Print this Article


අවංක පුද්ගලයා පිරිසුදුය සුවපත්ය

අවංක පුද්ගලයා පිරිසුදුය සුවපත්ය

" තමාට තමාම දිවයිනක් කරගන්න. පිහිටක් කරගන්න. වෙන කිසිවකු ඔබට දිවයිනක් හෝ පිහිටක් නොවේ. ඔබේ විමුක්තිය ඔබම සාක්ෂාත් කරගත යුතු වේ."

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයේ කෙන්සඩ් සිටි නගරයේ වීදි කොනක 2013 වසරේ පෙබරවාරි මස දිනයක, මහමඟට වැටුණු අසරණයකු වූ 55 හැවිරිදි බිලී රේ හැරිස් සුපුරුදු පරිදි කෝප්පයකට මහමඟ සිටින සැමගෙන් පිනට යමක් හෝ ඉතුරු කාසියක් යදිමින් හුන්නේ ය.

ඔහු දුටු සාරා ඩාලිං නම් තරුණිය අසරණ මිනිසා දැක තම අත ඇති ඉතුරු මුදල් කිහිපයක් පරිත්‍යාග කළා ය. ඇයට නො දැනීම ඇයගේ විවාහ ගිවිසගත් වටිනා මුදුව ද ඒ කෝප්පය තුළට වැටිණි.

ඇය පිටව ගිය පසු කෝප්පය පිරික්සූ හැරිස්ට දැක ගැනීමට ලැබුණේ ඒ තුළ වූ මිලාධික මුදුව යි. මුලින් එහි අයිතිකාරිය සෙවීමට ඔහු උත්සාහ කළ ද පලක් නොවී ය. එසේම එම මුදුව දුටු ඔහුගේ මිතුරෝ ද මහමඟ වූ ඇතැම් ජාවාරම්කරුවෝ ද ඩොලර් 4000ක් (රු. ලක්ෂ අටකට ආසන්න මුදලක්) දක්වා ලංසු තැබූයෙන් ඔහුගේ සිත මදක් සසල වුව ද “දුප්පත්කම ඉදිරියේ අවංකත්වය පාවා නො දෙමි”යි යන අදිටනින් හෙතෙම අවසන එම සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ ය.

සිය මුද්ද නැති වූ බව දැනගත් සාරා සිය සැමියා වූ බිල් ක්‍රෙජ්සි සමඟ හැරිස් සොයා පැමිණි අතර, එම දුප්පත් මිනිසා ඔවුනට එම මුද්ද යළි බාරදුන්නේ ඔවුන් පිරිනැමූ ත්‍යාග මුදල ද ප්‍රතික්ෂේප කරමිනි. ඉන් ඉතාමත් පැහැදුණු එම යුවල මේ අවංක මිනිසාට කෘතගුණ දැක්වීමට ඉටා ගත්හ. ඔවුහු අන්තර්ජාලයේ මෙම සිද්ධිය පැහැදිලි කොට ඔහු වෙනුවෙන් ආධාර මුදල් එකතු කිරීමක් කළේ කුඩා හෝ මුදලකින් මේ මිනිසාට අලුත් ජීවිතයක් දිය යුතුය යන අරමුණිනි.

ඔහුගේ අවංකත්වයේ කතාව බොහෝ දෙනාගේ සිත් ඇද ගත්තේ ය. තෙ මසක් තුළ එකී සුළු මුදල වෙනුවට ඩොලර් 190,000 ක මුදලක් ඔහු වෙනුවෙන් පරිත්‍යාග කෙරිණි. නීතිඥයකු මාර්ගයෙන් එම මුදල යෙදවූ තරුණ යුවළ ඔහුට නව නිවසක් හා කාර් රථයක් ද ව්‍යාපාරයක් ද ආරම්භ කොට දුන්හ. සිද්ධිය මාධ්‍ය අවධානයට ලක්වීමත් සමඟ ඔහුට තවත් මුදල් ලැබිණි. එසේම ඔහු ගැන තොරතුරක් සොයමින් සිටි පවුලේ නෑදෑයෝ ද ඔහු සොයා පැමිණියහ. ජූනි මස වන විට බිල්ලදු හැරිස් මුදලින්ද, සම්පතින් ද, ඤාති හිත මිත්‍ර පිරිවරින් ද අනූනව සතුටින් සාර්ථක මිනිසෙක් ලෙස දිවි ගෙවමින් සිටියේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙබඳු අවංකත්වයන් ඉතාමත් ඉහළින් අගය කළ සේක. “යථාවාදී තථාකාරී - යථාකාරී තථාවාදී” හෙවත් කරන දේ කියන හා කියන දේ කරන ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුපියාණෝ එම ගුණය තම ශ්‍රාවකයන් ද පුරුදු කරන මෙන් දක්වා ලූහ. කරණීය මෙත්ත සූත්‍රයේ දී “උජු” ගුණය තම ශ්‍රාවකයකු තුළ තිබිය යුතු ගුණාංගයක් ලෙස දැක් වූ අතර, සෘජු නො වන තම කය, වචනය හා මනස සම්බන්ධිත ව වන ක්‍රියාවන් පිළිබඳ අසත්‍යවාදී වන්නා දුකට පත්වන බව වදාළහ.

