Print this Article


අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වූ අති ශේෂ්ඨතම ගුරුවරයාණෝ යි. එයට කදිම නිදසුනක් වන්නේ ගුරුළුගෝමි පඩිතුමාගේ අමාවතුර ග්‍රන්ථයෙහි ගහපති දමන කතාවේ සඳහන් උපාලි ගහපතියා සමඟ ඇති වූ සංවාදය යි. නිගණ්ඨ නාථපුත්‍රගේ අග්‍ර උපස්ථායක උපාලි ගහපති බුදුන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වීමට අවසර ඉල්ලයි.

අවසර ලබා දෙන්නේ මෙතෙක් කල් සිය ශාස්තෘන් ලෙස සැලකූ නිගණ්ඨ නාථපුත්තයන්ට දුන් දන් වැට ඉදිරියටත් නොකඩවා පවත්වන ලෙස උපාලි සිටුවරයාගෙන් ලබා ගත් ගිවිසුමකට පසුවයි. මෙය සැබෑ ගුරුවරයෙක් සතු අති උදාර ලක්‍ෂණයකි.

මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචිත පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ ගීතය ද ගුරු භූමිකාව පිළිබඳ රචකයා තුළ ඇති වූ සංවේදී මනස ගී පද වැලකට ගොතා ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයකි. එහි දී තමා ලද අත්දැකීම් තුනක් මෙය රචනා කිරීමේ දී පාදක වී ඇති බව පෙනේ.

නුවර කලාවියේ මැදවච්චිය ගිරිගල්වැව පාසලට සැතපුම් 13ක් පමණ අතිශය දුෂ්කර මාවතක් පසු කරමින් පා පැදියක වැව් තාවුලු පසු කරමින් ගමන් කළ මුල් ගුරුතුමා පිළිබඳ තම මනසින් ගොස් අසා ඇති තොරතුරු පළමු අත්දැකීම යි.

පළමුව ගුරුවරයා නමින් ද, පසු ව ගුරු ගීතය නමින් ද රචනා වූ කෘතියෙහි සඳහන් අපමණ දුක් දොම්නස් සිතින් ගතින් දරාගෙන ගුරු සේවයෙහි නියැළුණ ගුරුවරයා පසු ව තැපැල් පියන් කෙනෙක් වශයෙන් සේවය කිරීම තුළ ඇති වූ සංවේදී චෛතසිකයක් දෙවන අත්දැකීම යි.

ගීත රචකයා අම්පාර පානම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන විට දේශපාලන පළිගැනීමකට ලක් වී මාරු වීමක් ලැබ මුල් ගුරුවරයකු වශයෙන් එම පාසලට ම පැමිණීම පිළිබඳ ශෝචනීය කතා පුවත තුන්වන අත්දැකීම යි.

පෙරදිග ලෝකයේ සාම්ප්‍රදායික ගුරු භූමිකාව මුහුණ දෙන අතිශය කටුක අත්දැකීම් හා මහත් දුක සේ ලබාගත් ශිල්ප ඥානය චිර කාලීන වාණිජ පරමාර්ථවලින් පිරුණු ධනවාදී ලෝකය තුළ අවභාවිත වීම ද මෙම ගීතයට වස්තු විෂයය වී ඇති බව පෙනේ.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මඩ කඩිති උඩින් පනිමින් වැව් තාවුලු පසු කරමින් පාසලට පැමිණෙන මුල් ගුරුතුමා ස්වකීය ශිෂ්‍යයන්ට දාරක ස්නේහයෙන් ශිල්ප ඥානය ලබා දුන්න ද සමහර අවස්ථාවල එය ලබා නොගත් ශිෂ්‍යයන් ද අප සමාජය තුළ නැතිවා ම නොවේ.

දිසාපාමොක් චරිත ලක්ෂණ ඉදිරියේ මූසිල චරිත ලක්ෂණ පිළිබඳ ගීතයේ සඳහන් වන්නේ එවැනි චරිත අදත් මෙම සමාජය තුළ සැරිසරන හෙයිනි.

එසේ ම කතුවරයා මෙම ගීතය මඟින් සමාජයේ පවතින ඛේදජනක ස්වභාවයක් මතු කර දක්වයි.

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

අනන්ත දුක් කරදර මැද පාසල් යන දරුවෝ ගුරු ගෞරවය ද තම සිත තුළ දරාගෙන මැනවින් ශිල්ප හදාරති. එසේ වුව ද එම ශිල්ප ඥානයට ගෞරවයක් ලැබෙන රැකියාවක් ඇතැම්විට සමාජය තුළ නොමැත. එම නිසා පැරණි පාසල් පොත්වල ජීවත් වුණ සාමලා අමරලා බස් පොළේ කුමාරෝදය පොත්වල පිටු ඉරා ගෙන රටකජු වෙළදාම් කිරීමට පත්වීම මොනතරම් නම් අධ්‍යාපනයේ ඛේදවාචකයක් දැයි කථකයා සංවේදී මනසකින් ප්‍රශ්න කරයි.

