Print this Article


බණ දෙසන - බණ අසන සිරිලක පැරැණි පිළිවෙත

බණ දෙසන - බණ අසන සිරිලක පැරැණි පිළිවෙත

ධර්මය දේශනා කිරීම ධර්මදානයකි

ධර්ම දානය පුරාණයේ සිට ක්‍රම තුනක් මඟින් සිදුවිය. ඒ මෙසේ ය.

ධර්මය දේශනා කිරීම

අද දේශකයාණන් කෙනකු විසින් පිරිසකට දහම් දෙසීම හෙවත් බණ කීම කෙරෙන ආකාරයට අතීතයේ දී ද එසේ සිදු විය.

දහම් පොත් කියවීම

දහම් පොත් කියවන ලද්දේ පිරිසකට ඇසීම සඳහා ය. පුරාණයේ දී අකුරු නොදන්නෝ වූහ. එම පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා අකුරු දන්නා කෙනෙකු විසින් ජාතක පොත, වෙස්සන්තර ජාතකය වැනි පොත් කියවන ලදී.

දහම් පොත් ලිවීම

දහම් පොත් ලිවීම ද වටිනා ධර්ම දානයකි. දේශනා කරන ධර්මයට වඩා වැඩි කාලයක් පවතී. එසේ ලියන ලද දහම් පොත්වලට අතීතයේ දී මහත් ගෞරවයක් හිමි විය. පූජාවලිය රචනා කර එය ඇතකු පිටින් පෙරහරකින් වැඩම කරවූ බව ප්‍රකට ය.

භික්ෂූන් වහන්සේ ගිහි පිරිසට දහම් දෙසූහ. එය හුදෙක් තමන් ලබන ප්‍රත්‍ය ආදිය හෝ ලාබ ප්‍රශංසා හෝ වෙනුවෙන් කරනු ලබන්නක් නොවේ.

ධර්ම දේශනා විවිධ අරමුණු නිමිති කරගෙන ද පවත්වනු ලැබේ.

මඟුල් බණ

උපසම්පදාවට පත් භික්ෂූන් වහන්සේ නමක් විසින් පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනය මඟුල් බණ නමින් හැඳින්වේ.

මතක බණ

පාංශුකූල චීවරය පූජාකරන අවස්ථාවේ දී සහ සත්දින, තුන්මස, මියගිය අය වෙනුවෙන් ඔවුන්ට පින්දීමට කරන ධර්ම දේශනා ය.

කඨින බණ

වස් කාලයේ දී විහාරස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කිරීම වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනයකි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලෞකික ජීවිතය හැඩ ගැසෙනවා පමණක් නොව විමුක්ති මාර්ගය ද උදාකර ගැනීමට හැකි ය. පුරාණයේ භික්ෂූන් වහන්සේ පමණක් නොව සමහර රජවරු ද ධර්ම දේශනා පැවැත්වූහ. එසේ කරන ලද්දේ ධර්ම දේශනා පැවැත්වීමෙන් මහත් පුණ්‍ය සම්භාරයක් ලබාගත හැකි බැවිනි. පස්වන අග්බෝ රජතුමා රට වැසියන්ට ලොව්තුරු සැප ලබාදෙනු සඳහා දහම් දෙසූ බව මහා වංසයෙහි සඳහන් වෙයි.

ධර්ම දේශනය

ධර්ම දේශනාවකට පෙර එම ස්ථානය පිරිසුදු කර ගොක් කොළ රැහැන් ඇද ආරුක්කුවකින් සැරසීම සාමාන්‍ය පිළිවෙතයි. ධර්ම දේශනාව පවත්වන ස්ථානයේ උඩු වියනක් බැඳීම දේශකයාණන් වහන්සේට මෙන්ම ධර්මයට සිදුකරන මහත් ගෞරවයකි.

ධර්මාසනය උස් අසුනක් විය යුතු ය. එය මත සුදු ඇතිරිල්ලක් එළනු ලැබේ.

පුරාණ විහාරස්ථානවල ධර්ම ශාලාවල ඒ සඳහාම පිළියෙළ කරන ලද ධර්මාසන තිබිණි. ධර්මාසනය අසල ද කුඩා අසුනක් තබන ලදී. එය මත ද සුදු ඇතිරිල්ලක් අතුරා එහි පැන් වීදුරුවක් තැබිය යුතුය. එම පැන් දේශකයාණන් වහන්සේට අවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ය.

