Print this Article


යෞවන මදයෙන් මිදෙන්නට නම්

යෞවන මදයෙන් මිදෙන්නට නම්

තරුණ වියෙහි ඇතිවන ‘යෞවන මදය’ නිවනට බාධා පමුණුයි. එම තත්වයෙහි ස්වභාවය නම් අන්‍යයෝ මහලු ලෙස නිතර සිතීමත්, ඔවුන්ගේ පැසුණු රැවුල් හිසකෙස් ආදිය පිළිකුල් කරමින් තමාගේ යෞවනත්වය මත මත්වීම යි.

ජාතක පාලියෙහි දැක්වෙන්නේ

“යෙ වුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කොවිදො
දිට්ඨෙව ධම්මේ පාසංසා - සම්පරායේ ච සුග්ගති”

යම්කිසි පුද්ගලයකු වැඩිහිටියන්ට ගරු කරන්නේ නම්, එය මරණින් මතු සුගතිකාමි වීමට හේතු වන බවයි.

යොවුන් මදයට පත්වීම වත්මන් තරුණ පරපුරෙහි ද දැකිය හැකි ස්වභාවයකි. යෞවන මදය තුළින් නිරන්තරයෙන් අන්‍යයන් පහත් කොට තමා පමණක් උසස් යන මානසිකත්වය වැඩෙන අතර, එය පශ්චාත්කාලීන ව මානසික දුබලතාවයට ද හේතු වේ.

යෞවන මදයෙහි ස්වභාවය පිළිබඳව පෙළෙහි විවිධ සූත්‍රවල දක්නට ලැබේ. අංගුත්තර නිකායෙහි පඤ්චක නිපාතයෙහි ඨාන සූත්‍රයෙහි තුරුණු විය නිමිති කරගෙන කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මානසික දුශ්චරිතය, ඇති වන බව දැක්වේ.

නූතන තාරුණ්‍යය දෙස බැලීමේ දී මත්ද්‍රව්‍ය භාවිතය, ස්ත්‍රී දූෂණ ආදි අපචාර වලට ඇතැම් තරුණයින් යොමු වී ඇත්තේ මෙම තත්වය මුල් කොට ගෙන බව පෙනේ. යෞවනත්වය නමැති ස්වභාවය අන්‍යයන් පහත් කොට සැලකීම සඳහා යොදාගැනීම තුළින් සමස්ත ජාතියක් වුව ද විනාශ මුඛයට පත්විය හැක.

ඨාන සූත්‍රයෙහි පුද්ගල මදයන් ප්‍රහීණ වීමට අවැසි ක්‍රමවේදය දක්වා ඇත. යම් පුද්ගලයකුට එම මදයන් ආශ්‍රයෙන් හටගත් මානසික ස්වභාවය දුරුකිරීමට නම්, තමා ජරා ස්වභාවය ඇති අයකු බව හා එයට තමා ද පත්වන බව සිතිය යුතු ය. තමා ව්‍යාධි ස්වභාවය ඇති අයකු බවත්, එයට තමා ද පත්වන බවත් සිතිය යුතු ය. තමා මරණයට පත්වන ස්වභාවය ඇති අයකු බවත් එයට තමා ද පත්වන බව, තමා කර්මය දායාද වී ඇති අයකු බවත්, නිතර මෙනෙහි කළ යුතු ය.

යෞවන මදයට පත්ව ඇති අයකුට එයින් දුරුවීමට ශරීරයෙහි යථා ස්වභාවය මෙනෙහි කිරීම මනා ක්‍රමවේදය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. ඨාන සූත්‍රයෙහි එය දැක්වෙන්නේ තමා “ජරා ස්වභාව ඇතියෙම්. ජරාව තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර නුවණින් මෙනෙහි කටයුතුය යනුවෙනි.

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ යෞවන මදය පාලනය කර ගත් ආකාරය පිළිබඳ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සඳහන් වේ. එහි දැක්වෙන පරිදි “අශ්‍රැතවත් පෘථග්ජනයා ජරාව ස්වභාව කොට ඇත්තේ මය. ජරාව නොඉක්ම වූයේ ම ය. ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වන්නේ ය. ලජ්ජිත වන්නේ ය. පිළිකුල් උපදවන්නේ ය. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙමි. ජරාව නො ඉක්ම වූයෙමි යි. ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නේ නම්, එය මට නිසි නො වන්නේ ම ය.

මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන්විය නිමිති කොට යම් යෞවන මදයෙක් වී ද, එය සර්වප්‍රකාරයෙන් ප්‍රහීණ විය”.

