Print this Article


නැවුම් සිතිවිලිවලට යොමුවිය යුතු කාලයක්

නැවුම් සිතිවිලිවලට යොමුවිය යුතු කාලයක්

අප හැම කෙනෙකුගේ ම ජීවිත දිහා බලන කොට ගෙවුණු අතීතයක් මෙන්, නො එළඹුණු අනාගතයක්ද තිබෙනවා. අප ජිවත් වන්නේ වර්තමානය තුළ යි. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ ජිවත් වන මේ මොහොත යි. ඒ කියන්නේ මම දැන් මෙතන යි කියන සිහියෙන් කාලය ගත කිරිම යි.

බුදු දහමෙහි සතිය කියන මේ බරපතළඉතා අගනා අකුරු තුනෙන් ප්‍රකට කරන්නේ මේ සිහිය යි. සතිය නැතිව ක්‍රියා කරන හැම විට ම අයහපත උදා වෙනවා. සතිය රඳවා ගෙන ක්‍රියා කිරිම තුළ තමන්ගේ ජීවන ප්‍රතිපදාව නිවැරදි වෙනවා. හැමවිට ම අපේ ජීවිතවල අඩුපාඩු සිදු වන්නේ සතිය නොමැති විම නිසයි. එවිට සතුට ජිවිතයෙන් පළා යනවා. සතුට තමා පරම ධනය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.

කෙනකුගේ ජීවිතය වඩාත් සතුටින් ගත කළ හැකි වන්නේ වර්තමානයේ හැමවිට ම තම කාලය ගත කිරීමෙන් පමණයි. අතීතයේ නොයෙක් සිදු වීම් නිසා අපේ සිත් පලුදුවිමට ඇති ඉඩකඩ වැඩි වීමට හැකියාව තිබෙනවා. අනාගතය හෙවත් නො එළඹුණු කාලය ගැන සිතා ක්‍රියා කළොත් ඒ මත වඩාත් අසහනකාරී ජීවිතයක් ගෙවන්නට සිදු වෙනවා නො අනුමාන යි. ඒ නිසා බුදු දහමෙන් පෙන්වා දෙනවා හැමවිට ම වර්තමානයේ ජිවත් වීම තුළින් වඩාත් සුවදායක ජිවිතයක් ගත කළ හැකි වන බව. එසේ ජිවත් වන පුද්ගලයා පමණක් සතුටින් කාලය ගත තළ හැකි බව යි මෙයින් ප්‍රකට වන්නේ.

සැබවින් ම මෙය සනාතනික වූ සත්‍යයක් ම යි. අතිතය මෙහිදී අපට වැදගත් වන්නේ වර්තමානය සකසා ගැනීමට යි. එසේ නම් නව අවුරුදු උදාවත් සමඟ අප හැම කෙනෙක් ම අතීත ප්‍රත්‍යවේක්ෂාවක නියුතු වන්නට අවශ්‍ය කරනවා. ඒ කුමක් අරමුණු කරගෙන ද? ගත වූ අතීතය තුළ සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගෙන වර්තමානය වඩාත් සතුටින් ජිවත් විය හැකි වාතාවරණයක් ගොඩනඟා ගැනීමට යි.

එයින් කිසිසේත් අදහස් වන්නේ නැහැ මොහොතකටවත් අපි අතීතයට ගොස් ඒ අතීතයේ සිදු වූ අකුසල කර්ම හෝ අඩුපාඩු ගැන සිත සිතා තැවීමකට අවස්ථාවක් ඇති කර ගැනිමට. එහෙත් සැබවින් ම අපි බොහෝවිට පුරුදු වී සිටින්නේ අතීතය ගැන මෙනෙහි කරමින් අතීතයේ ජිවත්වීමට යි. මේ හේතුවෙන් මට අහවලා බැන්නා, රැවුවා, මා පැරැද්දුවා, පරාජයට පත් කළා, අවමනායට පත් කළා, මගේ දේ කඩාවඩා ගත්තා, මගෙන් ම කාලා බීලා යැපුණු අය දැන් මට සලකන්නේ නැහැ. ආදි වශයෙන් සිතෙන් අතීතය ගැන තැවි තැවී අසහනයට පත් වෙනවා වගේ ම නොයෙක් පාපකාරී අකුසල සිත් වඩමින් කාලය ගත කරනවා.

අතීත ප්‍රත්‍යවේක්ෂාවක් තුළින් අපේක්ෂා කරන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඒ අතීතය වර්තමානය ශක්තිමත් කර ගැනීමට ඒ අඩුපාඩු ඉවත ලා තෘප්තිමත් කර ගැනීමට යි අප විසින් ක්‍රියා කළ යුතු වන්නේ. මේ කාරණය බුදුරජාණන් වහන්සේ මැනවින් පැහැදිලි කර දෙන අවස්ථාවක් අපට හමු වෙනවා. කෙනෙක් සමාජයටත් තමන්ටත් අවැඩ විදියට ජිවත් වෙන්නට පුළුවනි.