උගත මනා ශිල්පය මයි මතු රැකෙනා යනුවෙන් අප අසා ඇති ආප්ත වදන ජරාජීර්ණ වී ඇති බව උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ යනුවෙන් සඳහන් කරයි. ඉගන ගත් ශිල්ප ඥානය ඇතැම්විට පවතින්නේ දූවිලි කුණු වැකුණු කඩපිල් මත ය. එය කෙසේවත් සමාජය නොපැතූ දුක්බර ඉරණමකි. මනාකොට ශිල්ප ඥානය ලබාගත් දරුවන් විරැකියාව නිසා කඩපිල්වල ජීවත් වීමට විවිධ රැකියා කරමින් ගෙන යන ශෝකාන්ත ජීවන සටන මහින්ද චන්ද්‍රසේකර සංවේදී මනසකින් යුතු ව ඉදිරිපත් කරයි.

එසේ ම මෙම ගීතයේ තවත් ප්‍රබල ප්‍රකාශයක් ඇත. එනම් ‘ වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ’ යන්න ය. වේවැල යනු දඬුවම් කිරීමේ අර්ථයෙන් ඔබ්බට ගිය විනය ගරුක දරුවෙක් සමාජයට බිහි කරන සාම්ප්‍රදායික ඉගැනුම් උපකරණය යි. එදා වේවැල පෙන්නා තමන්ට පාසලේ දී ශිල්ප ඥානය ලබා දුන්න ද එයට ගැළපෙන රැකියාවක් නොමැති හෙයින් ශිල්ප ඥානය සමාජයට කථා කොට යමක් ඉල්ලා සිටියි.

එම ඉල්ලීම වන්නේ එකී ශිල්ප ඥානය ඉගෙන ගත්තාට දඬුවම් කරන ලෙසයි. එයින් කවියා ධනවාදී සමාජ අර්ථක්‍රමය තුළ ඉගෙන ගත් ශිල්ප ඥානය කෙතරම් අවමානයට ලක් වී ඇති දැයි ස්වකීය රසිකයන්ගේ අවධානයට ලක් කොට ඇත.

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

සමාජයේ ඇතැම් තැනෙක පවතින තවත් ඛේදවාචකයක් ගීතයේ අවසාන පදවලින් කවියා ඉදිරිපත් කොට ඇත. විනයගරුක පැහැපත් රුව ඇති, මනා අධ්‍යාපනයක් ලබා ගත් බොහෝ දියණිවරුන් දෑවැදි නොමැති හෙයින් දීග යාමට නොහැකි ව නිවස තුළ වයෝවෘද්ධ වන අයුරු කවියා ඉදිරිපත් කරන්නේ සමාජයේ පවතින පන්ති ගැටුම සියුම් සරදමට ලක් කරමිනි.

ගීතයේ අවසාන පද පේළි දෙක මගින් අධ්‍යාපනය ලබාගත් උත්තම ගණයේ පරමාර්ථ මතුකර දැක්වීමට කවියා උත්සාහ දරා ඇත. එය කෙතෙක් සාර්ථක වූවා දැයි විමසා බැලීම වටී.

ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

මෙහිදී අප සිහියට නැගෙන්නේ සැළලිහිණි සංදේශයේ කවියකි.

මිතුරුතුමෝ දුක සැප දෙකෙහි ම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපෑ විතී

බිත්තියෙහි එල්ලෙන පින්තූරය බිත්තිය ආධාරකය ලෙස යොදාගෙන බිත්තියට පිටුපා සිටියි. එහෙත් උතුම් මිතුරෝ එසේ පිටු නොපාති. කවියා අදහස් කොට ඇත්තේ ගුරු නිවහනේ ජීවත් වන මුල් ගුරුතුමාගේ බිරිඳ වන ලොකු හාමිනේ මේ සියලු ක්‍රියාකාරකම් දෙස කඳුළින් බර දෙනෙතින් යුතු ව සංවේදී ව බලා සිටින බව තම සහෘදයාට පසක් කරවීමයි.

එසේ නොවන්නේ නම් ලොකු හාමිනේ ඒ සියලු දුක් දොම්නස් ගතින් සිතින් දරාගෙන කඳුළින් බර දෙනෙත්වලින් දුක්බර ජීවිතයක් ගත කොට මිය ගොස් ඇති බව යි.

කෙසේ වෙතත් මෙම ගීතය රචකයාගේ පරමාර්ථය වූයේ දුක්බර ඛේදාන්තයක් ගී පද වැලකින් තම සදාදරණීය සහෘදයාට ඉදිරිපත් කිරීමයි. අපමණ දුක් කම්කටොඵ විඳ පාසල් ගොස් ශිල්ප ලබා ගත්ත ද එයට ගැළපෙන සාධාරණ රැකියා අහිමි ව දුක්විඳීන ඇතැම් දරුවන්ගේ ජීවිත කතාවල සෝචනීය ඉරණමත් එසේ ම කලාතුරකින් දක්නට ලැබෙන ශිල්ප ලබාගත් දරුවන්ගේ ගුණමකු ලක්ෂණත් නිසා අප සමාජය වෙලා පවත්නා දුක්ඛ දෝමනස්සයන් ඉදිරිපත් කිරීමට මහින්ද චන්ද්‍රසේකරයන් ගත් උත්සාහය සදූපදේශයක් සංග්‍රහ කරයි.