Print this Article


භාග්‍යවතුන් වහන්සේ පරම පිරිසුදු සිල් ඇති සේක

භාග්‍යවතුන් වහන්සේ පරම පිරිසුදු සිල් ඇති සේක


භාග්‍යවතුන් වහන්සේගේ සීල සංවරය තුන් ලොව උතුම් ම සංවරය වේ. උන්වහන්සේ ගේ සීලයට සමාන සීලයක් තුන්ලොව කිසිවකුට හෝ නැත්තේ ය. උන්වහන්සේ සිල්වත් බව ගොඩනඟා ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අංග තුනක් ඔස්සේ ය. එනම්, සම්‍යක් වචන, සම්‍යක් කටයුතු හා සම්‍යක් දිවිපෙවෙත තුළ ය. මෙය වචන කීපයකින් කීව ද, උන්වහන්සේගේ සිල්වත් බව සුවිශාල ලෙස පැතිර ගිය දෙයකි.

විස්මිත වචන භාවිතය

මේ සා සුවිශාල අවබෝධයකින් හෙබි භාග්‍යවතුන් වහන්සේට දෙවියන් සහිත ලෝකයෙන් පැතිර යුතු, අත්පත් කරගත යුතු, ලබාගත යුතු, අපේක්ෂා කළයුතු, වින්ද යුතු කිසිවක් නො තිබුණේ ය. ලොවට නම් උන්වහන්සේගේ උපකාරය ඕනෑ වී තිබේ. උන්වහන්සේ කරන ලද්දේ

අමතං දදං - අමෘතය දන්දීම ය.

ඒ වෙනුවෙන් සිය අවබෝධය වචනවලට හරවමින් උන්වහන්සේ විසින් දක්වන ලද ප්‍රාතිහාර්යය අතිශය විස්මිත ය.

ලෝසත භව දුකින් නිදහස් වූයේ එනිසා ම ය. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා වාචා නමැති විස්මිත වචන භාවිතය පිළිබඳ වරක් මෙසේ වදාළ සේක.

“රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් ගැන දනියි ද, එය සිදු නො වූවක් බවත්, අසත්‍යයක් බවත්, එය අනර්ථයෙන් යුතු බවත් දනියි ද, එය අන්‍යයන්ට අපි‍්‍රය අමනාප බවත් දනියි ද, ඒ වචනය නො කියයි.

එසේම රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් ගැන දනියි ද, එය සිදුවූවක් බවත්, සත්‍යයක් බවත් දනියි. එහෙත් එය අනර්ථයෙන් යුතු බවත්, එය අන්‍යයන්ට අපි‍්‍රය අමනාප බවත් දනියි ද, ඒ වචනය ද නො කියයි.

එසේම රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් පිළිබඳ එය සිදුවූවක් බවත්, සත්‍යයක් බවත්, අර්ථ සහිත බවත්, එසේ ම එය අන්‍යයන්ට අපි‍්‍රය අමනාප බවත් දනියි ද, ඒ වචනය පැවසිය යුතු අවස්ථාව දන්නේ ය.

එසේම රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් ගැන දනියි ද, එය සිදු නො වූවක් බවත්, අසත්‍යයක් බවත් දනියි. එසේ ම එය අනර්ථයෙන් යුතු බවත්, එසේ ම එය අන්‍යයන්ට පි‍්‍රය මනාප බවත් දනියි ද, ඒ වචනය ද නො කිය යි.

එසේම රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් ගැන දනියි ද, එය සිදුවූවක් බවත්, සත්‍යවක් බවත්, එසේ ම එය අනර්ථයෙන් යුතු බවත්, එහෙත් අන්‍යයන්ට පි‍්‍රය මනාප බවත් දනියි ද, ඒ වචනය ද නො කියයි.

එසේම රාජ කුමාරය, තථාගත තෙමේ යම් වචනයක් ගැන දනියි ද, එය සිදුවූවක් බවත්, සත්‍යයක් බවත්, එසේ ම එය අර්ථයෙන් යුතු බවත්, එසේ ම එය අන්‍යයන්ට පි‍්‍රය මනාප බවත් දනියි ද, තථාගත තෙමේ ඒ වචනය පැවසිය යුතු අවස්ථාව දන්නේ ය.

රාජ කුමාරය, තථාගත තෙමේ මෙසේ මනාකොට තෝරාබේරා ගත් වචන කියන්නේ මක් නිසාද , තථාගතයන් තුළ සත්ත්වයන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති නිසා ය.”

මෙය නම් භාග්‍යවතුන් වහන්සේගේ සිල්වත් බවෙහි ම ඇති මහා ප්‍රාතිහාර්යයකි. උන්වහන්සේගේ දේශනා තුළ ශාප කිරීම් නැත. බිහිසුණු තැති ගන්වන වචන නැත. ශ්‍රාවකයන් භය ගන්වා තමන් වෙත රඳවා ගැනීම් නැත. බොරු පොරොන්දු නැත. මංමුළා කිරීම් නැත. තමන්ට පක්ෂ වූවන් සඳහා අමුතුවෙන් තෝරාබේරා ගත් හොඳ හොඳ දෙසුම් නැත. භාග්‍යවතුන් වහන්සේ වචන භාවිත කරන ලද්දේ සියලු සත්ත්වයන් තුළ ඇති අකුසල් දුරුකිරීම පිණිස ය. කුසල්හි පිහිටුවීම පිණිස ය. මුළාවෙන් මුදවා අවබෝධය ලබාදීම පිණිස ය. හිත සුව පිණිස ය. මෙය නම් ලොව සියලු දෙනාට ම ඕනෑ දෙයකි.

