Print this Article


පරිසරය රැක ගැනීමේ බුදු සිරිතේ ආදර්ශය

පරිසරය රැක ගැනීමේ බුදු සිරිතේ ආදර්ශය

"බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් ධර්මය හරිහැටි තේරුම් ගන්නේ නැති නම් එය බොහෝ දෙනාට අනර්ථය පිණිස පවතින බවයි."

සොබාදහම යනු අප අවට ඇති පරිසරය යි. ගස්වැල්, ඇළ දොළ, සතා සිවුපාවා මෙන්ම අප ද සොබා දහමේ නිර්මාණයෝ ය. සොබාදහමේ උපකාරය නොමැතිව අපට ජීවත් වීමට නොහැකී සේ ම අප හා සියලු සත්ව කොට්ඨාසයන් ගෙන් තොරව සොබාදහමක් ඇතිවන්නේ ද නැත.

සොබාදහම හා අප අතර ඇති බැඳීම ගහට පොත්ත හා පොත්තට ගහ වැනි සබඳතාවකි. සොබාදහම පිළිබඳ කතාකිරීමේ දී බුදු දහම තුළින් ඊට ලැබෙන රුකුල අති විශාලය. මෙයට හේතුව නම් ලෝකයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා වන්නේ බුදුරජාණන් වහන්සේ වීමයි.

බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයෙන් මෙන්ම උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තුළින් සොබාදහම හා අප අතර ඇති බැ¼දීම දකින්නට පුලුවන්. බුදුරජාණන් වහන්සේ සෑම විටම කටයුතු කළේ පරිසරය ඇසුරු කරගෙන. උන්වහන්සේ විසින් ලෝකයාට ධර්මය ලෙස දේශනා කරන ලද්දේ ද සොබාදහමේ ම යථාර්ථයයි.

දිවා රෑ පින් වැඩෙන පින්කම්

බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වී පළමුකොටම ලෝකයාට පෙන්වා දුන් ආදර්ශය වන්නේ පරිසරයට ගෞරව කිරීමයි. තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට අව්වෙන්, වැස්සෙන්, පින්නෙන්, ආරක්ෂා කරන ලද්දේ සිත් පිත් නැති බෝධි වෘක්ෂයයි. මේ අයුරින් බුද්ධත්වය ලබා ගැනීමට පිහිට වූ බෝධීන් වහන්සේට ඇසිපිය නොහෙළා සතියක් මුළුල්ලේ බලා හිඳීමින් උන්වහන්සේ විසින් ගෞරව කරන්නට යෙදුණි. මෙය බුද්ධ චරිතයෙන් අපට හමුවෙන පළමු ආදර්ශය මෙන්ම පළමු ඉගැන්වීම වෙනවා.

බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සොබාදහම ආරක්ෂා කිරීම සොබාදහමට ආදරය කිරීම ඉතා හොඳ පින්කමක් බවයි. එක්තරා දවසක බුදුන් වහන්සේ වෙත පැමිණි දෙවි කෙනෙක් බුදුරදුන්ගෙන් විමසනවා ස්වාමීනි කවරෙකුට නම් දිවා රාත්‍රී පින් වැඩෙත් ද? කවරනම් සිල්වතෙක් සුගතිගාමී වෙයි ද? ඒ වෙලාවෙ බුදුන් වහන්සේ දේශනා කරන්නේ

ආරාම රෝපා වන රෝපා - යේ ජනා හේතුකාරකා

පපංච උද්‍යානංච - යේ දදන්ති උපස්සයං

තේසං දිවාච රත්තෝ ච, සදා පුඤ්ඤං පවඩ්ඪති

එනම්, යමෙක් මල් පැළ සිටුවීම, ඒදඬු පාලම් කරවීම, පැන් හල් පොකුණු ආදිය තැනවීම ආදිය සිදුකරයි ද එබඳු පුද්ගලයාට දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩේ. එබඳු සිල්වත් ගුණ ඇත්තා සුගතිගාමී වෙයි යනුවෙනි.

මේ තුළින් බුදුරජාණන් වහන්සේ වදාළේ පරිසරයට ආදරය කිරීම යහපත් කටයුත්තක් බවයි. ඒ වගේම බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට විනය ශික්ෂා පැනවීමේ දී ද උපසපන් භික්ෂූන් විසින් පරිසරයට හානි නොකළ යුතු බව දේශනා කොට තිබේ.