එහෙත් වංක ස්වභාවය බොහෝ දෙනා අතර අද සමාජයේ බහුලව දැකිය හැකි අගුණයකි. ඇතැම් අය යහපත් ව හැසිරෙන්නේ හෝ මිතුරන් ඇසුරු කරන්නේ තමාට ලාභයක් ඇතිතාක් පමණකි. සැපතේ දී මිතුරන් හා ඤාතීන් සමඟ කා බී සතුටු ව දුකේ දී දමා යති.

තමා නො දත් දෙය නො දන්නා බව නො හඟවති. දන්නා දෙයක් නැතත් හෝ මදක් දන්නා පමණින් ම සියල්ල දත් සේ හැසිරෙති. දිව දෙකේ කතා කියති. එක් ප්‍රතිපත්තියක නොපිහිටති. ඉදිරිපිට එක කතාවකුත්, නැති තැන තව කතාවකුත් කියති. වචනයෙන් දහසක් දෑ කියා අල්ප වූවක් ම කරති. නැතහොත් කිසිත් නො කරති. බොරු පොරොන්දු දී අද නොව හෙට යැයි බාලගිරි දෝෂය සේ මඟ හරිති. ඇත්ත බොරු කිරීමටත්, බොරුව ඇත්ත කිරීමටත් දඟදෙති.

වගකීම පැහැරහැර දහසක් හේතූන් කියති. එසේ නැතිනම් එකක් කියති. අනෙකක් කරති. තම යුතුකම් හා වගකීම් ඕනෑ එපාවට කරමින්, තම පවුල හෝ රැකියා කරන තැන වැදගත් සේ ම රහසිගත වියයුතු තොරතුරු පිටකරති. දෙබඩිව සුදුස්සාට සුදුසු තැන නො දී පවුලේකමට හෝ හිතමිතුරුකමට තැන දෙති. අනුන් කළ දැයට තමන් ලකුණු දමා ගනිති. අන් අයගේ දෑ තමාගේ මෙන් විකුණති. අනුන්ට බණ කියන මුත්, තමා නොපිළිපදිති. යටිහිතේ එකක් තබාගෙන උඩින් අනිකක් පෙන්වමින් වැඩ කරති. දෙයක් සම්පූර්ණ නො කොට සම්පූර්ණ කළා සේ බාර දෙති.

1949 වසරේ ආසියාවේ දෙවැනි ධනවත් රට වර්තමාන දුක්ඛිත තත්ත්වයට වැටීමට මෙකී වංකභාවයන් බහුලවීම සෘජුව බලපා ඇති බව සක්සුදක් සේ පැහැදිලි ය.

වංක බවින් කිසිදා ජයගත නොහැකි ය. වංක තැනැත්තා එසේ කටයුතු කරන්නේ ඇතැම් විට ලාබ ප්‍රයෝජන තකා වුව ද, එය වැඩිකල් කරගෙන යාමට හැකිවන්නේ නැත. “හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යැයි කී සෙයින් ඉක්මණින්ම අන් අයට ඔහුගේ හෝ ඇයගේ වංකත්වය තේරුම් ගැනීමට දිගු කලක් යන්නේ නැත. සමාජයෙන් ද එවිට බොරුකාරයා, වංචාකාරයා, කපටියා, ආත්මාර්ථකාමියා” වැනි නානා අපහාසවලට ද එකී පුද්ගලයාට ලක්වීමට සිදුවේ.

බොරුව මත ගොඩනැගුණු එබඳු ජීවිතවල පදනමක් නොමැත. චරිත ශක්තියෙන් ද, දුර්වල හෝ නිතර කොන් කෙරෙනු ඇත. මිතුරෝ ද හැරයනු ඇත. ඔහුගේ හෝ ඇයගේ වදන් සියල්ලෝ ම අවිශ්වාස කරනු ඇත. සියල්ලන්ගෙන් ම ප්‍රතික්ෂේපව තනිවනු ඇත. කරන කටයුතු ද අසාර්ථක වී අසරණ බවට පත්වනු ඇත. එහෙයින් නුවණැත්තෝ වංක බවින් දුරුව කටයුතු කරන්නෝ ය.