මේ තැනැත්තා සමාජයෙන් කොන් වී කටයුතු කරලා සමාජයේ ගැරහුමට ලක් වෙන්නටත් පුළුවනි. මෙහෙම කල දවස ගෙවන මේ අයට කිසියම් අවස්ථාවක සමාජයෙන් හෝ තමාට අත්දැකීමෙන් වැටහීමක් නිසා හෝ මේ තත්වය අවබෝධ වීමෙන් පසු ඒ අය යම් වෙලාවක නිවැරැදි මඟට එන්නට ත් හැකියාව අති වුණා විය හැකි යි. අන්න ඒ අවස්ථාව යි ඒ ජිවිතයේ ඉතාමත් ම වැදගත් අවස්ථා වන්නේ. බුදුරජාණන් වහන්සේ එය උපමා කරනවා ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ වලාපටලයෙන් නිකුත් වූ පූර්ණ චන්ද්‍රයා මෙන් සමාජය තුළ උද්දිප්ත වන බව.

මෙයට අදාළ වන කතා පුවතක් අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින අවස්ථාවක එහි විසූ එක් භික්ෂූන් වහන්සේ නමක් දානය වළඳන, ශරීර කෘත්‍යය කරන වේලාව, ජලස්නානය කරන වේලාව, නිදන වේලාව යන අවස්ථාවන් හැර අන් හැම වෙලාවක ම උදේ සවස අතුපතුගෑම හෙවත් හැමදීම් කටයුතු සිදු කරනවා. මේ නිසා ම මේ හාමුදුරුවන්ට සම්මුඤ්ජනී(හැමදිම් කටයුතු සිදු කරන) යනුවෙන් පටබැඳී නමකුත් ව්‍ය‍වහාර වෙන්නට පටන් ගත්තා.

එහි තවත් රේවත නම් හාමුදුරු නෙකෙතුත් වැඩ විසුවා. මේ රේවත හාමුදුරුවන් වහන්සේ ඒ වනවිට රහත් බවට පත් වෙලයි සිටියේ. ඒ බවක් සම්මුඤ්ජනි හාමුදුරුවෝ දැන සිටියේ නැහැ. දවසක් දා සම්මුඤ්ජනි හාමුදුරුවෝ රේවත හාමුදුරුවන් වැඩ සිටි තැනට ගොස් මේ විදිහට චෝදනා ස්වරූපයෙන් කථා කළා. ” ඔබ වහන්සේ හරි ම කම්මැලි භික්ෂුවක්. සැදැහැවතුන් දෙන දානය වළඳා අලසකමින් ඉන්නේ නැතිව නරක ද මුස්නක් අරගෙන මලුපෙත් මං කොටසක් හැමදුවොත්.”? මේ විදිහට සම්මුඤ්ජනී හාමුදුරුවන් කතා කරන විට රේවත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා.”මලුපෙත් මං හැමදීම නම් හොඳ වතක් තමා. ඒ වුණ ත් ඊටත් ගැලපෙන වෙලාවක් තිබෙනවා. හැම වේලාවේ ම එය කළ යුතු වන්නේ නැහැ. උදෙන් ම හැමදීමත්, පසුව දන් වළඳා භාවනා කටයුතුවල යෙදීම ත්, ඒ වගේ ම සවස ත් ඒ විදිහට හැමද නැවත භාවනා කටයුතුවල යෙදිම ත් තමා සුදුසු වන පිළිවෙල වන්නේ” කියා.

ඉතින් මේ උපදේශය අනුව කටයුතු කරලා සම්මුඤ්ජනී හාමුදුරුවෝ හැමදීම ත්, භවනාව ත් දෙක ම සිදු කරමින් කලක් ගත වෙන කොට උන්වහන්සේ රහත් බවට පත් වුණා. මේ අවස්ථාවේ දී එදා එම ජේතවනාරාමයෙහි වැඩ විසූ අනකුත් භික්ෂුන් වහන්සේලා සම්මුඤ්ජනී හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කර සිටියා කුමක් නිසා ද දැන් ඉස්සර වගේ දවසේ වැඩි කාලයක් හැමදීම නොකරන්නේ කියලා. මේ අවස්ථාවේ සම්මුඤ්ජනී හාමුදුරුවෝ ප්‍රකාශ කළා දැන් තමන් වහන්සේ සුදුසු අවස්ථාවේ පමණක් හැමදීම කටයුතු සිදු කරන බව ත් අනෙක් ඉඩ ලැබෙන හැම වේලාවක ම නුවණින් යුක්ත ව නො පමාව ක්‍රියා කරන බවත්, ඒක බොහොම ප්‍රයෝජනවත් පිළවෙතක් බවත්,