පුරාණ කාලයේ දී දේශකයාණන් වහන්සේ ශබ්ද පූජා සහිතව ධර්මාසනය වෙත වැඩමවන ලදී. උන්වහන්සේ පා දෝවනය කිරීමෙන් පිළිගැනීම බොදු පිළිවෙතයි. ධර්මාසනයෙහි වැඩ හිඳින දේශකයාණන් වහන්සේ පැමිණ සිටින පිරිස සාධුකාරයෙන් පිළිගනිති.

දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවට පෙර රැස්ව සිටින පිරිසට ධර්මශ්‍රවණය සඳහා සාධුකාර පවත්වා සූදානම් වන ලෙස දන්වති.

මෙහිදී ධර්මාසනය සමීපව උපාසක මහතෙක් ද වාඩිවෙයි. ධර්ම දේශනය බොහෝ විට සාකච්ඡා මාර්ගයෙන් ද පැවැත්වේ. එවැනි අවස්ථාවලදී දේශකයාණන් වහන්සේට පිළිවදන් දීම ඔහුගේ සිරිතයි. මෙම පිළිවදන අද තවමත් ගම්බද පළාත්වල පවතී. එම පැරැණි පිළිවෙත ආරක්ෂා කර ගැනීමට වර්තමානයේ සිටින සෑම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුය.

ධර්මාසනයේ වැඩ හිඳින දේශකයාණන් වහන්සේ පළමුව නමස්කාරය කීමට දන්වති.

එයින් පසුව පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවනු ලැබේ. ඊළඟට දේශකයාණන් වහන්සේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියන්ට ආරාධනා කරති.

ඒ මෙසේය “සමන්තා චක්කවාලේසු – අත්‍රාගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනිරාජස්ස – සුනත්තු සග්ග මොක්ඛදං යනුවෙනි

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියෝ මෙහි පැමිණෙත්වා

යනු එහි සාමාන්‍ය අදහස ය. එයින් පසුව දේශකයාණන් වහන්සේ කාල ඝෝෂණය පවත්වති.

“ධම්මස්සවණ කාලෝ අයං භදත්තා”

යනුවෙන්. එම පාඨය තෙවරක් දේශනා කරති.

පින්වත්නි. මෙය දහම් ඇසීමට කාලයයි. යනු එහි අදහස ය. ඊළඟට දේශකයාණන් වහන්සේ, “නමෝ තස්ස භගවතෝ අරහතෝ යන පාඨය ද තෙවරක් ප්‍රකාශ කරති.

මෙහිදී ශ්‍රාවක පිරිස සාධුකාර පවත්වති. ඒ සමඟ ඉදිරිපත් කරන්නේ දේශනාවට අදාළ ධර්ම පාඨයයි. එය පාලි ගාථාවකි. ගාථා ධර්මයෙන් පසුව පිරිස ධර්ම ශ්‍රවණයට සූදානම් කිරීම සඳහා කෙටි අනුශාසනාවක් දේශනා කරති.

සුනාථ ධාරේථ චරාථ ධම්මේ යනුවෙන් ධර්මය හොඳින් අසා, එය සිතේ හොඳින් ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන්න යන අවවාදය පිරිසට මතක් කර දෙයි. ධර්මය දේශනා කිරීමේ අරමුණ ද පිරිස ධර්ම ශ්‍රවණය කරන ආකාරය ද මෙහිදී සිහිපත් කරනු ලැබේ.

ඊළඟට නැවත වතාවක් දේශකයාණන් වහන්සේ ධර්ම දේශනා මාතෘකා පාඨය දේශනා කරති. මාතෘකාවට අදාළ නිදාන කතාව දක්වා ආදර්ශවත් කරුණු ජීවිතයට අදාළ කර ගන්නා ආකාරය ද පැහැදිලි කරති. ධර්ම දේශනාව රසවත් ව ඉදිරිපත් කිරීම සඳහා ඒ අතර රසවත් කතා පුවත් ද දක්වති.

ධර්ම දේශනය අවසානයේ දී එහි සාරාංශය ඉදිරිපත් කරනු ලැබේ.

ඤාතීන්ට පින්දීම

ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ” මෙම පාඨය තෙවරක් ප්‍රකාශ කරති. මේ පින් සියලු ඤාතීන්ට ලැබේවා ඒ හැම සුවපත් වේවා

ධර්ම ශ්‍රවණය

දහම් දෙසීම නැතහොත් බණ කීම භික්ෂූන් වහන්සේ සතු කාර්යයකි. ධර්ම ශ්‍රවණය දායක දායිකාවන් සතු කාර්යයකි. දහම් දෙසීමෙන් ධර්ම දේශකයාණන් වහන්සේට ධර්ම දානයේ පින හිමි වෙයි. ධර්ම ශ්‍රවණය කරන පිරිසට බණ ඇසීමේ පුණ්‍ය ඵලය හිමිවෙයි.