පාරමි සම්පූර්ණ කරන බෝධිසත්වරුන්ට ද මෙම තත්වය ප්‍රහීණ කිරීමට ඇති මඟ නම් ශරීරයෙහි ජරාවට පත්වීමාදිය මෙනෙහි කිරීමයි.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ද නිවනට බාධා පමුණුවන යෞවන මදය දුරු කිරීමට මඟ පෙන්වීම සිදු කර තිබේ. අංගුත්තර නිකායෙහි දුතිය අනාගත භය සූත්‍රයෙහි දී භික්ෂූන් වහන්සේලාට නිර්වාණය පිණිස අවැසි මෙනෙහි කළ යුතු කාරණා පෙන්වා දී ඇත. “මෙ සස්නෙහි මහණ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි. මම මෙ කල දහරයෙම්, තුරුණුයෙම්, මනා කළු කෙහෙ ඇතියෙම්, සොඳුරු යොවුනෙන් සමන්වාගතයෙමි. යම් හෙයකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් වීර්ය වැඩේහ.” මේ අයුරින් බොහෝ සූත්‍රවල තරුණ භික්ෂූන් වහන්සේලාට රූපයෙහි ආදිනව මෙනෙහි කිරීමට උපදෙස් දී ඇත්තේ තාරුණ්‍යයත් සමග ඇති වන කාමයට ගිජු මානසික වෙනස්වීම් හේතුවෙනි.

බුදු සමය තාරුණ්‍යය මැනවින් හඳුනාගත් දහමකි. තරුණ වියෙහි සිතිවිලි මනා සංයමයකින් යුතුව බුදු සමය හඳුනා ගත් බව බුද්ධ කාලීන ඇතැම් සිද්ධි ආශ්‍රයෙන් පැහැදිලි වේ.

එදා ජනපද කල්‍යාණිය නිසා මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි නන්ද කුමරුට රූපයෙහි ආදිනවය පෙන්වීමට බුදුන් වහන්සේ යෙදූ උපක්‍රමය තුළින් තරුණයාගේ සිතිවිලි බුදුන් වහන්සේ මනා ලෙස අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබා දීමට උත්සහ ගත් බවට සාධකයකි.

නන්ද කුමරුට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරවීමට ධර්ම දේශනා කිරීම උචිත නොවන බව බුදුන් වහන්සේ දැනගත් නිසා එසේ උපක්‍රමශීලීව ධර්මාවබෝධය ලබා දී ඇත. බුදුරජාණන් වහන්සේ තරුණ භික්ෂූන් වහන්සේලා සුළු වරදින් පවා මුදවා ගැනීම වෙනුවෙන් විවිධ ශික්ෂාවන් පනවා ඇති අයුරු විනය පිටකයෙහි දැක්වේ.

මිනිස් ජීවිතයෙහි ප්‍රබෝධමත් ම අවධිය ලෙස තරුණ අවධිය හැඳීන්විය හැකි අතර මෙම අවධිය පිළිබඳ පුළුල් වූ අර්ථකතනයක් බුදුසමය සපයා ඇත. අන්‍ය චින්තනයන්ට වඩා තරුණ්‍යයෙහි මානසික චින්තනය මැනවින් විමසීමට බුදුසමය උත්සාහ ගෙන තිබේ.

බෞද්ධ ඉගැන්වීම් තුළ තරුණ පිරිස් සඳහා තම ආධ්‍යාත්මික ජීවිතය සකස් කරගන්නා ආකාරයත්, ගිහි ජීවිතය මනාව සකසා ගන්නා ආකාරයත් මැනවින් සාකච්ඡා කර ඇත. බුදුරජාණන් වහන්සේ තරුණ වියෙහි සිතිවිලි මැනවින් හඳුනාගත් ශාස්තෘවරයෙකි.

බුද්ධ ශාසනයෙහි ඵල ලබා ගැනීමට එදා සිට අද දක්වාම බොහෝ තරුණ පිරිස් යොමු වෙති. බුද්ධ කාලීන දහස් ගණනක් වූ තරුණ භික්ෂූ, භික්ෂූණින් වහන්සේලා මනාව හික්මවා ගැනීමට බුදුන් වහන්සේ සමත් වූයේ තාරුණ්‍යයෙහි පවතින මානසික ස්වභාවය හඳුනාගත් බැවිනි. එනිසාම තුරුණුවිය නිසා ඇතිවන මදය තුළින් නිවනට සිදුවන ප්‍රමාදය වැළැක්වීමට බුදු සමය මඟ පෙන්වා ඇත. අප, යොවුන් මදය නිවනට බාධා පමුණුවන ආකාරය මනාව අවබෝධ කරගෙන නිවන් මඟ ශක්තිමත් කරගැනීමට උත්සාහ කළ යුතු වේ.