ඒ අවස්ථාවේ එම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සම්මුඤ්ජනී හාමුදුරුවෝ දැන් රහත් බවක් අඟවනවා කියා දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සම්මුඤ්ජනී හාමුදුරුවෝ මේ වනවිට රහත් බවට පත්වෙලා පලසමවත් සුවයෙන් කාලය ගත කරනවා. ඒ වගේ ම තමා යම් කිසි පුද්ගලයෙක් මුල් අවස්ථාවේ දී ප්‍රමාද ගති ඇතිව ජිවත් වෙලා පසුව තමාගේ ඒ ප්‍රමාදය අවබෝධ කර ගෙන ඒ සඳහා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනය හෝ ලබා ගෙන අප්‍රමාදිව ක්‍රියා කළොත්, එහෙමත් නැතිනම් ඉදිරි කෙටි කාලය වුවත් නුවණින් විමසා බලා යෝනිසෝ මනසිකාරයෙන් ජිවිතය පවත්වා ගෙන ගියොත් රහත් බවට පවා පත්වීමේ හැකියාව උදාකර ගැනීමේ ශක්තිය ඇති කර ගන්නවා කියලා.

මෙම කතා පුවතට අනුව ප්‍රමාදය කියලා කියන්නේ අනුවණින් ක්‍රියා කිරීම යි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් යුක්ත ව සතිය පිහිටුවාගෙන ජිවිතය අප්‍රමාදී ව පවත්වා ගෙන යාම යි

මේ කතාපුවත අතිශයින් වැදගත් වන්නේ අපේ ජිවිත පවත්වාගෙන යාමේ දී පාප මිත්‍ර ආශ්‍රය නිසා හෝ දැනුමෙන් තේරුමෙන් මුහුකුරා නො යාම නිසා හෝ අසත්පුරුෂයන් වාසය කරන ප්‍රදේශවල ජිවත් විම නිසා හෝ විවිධ බලපෑම් හේතුවෙන් විවිධ සාපරාධි ක්‍රියාවන්ට යොමු වන, නිකරුණේ තම වටිනා කාලය විනාශ කර ගන්නා උදවිය ගැන අපට අසන්නට ලැබෙනවා.

එවැනි තොරතුරු විවිධ මාධ්‍යයන් ඔස්සෛ් දැන ගන්නට ලැබෙනවා. එවැනි අවස්ථාවල ඔවුන් සමාජය ඉදිරියේ විවිධ වැරදිවලට චෝදනාවන්ට ලක් වීමෙන් නීතියේ රැහැණට හසු වීමෙන් සිරබත් කෑමට හෝ වෙනත් දණ්ඩනයන්ට භාජන වීමට ත් ඉඩ තිබෙනවා. අපේ සමාජයේ බොහෝ දෙනා එවැනි අවස්ථාවල ඒ උදවිය සමාජයේ ගැරහුමට නින්දාවට හෝ අපහාසයට හෝ උපහාසයට ලක් කර සමාජයේ කොන් කිරීමටත් කටයුතු කරනවා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දහම පෙන්වා දෙන්නේ ඊට ඉඳුරා ම වෙනස් මඟක් ගත් දර්ශනයක්. බුදු දහමෙන් අපේක්ෂා කරන්නේ සමාජයේ සෑම අයකු ම සුචරිතවත් භාවයට පත් කරලිමට යි. එහි දී යම් අයෙක් කෙතරම් වැරදි මග ගියත්, සිර ගෙවල්වල ගත කර සිටියත් යම් අවස්ථාවක ඔවුන් නිවැරැදි මඟ තෝරාගත් විට එයින් මුළුමහත් සමාජයට ම යහපතක් වනවා වගේ ම ඒ තැනැත්තා ද සමාජයේ ප්‍රභුත්වයට පත් වී සැනසිලි දායක ජීවිතයක් ගත කරනවා ඇති. ඉතින් තමන්ගේ ගත වෙන ජිවිතයේ වැදගත් කඩඉමක් ලෙස අවුරුද්දක් අවසන් වී තවත් අවුරුද්දක එළඹුම පෙන්වා දිය හැකි අතර ඒ කඩඉම් අවස්ථාවේ ගත වූ අවුරුද්දේ තමන්ගේ ජිවිතයේ එවැනි සිදුරු ඇති තැන් විමසා බලා එළඹෙන වර්ෂය ඒ අඩුපාඩුවලින් තොර වූ ජිවන කාලයක ආරම්භය බවට පත් කර ගැනීම යි මෙහි දී පෙන්වා දිය යුතු වන්නේ.