ධර්ම ශ්‍රවණය සඳහා ධර්ම ශාලාවට හො එම ස්ථානයට පැමිණෙන පින්වතුන්, හිස්වැසුම්, පාවහන් ඉවත් කර ඊට සහභාගි විය යුතුය. එය ධර්මයට කරන ගෞරවයයි.

බණ අසන පිරිස පැදුරු හෝ යම් ඇතිරිල්ලක් එළාගෙන බිම වාඩි විය යුතු ය. ධර්ම දේශනාව ආරම්භ කළ පසු ස්ථානයෙන් නැගිට යෑම, නැවත පැමිණීම , කථා බහ කිරීම ආදිය ධර්ම දේශනයට බාධාවකි.

බණ ඇසීම ආරම්භයේ සිට අවසානය දක්වා කළ යුතු ය. අතරමගදී ධර්ම ශ්‍රවණය ඇරඹීම නියම බණ ඇසීමක් නොවේ.

ධර්ම ශ්‍රවණය පස්වන සියවසේ දී බහුලව සිදුවූ ජනපි‍්‍රය පිළිවෙතක් වූ බව පාහියන් භික්ෂූන් වහන්සේ ගේ චාරිකාවේ සඳහන් වෙයි. එකල ධර්ම ශ්‍රවණය සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ද ධර්ම ශාලා ඉදිකර තිබිණි. ඒවායේ පැවැත්වූ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා ඉතා දුර පළාත්වල සිට පවා ගිහියන් පැමිණී අතර, භික්ෂූන් වහන්සේ ද වැඩම කළ බව සඳහන් වෙයි.

මෙයින් අපට පැහැදිලි වන්නේ ධර්ම ශ්‍රවණය සඳහා සිව්වනක් පිරිසම සහභාගි වූ බවයි. වර්තමානයේ ද ධර්ම ශ්‍රවණයට භික්ෂූන් වහන්සේලා කිහිප නමක් හෝ සහභාගි වන්නේ නම් එය ගිහි පිරිසකගේ සිත් පහදවන්නකි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ රාත්‍රි පහන් වන තුරුම ධර්ම දේශනා පැවැත්වු බව සඳහන් ය. දෙවන දාඨෝප තිස්ස රජතුමා පොහොය දිනවලදී සිල් සමාදන්ව ධර්මය දේශනා කළ බව මහාවංසයේ සඳහන් වෙයි.

සද්ධාතිස්ස රජතුමා මිහින්තලයේ දී සිටගෙනම කාලාම සූත්‍රයට ඇහුම්කන් දුන් බව සඳහන් ය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී රාත්‍රී පහන්වන තුරුම ධර්ම දේශනා කළ බව සඳහන් වෙයි. එම සිරිත ලංකාවේ ද පැවතුණි.

ධර්ම සාකච්ඡාව මංගල කරුණක් බව මහා මංගල සූත්‍රයේ දි සඳහන් වෙයි. “කාලේන ධම්ම සාකච්ඡා එතං මංගල මුත්තමං” ධර්ම දේශනාව අවසානයේ දී ශ්‍රාවක පිරිස දේශකයාණන් වහන්සේට පිරිකර පූජාවක් කරයි. ඊට පෙර පිරිස ලවා එම පිරිකර අතගස්වනු ලැබේ. පිරිකර භාරගත් දේශකයාණන් වහන්සේ පිරිකර පූජා කිරීමේ ආනිශංස දක්වා පින් අනුමෝදනාවක් කරති. අවසානයේ දි දේශකයාණන් වහන්සේ විහාරස්ථානයට වැඩම කිරීමට සූදානම් වෙති. මෙහිදී වෙනත් කෙනකු පූජා භාණ්ඩ රැගෙන උන්වහන්සේ පසු පස ගමන් කරති. එය විහාරස්ථානයට ගෙන ගොස් භාරදීම බොදු පිළිවෙතයි. නැතහොත් දේශකයාණන් වහන්සේ වැඩම කළ වාහනය තුළ තැබීම ද කරති. නිවසක නම් ධර්ම දේශනය අවසානයේ දී පැමිණි පිරිසට ද සංග්‍රහ කිරීම සිරිතකි.

ධර්ම දානය සියලු දන් පරද යි
ධර්ම රසය සියලු රස පරදයි
ධර්මයේ ඇලීම සියලු ඇලීම් පරදයි
තණ්හාව නැසීමෙන් සියලු දුක් පරදයි