විරහිත කවර හෝ ක්‍රමයකින් සැප විඳීය යුතුය යැයි සිතන්නෝ දැඩි භෞතිකවාදියෝ ය. බුදුන් දවස මෙබඳු මතවාද විය. “දිවි ඇති තාක් සුව සේ සිටින්න. ණය වී හෝ ගිතෙල් බොන්න. මරණයෙන් පසු හළු කරන ලද දේහයේ යළි පැමිණීමක් කොයින් දැ”යි ඔවුහු ඉගැන්වූහ. මෙය තෘප්තිමත් දිවි පෙවතක් නො වන බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. කුමක් නිසාද යත් කහවණු වැස්සත් පුහුදුන් මිනිසාගේ සිත නො පිරෙන බැවිනි.

අනෙක් කොටස ජීවිතය වූ කලි මුළුමණින්ම දුකකැයි සිතන, සිරුරට සැප නො දී දුකම දීමෙන් දුක පිටු දැකිය හැකි යැයි සිතන්නෝ ය. ඔවුන් අත්තකිලමථානුයෝගය ප්‍රිය කරන්නන් ලෙස සැලකෙන අතර, බුදුදහමේ එම ප්‍රතිපදාව ද හඳුන්වා ඇත්තේ හීන ග්‍රාම්‍ය හා ළාමක ප්‍රතිපදාවක් වශයෙනි. එබැවින් කෑම් බීම්, ඇඳුම් පැළඳුම්, ඇළ දොළ ගංගා ඇතුළු පරිසරය යනාදිය ඇසුරින් ලෝකයේ ජීවිත්වන මිනිසුන් විසින් පසිඳුරන්ගෙන් ලබන සතුට සොම්නස සම්බන්ධයෙන් දැන හඳුනාගෙන තිබීම ප්‍රබුද්ධ සමාජයකට අවශ්‍ය වේ. සැබැවින්ම වින්දනය විෂයයෙහි අවශ්‍ය මූලික කාරණය වන්නේ මානසික සමබරතාවය යි. එය හදවතේ මෙන්ම බුද්ධියේ සමතුලිත ඒකාත්මිකභාවයෙන් ලැබෙන්නකි.

ලෝකයේ විසිතුරු වස්තූන්ගේ බිහිවීම ලෝකයට දායාදයකි. ලස්සන තුරුලතා සතා සිවුපාවා කඳුරැලි ස්ත්‍රී පුරුෂාදීන් එලෙස විසිතුරුවීම එම වස්තුන්ගේ වරදක් නොවේ. ඒවා කාමයෝ ද නොවෙති. එම වස්තු කෙරෙහි මිනිසා තුළ පවතින සංකල්පමය රාගය කාමය ලෙස සැලකේ. අප කැමති වුවත් අකැමැති වුවත් ලොව විසිතුරු දේ එලෙසම පවතී.

නුවණැත්තෝ එහිලා තෘෂ්ණාව දුරු කරතියි සංයුත්ත නිකායේ නකාමකාම සූත්‍රයේ බුදුන් වහන්සේ කළ ප්‍රකාශය ඊට නිදසුනකි.

ලෝකයේ විසිතුරු වන පර්වත ස්ත්‍රී පුරුෂ දේවල් විසිතුරු ලෙස අප විසින් දැකිය යුතු ය. ඒවාට සංකල්පමය වශයෙන් මමය (අහංකාර), මගේ (මමිංකාර) යනාදී වශයෙන් ඇලීමක් ඇති කර ගැනීම කාමය ඇති කර ගැනීමකි.

එම සංකල්ප රාගය හානිකර වන අතර එයින් වස්තුවක පවතින සුන්දරත්වය දැකීමට නො හැකි වේ. මේ නිසා සෞන්දර්ය ආස්වාදයක් ලැබීමට සංකල්පමය වශයෙන් අප තුළ ඇති වන රාගය පාලනය කිරීමට සිදුවේ. සත්වොද්‍යානයක, ජලාශයක, කඳුහෙල්වල, ගසක, වැලක, ගැහැනියක හෝ පුරුෂයකු තුළ පවතින රූපමය හෝ චර්යාමය සංසිද්ධියක සෞන්දර්යය වින්දනය කළ හැක්කේ ඒවා තමා සතු කර ගැනීමේ මනෝභාවය වියුක්තව ය. මිනිසා තමා අවට පරසරය සමඟ මනා සිහියෙන් යුතුව තමාටත් එයටත් හානිකර නො වන පරිදි ගනදෙනු කරමින් වින්දනය කරයි නම් එයින් ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් යුතු ආස්වාදයක් ලැබෙන බව (පීතිපාමොජ්ජෙන විහරෙය්‍යාසි) බුදුන් වහන්සේ රාහුල හිමියන්ට වදාළහ.

සෞන්දර්යය ආස්වාදය මුළුමණින් ම පාපයෙන් හා අකුසලයෙන් තොර වූවකි. යම් සැපයක් පාපයෙන් හා අකුසලයෙන් තොර නම් එබඳු සැපයට මම බිය නො වෙමියි වරක් බුදුන් වහන්සේ වදාළහ.