උපසපන් භික්ෂුවක් තණකොළ ගසක් හරි ගලවා දැමීම පචිති ඇවතක් වන බව බුදුරජාණන් වහන්සේ දක්වා තියෙනවා. ඊට අමතරව ගංගා ඇළදොළ වලට මළමුත්‍රා කිරීමත් බුදුරදුන් විසින් භික්ෂූන්ට තහනම් කොට තියෙනවා .

සිත සංවර කර ගන්නට හොඳම තැන

බුදුහාමුදුරුවෝ ජීවිතයේ වැඩි කොටසක් වැඩ සිටියේ පරිසරය ඇසුරු කරගෙන. ඒ සඳහා ඕනෑ තරම් නිදර්ශන බුද්ධ චරිතය තුළින් දැක ගන්නට පුළුවන්. පාරිලෙය්‍ය වනය, ජීවක අඹ වනය, වේළුවනය, අනෝමා ගංතෙර ආදී කොට ගත් බොහෝ අරණ්‍ය හා ජලාශ ආශ්‍රිතව උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිට තියෙනවා. සියලුම සැප සම්පත් වලින් යුතු සිද්ධාර්ථ කුමරා තමාට බුදු බවට පත්වීම සඳහා තෝරා ගත්තේ ද ස්වභාවික පරිසරයයි.

එයට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ විමුක්තිය ලැබීමට සුදුසුම පරිසරය ඇත්තේ සොබාදහම තුළ බවයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරන්නේ විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයාට සිදු කරන්න පුළුවන් යහපත්ම දේ නම් ආරණ්‍ය ගත වී හාවනා කිරීම බවයි. සොබාදහම තුළ ඇති වන ගස් කොළන් සුළඟට සෙලවීමේ හඬ, කුරුල්ලන්ගේ විවිධ නාදයන්, විවිධ සතාසිව්පාවන්ගේ නාදයන් අසන්නට ලැබුණත් ඒ තුළින් කිසිම වේලාවක අපගේ මනසට නොසන්සුන් බවක් දැනෙන්නේ නැහැ. එය කනට මිහිරකි. මේ නිසා සොබාදහම තුළින් ඇති කරන මිහිරියාව අපේ සිත සංවර කරනවා. මේ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ සිත සංවර කර ගැනීමට ලේසිම ක්‍රමය වන්නේ සොබාදහම සමඟ එක්වීම බවයි. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී භික්ෂූන්ට දේශනා කරන්නේ ආරණ්‍ය, රුක්මුල්, සේනාසන යන ස්ථාන තුන භික්ෂූන් විසින් ඇසුරු කිරීමට කැප ස්ථාන බවයි.

මේ ස්ථාන තුන අතුරින් සේනාසන කියන ස්ථානයට වඩා ආරණ්‍ය, රුක්ඛමූල කියන ස්ථාන දෙක සොබාදහම එක්ක ඉතාමත් කිට්ටුයි. නමුත් උන් වහන්සේ කිසිම අවස්ථාවක දී දේශනා කර නැහැ සේනාසනයක වාසය නොකළ යුතු බව. මේ කරුණු වලට අමතරව සොබාදහම සමඟ බුදුහාමුදුරුවෝ කොච්චර සමීපව වාසය කළා ද කියන්නට හොඳම උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන විට මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු තැන් තේරුම් කරවීමට යොදාගත් සරල උපමා පෙන්වා දෙන්න පුලුවන්. බුදුහාමුදුරුවෝ හැමතිස්සේම බණ අහන අයට යම් යම් දේ තේරුම් කිරීම සඳහා උපමා යොදාගත්තේ අපට සොබා දහම තුළ අසන්නට, දකින්නට ලැබෙන ස්වභාවික සිදුවීම් ය.

සොබා දහමෙන් උපමා උපමේය

එක්තරා අවස්ථාවක බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණි භික්ෂු කණ්ඩායමක් අරමුණු කොටගෙන තමන් වහන්සේගේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ගෙන් මෙසේ විමසන්නට යෙදුණහ. මහණෙනි. මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය ද විශාල නැති නම්, මහ පොළොවේ තිබෙන පස් ප්‍රමාණය ද? එයට පිළිතුරු වශයෙන් භික්‍ෂු පිරිස බුදු හාමුදුරුවන් අමතා පවසන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ නියපිට තිබෙන්නේ පස් ස්වල්පයක් නමුත් මහපොළොවේ තිබෙන පස් ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක් බවයි. ඒ අවස්ථාවේ දී බුදු හාමුදුරුවෝ නැවත පිළිතුරු දෙමින් වදාරන්නේ මහණෙනි මම මෙතෙක් ඔබලාට දේශනා කළ ධර්මයේ ප්‍රමාණය හරියට මාගේ මේ නියපිට තිබෙන පස් ප්‍රමාණය වගේ නමුත් මා විසින් දේශනා නොකරන ලද ධර්මයේ ප්‍රමාණය මේ මහ

පොළොවේ තිබෙන පස් ප්‍රමාණය හා සමාන බවයි.