අසිරිමත් බඹසර

“බ්‍රාහ්මණය, නො කැඩුණු, සිදුරු නො වූ, නො කැළැල් , පැල්ලම් නැති, පිරිපුන්, පිරිසුදු බඹසර හැසිරෙන්නේ ය කියා ලෝකයෙහි යමෙක් ගැන කියයි නම්, ඒ මා ගැන ය, බ්‍රාහ්මණය, මම් වනාහී නො කැඩුණු , සිදුරු නො වූ, නො කැළැල් , පැල්ලම් නැති, පිරිපුන්, පිරිසුදු බඹසර හැසිරෙන්නෙක්මි.

බ්‍රාහ්මණය, සප්තවිධ මෛථූනයක් ඇත්තේ ය. ලෝකයෙහි පිවිතුරු බඹසර රකින්නෙක්මි යි ප්‍රතිඥා දෙන මා තුළ සප්තවිධ මෛථූන සංයෝගය මුළුමනින් ම නිරුද්ධ වී ඇත්තේ ය.

බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රියක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, සම්බාහනය කිරීම් ඉවසයි ද, එයට කැමති වෙයි ද, එයින් සතුටු වෙයි ද, එය කිලිටි බඹසරයකි. මෙවන් මෛථූනයක් හා එක්වූ පිරිසුදු බඹසරකින් ජාති, ජරා, මරණ ආදී දුකින් නො මිදෙන්නේ ය.

එසේ ම බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රීන්ගේ ඉලීම් පිරිමැදීම්, නො ඉවසන නමුත් ඔවුන් හා කවටකම් කරයි. මහ හඬින් සිනාසෙයි. බස් දොඩයි, එයින් ආශ්වාදය විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය. ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නො වෙයි.

එසේ ම බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රීන්ගේ ඉලීම්, පිරිමැදීම් ආදිය නො ඉවසන නමුත්, ඔවුන් හා කවටකම් කතාබස් කිරීම් නො කරන නමුත්, ස්ත්‍රිය දෙස නැවත නැවත බලමින් සතුටු වෙයි. එයින් ආශ්වාදයන් විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය. ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නො වෙයි.

එසේම බ්‍රාහ්මණය, යමෙක් ස්ත්‍රිය දෙස නැවත නැවත නො බලන නමුත් බිත්තියෙන් එපිට. ප්‍රාකාරයෙන් එපිට සිටින ස්ත්‍රියකගේ සිනහසීම, කතාකිරීම, ගායනා කිරීම ආදිය අසා ආශ්වාදය විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය . ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නො වෙයි.

බ්‍රාහ්මණය, යමෙක් ස්ත්‍රියකගේ හඬ නො අසන නුමුදු පෙර තමා විසින් ස්ත්‍රියක සමඟ කතා කළ, සතුටු වූ යමක් ඇද්ද, එය සිහි කරමින් ආශ්වාදය විඳියි. එය ද මෛථූනය හා එක් වූ අපිරිසුදු බඹසරයකි. ඒ කිලිටි බඹසරින් නිවන් මඟ නො සැපයෙයි.

බ්‍රාහ්මණය, යමෙක් එසේ නො සිතන නමුත් පංච කාමගුණයකින් පිරිවරා සතුටුවන ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍රයකු දකියි. දැක එයින් ආශ්වාදය විඳියි. මෙය ද මෛථූනය හා එක් වූ අපිරිසුදු බඹසරකි. ඒ කිලිටි බඹසරින් නිවන් මග නො සැපයෙයි.

බ්‍රාහ්මණය, යමෙක් එසේ ආශ්වාදය නො විඳින නමුත් තමන්ගේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ බඹසරින් හෝ දෙව්ලොව උපදින්ට කැමති වෙයි. එවන් ආශ්වාදයක් විඳියි. මෙය ද බඹසර කිලිටි වීමකි. ඒ කිලිටි බඹසරින් නිවන් මඟ නො සැපයෙයි.

බ්‍රාහ්මණය, යම් කලෙක මා තුළ මේ සප්තවිධ මෛථූන සංයෝගයන් මුළුමනින්ම නිරුද්ධ වී ගිය බව දුටුවෙම් ද, එකල්හි මම් දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.

මෙය මා තුළ පහළ වූ ඥාන දර්ශනයකි. කෙලෙසුන්ගෙන් මිදී නිදහස් ව ගිය මාගේ සිත වෙනස් නො වෙයි. අවසාන උපත ය. මේ දැන් නැවත උපතකට භවය සකස් වීමක් නැත්තේය”යි භාග්‍යවතුන් වහන්සේ උදම් ඇනූ සේක.

මෙය මහා අසිරියක් නො වේ ද? බඹසරක් කිලිටි වන අයුරුත්, ඒ කිලිටි බඹසරින් නිවන් මඟ නො සැපයෙන අයුරුත් මෙලෙසින් අවබෝධ කරගත හැකි, භාග්‍යවතුන් වහන්සේගේ පවිත්‍ර වූ සිල්වත් බව මහා පුදුම සහගත ය. එසේම උන්වහන්සේගේ සම්‍යක් දිවිපෙවෙත තුළ ඇති පාරිශුද්ධ බව පිළිබඳ අමුතුවෙන් කිවයුතු දෙයක් නැත්තේ ය. මක් නිසා ද යත්, ඒ පිරිසුදු බව හා සම කළ හැකි දිවි පෙවෙතක් ඇති අන් කිසිවෙක් ලොව නැති නිසා ය.