පාපයක් නැත්නම් අකුසලයක් සිදුවන්නේ රාගය ද්වේෂය හෝ මෝහය පදනම් කරගෙන ය. එබැවින් රාගය හෝ මෝහය හෝ ද්වේෂය හෝ ඇති සිතකින් සෞන්දර්යාත්මක වින්දනයක් ලැබිය නො හැකි ය.

මේ නිසා නියම සෞන්දර්ය වින්දනය පාපයට අකුසලයට බර වූවක් නොවේ. එහෙයින්ම බෞද්ධයාට පමණක් නොව බෞද්ධ භික්‍ෂුවට ද සෞන්දර්ය වින්දනය අහිතකර වූවක් ද නොවේ. රහතන් වහන්සේලා විඳී සෞන්දර්යය පිළිබඳව ථේර ථේරීගාථාවලින් අපට බොහෝ දේ උගත හැකි ය.

යම් දිනෙක සුදු පියාපත් ඇති බාලකාවලිය කළු වළාවන්ට බියෙන් තැතිගෙන කැදලි කරා පියාඹයි ද එකල්හි අජකරණී නදිය මගේ සිත් අලවයි යනුවෙන් සප්පක මහරහතන් වහන්සේ වරක් පැවසූ අයුරු ථේරගාථාවෙහි දක්නට ලැබේ.

බුදුරදුන් සහ රහතුන් විඳී අලෞකික ආස්වාදයෙන් ලබන සෞන්දර්ය වින්දනය කිසිසේත් ලෞකික අපට අත්විඳීය නොහැකි ය. ඒ පිළිබඳ විවාදයක් මෙහිදී මතු නොවේ. අපට වඩාත් වැදගත් වන්නේ සාමාන්‍ය මිනිසකුට උසස් වින්දන ශක්තියක් ලබා ගැනීමේ බෞද්ධ ක්‍රමවේදය කුමක් ද යන්න සොයා බැලීම යි.

සාමාන්‍ය මිනිසාට ලෝකයේ ලස්සන දේ මෙන්ම අවලස්සන යැයි සැලකෙන දේ ඇත. එහෙත් මෙම ලස්සන සහ අවලස්සන යන සංකල්ප දෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මෙයින් තහවුරු වන්නේ ආස්වාදයට වස්තු වන දේට වඩා සංකල්පීය මනෝභාවයක බලපෑම සෞන්දර්ය ආස්වාදය විෂයෙහි පාදක වන බවයි. එමනිසා සෞන්දර්ය ආස්වාදය විෂයෙහි භාවිත මනසක් තිබේ නම් වඩාත් ඵලදායක වේ.

මිනිසා විසින් උසස් මනසකින් අත්පත් කරගත යුතු පුරුෂාර්ථ බොහෝ සංඛ්‍යාවක් ඇත. උසස් මිනිසුන් ආශ්‍රයෙන් අධ්‍යාපනයෙන්, දාර්ශනික සාකච්ඡා හා සම්මන්ත්‍රණ මගින් ශික්‍ෂිත කායික වාචසික සමාචාර තුළින් අපේක්‍ෂා කෙරෙනුයේ එකී පුරුෂාර්ථයන්ගේ ඵලප්‍රාප්තිය යි. මේ සඳහා අවශ්‍ය මානසික පසුබිම සකසා ගැනීමට ඔහුට පාරිසරික හා අධ්‍යාත්මික සෞන්දර්යය නිසැකවම උපකාරී වේ.

සුන්දර වස්තූන් කෙරෙහි සෙනෙහස ගොඩනගා සතුටක් බලාපොරොත්තු නො වන්න. කුමක් නිසාද යත් සෙනෙහස යනු ආසාවකි. අපේක්‍ෂාවකි. ප්‍රාර්ථනාවකි. එය ධනාශාවකි. පුත්‍රාශාවකි. ජීවිත ආශාවකි. අධර්ම රාගයකි. විෂම ලෝභයකි.

අනිත්‍ය බව සනාතනික දෙයක් නිසා භෞතික වස්තූන් පිළිබඳව අප ඇති කරගන්නා වූ සෙනෙහස අරමුණු ඉටු නො වීමෙන් ගැටුමකට පරිවර්තනය වේ. අවසාන ප්‍රතිඵලය දුක නැමති යතාර්ථය සමඟ ගනදෙනු කිරීමකි. මෙය භෞතික වස්තූන් ඇසුරෙන් අප ලබන ආස්වාදයේ යථාර්ථය යි. එබැවින් ජීවිත රස විඳීන්න. එය අවබෝධයෙන් කරන්න. ඉඳුරන් මගින් ලබන රසය හා සතුටට අධ්‍යාත්මය මුසු කර ගැනීමට අමතක නො කරන්න. කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් සන්තින්ද්‍රිය (සන්සුන් ඉඳුරන් ඇති බව) නිපකො (දක්‍ෂ වීම) අප්පකිච්ච (අල්ප කෘත්‍ය ඇති බව) සල්ලහුක වුත්ති (සැහැල්ලු පැවතුම් ඇති බව) අනනුගිද්ධ (ගිජු නොවීම) යනාදී ජීවන චර්යාවකින් යුක්ත පුද්ගලයා තුළ ආධ්‍යාත්මික සතුට උපදිනු නියත ය.

ඔහුට බාහිර සෞන්දර්ය ආස්වාදය කිරීමේ කිසිදු බාධකයක් ද නැත.