මෙහිදී බුදු හාමුදුරුවෝ එම කාරණාව භික්ෂූන්ට පෙන්වා දෙන්නට උපමා කර ගත්තේ ද මේ සොබාදහමේ තිබෙන වස්තූන් ය.

ධර්මය හරියට සර්පයෙක් වගෙයි

බුදුහාමුදුරුවෝ තවත් අවස්ථාක දී දේශනා කරනවා මේ ධර්මය හරියට සර්පයෙක් වගේ කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් ධර්මය හරිහැටි තේරුම් ගන්නේ නැති නම් එය බොහෝ දෙනාට අනර්ථය පිණිස පවතින බවයි. මොකද අපි සර්පයාගේ වලිගයෙන් අල්ලගත්තොත් සර්පයා අපිට දෂ්ට කරනවා. අපි සර්පයාගේ කඳෙන් අල්ල ගත්තොත් ඒ අවස්ථාවේදීත් අපිට දෂ්ට කරනවා.

ඒත් අපි සර්පයාගේ ඔළුවෙන් අල්ලගත්තොත් ඌට දෂ්ට කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි ධර්මය නිවැරදිව අවබෝධ කරගත යුතු බවයි. වර්තමානයේ ධර්මය පිළිබඳ විවිධ මත භේද ඇති වෙලා තියෙන්නෙත් මෙන්න මේ විදිහට ධර්මය හරිහැටි අවබෝධ නොකර ගත් නිසා ය. මෙම උපමාවේ දීද බුදුහාමුදුරුවෝ එම කරුණ පැහැදිලි කරන්නට යොදා ගත්තේ සොබාදහමේ පවතින දේ ය. මේ විදියට බලනකොට සමස්ත බුද්ධ දේශනාවම බද්ද වෙලා තියෙන්නේ සොබාදහමත් සමගයි.

මේ නිසා බෞද්ධයෝ විදියට, බෞද්ධ දර්ශනය අනුගමනය කරන පිරිසක් විදිහට අපිත් මේ සොබාදහමට සමීප වෙන්න ඕනේ. සොබාදහමට ආදරය කරන්න ඕනේ.

විශාල අභියෝගයක්

එහෙත් බුදු හාමුදුරුවන්ගේ ධර්මය හරිහැටි තේරුම් නොගැනීම නිසා මිනිසා දවසින් දවස සොබාදහමෙන් ඈත්වෙන්න පටන් ගෙන තියනවා. අපි මේ විදියට සොබාදහමෙන් ඈත් වීම නිසාම වර්තමානය වෙනකොට ඉතාම දරුණු දුක්ඛිත, පීඩාකාරී, අභියෝග ජනක ස්වභාවික විපත්වලට, රෝගවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. එන්න එන්නම සොබාදහම මගින් මිනිසාට සරදම් කරන්නට පටන් ගෙන තියෙනවා. වර්තමානයේ අපි හැමෝම මුහුණ දී තියෙන ලොකුම අභියෝගය තමයි කොරෝනා රෝගය.

මේ වෙනකොට මුළු ලෝකයටම කොරෝනා රෝගය හමුවේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ ධනයෙන්, බලයෙන්, නිලයෙන් උසස් රාජ්‍යයන්, පුද්ගලයන් පවා මේ රෝගය හමුවේ දණ ගැසීමට ලක් වී තියෙනවා. මේ හැමදේටම හේතුව අපි මේ සොබාදහමට සිදු කරන විනාශයයි.

දැන් බලන්න මේ කොරෝනා රෝගය නිසා මේ ලෝකයේ ජීවත් වුණ එකම සත්වයෙක්වත් මැරුණා ද කියලා. නැහැ. එකම සත්වයෙක්වත් මේ රෝගය හමුවේ පීඩා වින්දේ නැහැ. ඒ මොකද මේ සොබාදහම විනාශ වන්නේ කාගේ අතින් ද? සුනඛයන්, පූසෝ වැනි තිරිසන් සත්තු අතින්ද? නැහැ. සොබාදහම විනාශ වෙන්නෙ මනුසතා විසින් කෙරෙන විනාශකාරී කටයුතු වලින්. එම සිදුකරන විනාශකාරී කටයුතු වලට ප්‍රතිවිපාක ලෙස අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රෝගය හමුවේ අසරණ වන්නට.