අවංක වූ තැනැත්තාගේ කීර්තිරාවය ද, යසස ද වැඩිවීමට වෙනත් කිසිවක් කළයුතු නැත. කිසිවක් සැඟවීමට නැති නිසාම එබඳු අයගේ සිත ද නිදහස් ය. අවංක වූ අයට ඇතැම්විට බොහෝ මිතුරන් නැතත් ලැබෙන මිතුරෝ යහපත්, අවංක අයවළුන් ම ය. අවංක තැනැත්තා කරන දේ කියන, කියන දේ කරන කෙනකු නිසා සැමගේ ම ගෞරවය දිනා ගත්තෙකි. ඔවුන්ට ලද දෙයින් සතුටුවීමට කිසිවකු කියාදිය යුතු නැති අතර, ලොවට මවා පෙන්වීමට කිසිවක් ද, අවශ්‍යතාවයක් ද නැත.

වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයකු වූ ලාල් බහාදුර් ශාස්ත්‍රී රෙදි කම්හලක් නිරීක්ෂණය කිරීමට ගියේ ය. එහි වූ වර්ණවත් සාරි වර්ග දැක හෙතෙම හිමිකරුට ප්‍රශංසා කොට, බිරිඳට සාරියක් මිලදී ගනු පිණිස මෝල්කරු ඇමතී ය.

“මේ සාරිය කීයද?” ඉතා අලංකාර මහනිය සාරියක් පෙන්වමින් හේ විමසී ය. මෝල්කරු එය බලා මෙසේ කීය.

“අගමැතිතුමනි, මේක රුපියල් 1000යි.”

“අනේ ඊට වඩා අඩු සාරි නැද්ද මහත්මයා?”

හිමිකරු වෙනත් සාරියක් පෙන්වා මෙසේ කීය.

“මේක රුපියල් 800 යි, මැතිතුමණි.”

“ඒකේ ගණන් වැඩියි නේ.” අග්‍රාමාත්‍යවරයා කීවේ ය. “මීට අඩු එකක් බලමු ද?”

මෙයින් කැලඹුණු සිත් ඇති මෝල් හිමිකරු අග්‍රාමාත්‍යවරයා ඇමතීය. “අගමැතිතුමනි, ඔබ අපේ සමස්ත ඉන්දියාවේ ම අගමැති. ඔබ තුමාට මේ සියල්ලම මම නොමිලේම දෙන්න කැමතියි. ඒක මට ලොකු ගෞරවයක්.”

එයට කැමති වූයේ ලාල් බහාදුර් ශාස්ත්‍රී නොවේ.

“ස්තුතියි මහත්මයාණෙනි.නමුත් කනගාටුයි මට මේක ගන්න බැහැ. මම ගන්නේ මගේ පඩියට සරිලන දෙයක් විතරම යි.”

සිංහයා තණකොල නොකන සේ අවංක මිනිසා අවංකත්වයේ අගයත්, යහපතත් දන්නා හෙයින් එය පාවාදීමට කිසිවිටෙකත් සූදානම් නොවේ. බුදුරජාණන් වහන්සේ එබන්දෙකුගේ ලක්ෂණ මෙසේ වදාළහ.

සච්චවාදි - එවැන්නා සත්‍යයම කියන්නේ ය. වෙනකක් නො කියන්නේ ය.

සච්ච සන්ධෝ- සත්‍යයෙහිම ඇලී සිටී. එයින් බැහැර බොරු හෝ අතිශයෝක්තියෙන් තොර ය.

ථෙතො - ඇත්තෙන් ඇත්ත, යතාර්ථයෙන් යතාර්ථය ගළපන්නේ ය.

පච්චයිකෝ - හේතුවාදීවේ. ස්ථිර කතා හා ක්‍රියා ඇත්තෙකි.

අවිසංවාදකෝ ලොකස්ස - ලෝකය හා ගැටෙන, ලෝකය මුළා කරන කතා හා කටයුතු රහිත ය.

අවංක තැනැත්තා ගෙවන සෑම මොහොතක් ම පිරිසුදු ය. නිකැලැල් ය. සුවපත් ය. යහපත් ය. එහෙයින් අතීතයේ අවංක නො වූවද, මේ මොහොතේ සිට අවංක වන්නට දිරිය දෙන්න. දැනට ම අවංක දිවියක් ගෙවන්නේ නම්, එය පවත්වාගෙන යාමට අධිෂ්ඨාන කරන්න. අවංකත්වය පිරි ඔබේ දිවිය ආලෝකමත් එකක් වනු නො අනුමාන ය.

“තමාට තමාම දිවයිනක් කරගන්න. පිහිටක් කරගන්න. වෙන කිසිවකු ඔබට දිවයිනක් හෝ පිහිටක් නොවේ. ඔබේ විමුක්තිය ඔබම සාක්ෂාත් කරගත යුතු වේ.”

භාග්‍යවතුන් වහන්සේ දීඝනිකාය 10