එසේනම් මේවාට වගකිව යුත්තේ කවුරුන් ද? මිනිසාමයි. ජීවිතක්ෂයට පත් වූ මිනිස් ප්‍රමාණයේ සංඛ්‍යාව ලේඛන දත්ත ගෙන බලනකොට අපිට පෙනෙන තවත් වැදගත් පැතිකඩක් තියෙනවා. ඒ තමා දැනට මේ රෝගය හමුවේ ඉතාමත් අන්ත අසරණභාවයට පත්වුණේ මොන වගේ රටවල් ද යන කරුණ. බලයෙන්, ධනයෙන්, සැප සම්පත්වලින් ඉහළ මට්ටමේ රටවල් මෙම රෝගය හමුවේ අන්ත අසරණභාවයට පත්වුණා.

පසු පස එන කළ කම්

එසේ වීමට හේතුව කුමක් ද? එසේ වීමට හේතුව ලෙස අපට

සිතන්න පුළුවන් කරුණක් නම් මේ සොබාදහම ඉතාමත් විශාල වශයෙන් විනාශයට පත් කරන්නේ ධනයෙන් ,බලයෙන් යුතු රටවල් ය. මේ රටවල් සෑම විටම උත්සාහ කරන්නේ තම තමන්ගේ රාජ්‍යයේ බලය, ධනය ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට ය. එම උත්සාහයන්ගේ ප්‍රතිඵල විදියට ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා එකෙක් පරයා තවකෙක් නැගී සිටීමට. ඒ වෙනුවෙන් ඔවුන් සිද්ධ කරන්නේ සොබාදහමට අහිතකර විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමයි. පරිසරයට අහිතකර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම නිසා විශාල වශයෙන් මේ පරිසරය දූෂණය වෙනවා.

තමන් විසින් සිදු කරන පරිසර විනාශයේ ප්‍රමාණයට දිට්ඨධම්මවේදනීය ලෙස සොබාදහම විසින් ඒ ඒ රටවලට ගැළපෙන අයුරින් ප්‍රතිවිපාක දීම සිදු වෙලා තියෙනවා. මේ කරුණු අපි හැම දෙනාට සිතන්නට හොඳ කාරණාවක්. අපි සොබාදහමට සලකන විදිහට තමා සොබාදහම අපට සලකන්නේ. කැඩපතට අපි රැව්වොත් කැඩපතත් අපිට රවනවා. ඒ වගේ අපි පරිසරයට, සොබාදහමට හානි කරන්න කරන්න සොබාදහම විසින් අපිට හානි ඇති කරනවා.

වර්තමානය වෙනකොට මෙවැනි ස්වභාවික විපත් වලින් මිනිසාට මෙච්චර බැටකෑමට සිද්ධ වෙලා තියෙන්නෙ මේ නිසා ය. දවසින් දවස ස්වාභාවික විපත්වල වැඩි වීමක් සිද්ධ වන්නේ මේ පරිසර විනාශය නිසාය. අපි දන්නවා පැරණි ජනයා මේ සොබාදහම අදහස් කළේ දෙවියන් ලෙසය. ඔවුන් විශ්වාස කළේ අපි සොබාදහමයට හිරිහැර සිදු කරන්න කරන්න ස්වභාවධර්මට අරක්ගෙන ඇති දෙවිවරු කෝපවී අපිට දඬුවම් ලබාදෙන බවයි. වර්තමානයේ දක්නට ලැබෙන කරුණු කාරණා අනුව ඒ බව මනාව පැහැදිලි වෙනවා.

අපි බුදුදහමින් පෝෂණය වෙන පිරිසක් විදිහට අපිට සිද්ධ කරන්න තියෙන ප්‍රධාන දේ නම් සොබාදහමට ආදරය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට පරිසරය දූෂණය නොකරමින්, ආරක්‍ෂා කරමින්, ආදරය කරමින් අප ජීවත් වුවහොත් අපට කිසිදු කරදරයකින්, පීඩාවකින් තොරව අපගේ ජීවන ගමන හැඩගස්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ නිසා බෞද්ධයන් ලෙස අපි පරිසරයට ආදරය කරමින් අපගේ සොබාදහම රැකගන්න වගබලාගත යුතු වෙනවා.