Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

තෙරණි උදානය

වෙස්ගෙන මානවකයකු සේ හැඩ රුවට
පැමිණුන මාරයා “සේලා තෙරණිය’ ට
පවසයි “නැත ලොවේ නිවනක් දෙන සතුට
සනහා පසිඳුරන් කම් සැප දෙනු මෙමට”

“නොවෙමින් පසුතැවිලි සැප විඳ ගනිමු වහා”
කියමින් මාරයා පෙන්වයි සැපයෙ රහා
හඳුනාගත් නිසා තෙරණිය ගැටලු ලිහා
පෙන්වා දුනි ඔහුට ලොව ඇති සුවය මහා

“පැසසුම් කෙරුව කාමයො විෂ සැතකි ලොවේ
පස් කඳ පෙළන රතියේ විරතිය ය සුවේ
ආශා දුරු කළෙන් මා දුක් පිරුණ බවේ
පාපී මාරයා නුඹ ගැන පුදුම නොවේ

“නැවුවෙමි වැනසුවෙමි ආශා තිමිර කඳු
කම් සුව දුරු කළා විෂ පෙව් හුලක බඳු
කුමට ද පසිඳුරන් සනහා දුකම සැදු
නිවනේ රසය විඳගමි බුදු මිහිර බෙදූ”

****

නමස්කාරය

දම්සක් සුතුර දෙසුවා මිගදායේ දී
යක් සෙන්පති තුමා සාතාගිර එහි දී
මොහඳුර දුරැර බුදු හිමි වැන්දා එහිදී
“නමෝ” යන්න ඇතිවිය හිමි හමුවේ දී

සිව්සස් දහම් අවබෝධය කළැයි කියා
අසිරිඳු වේ පචිත්තී හිමි ළඟට ගියා
බුදුහිමි අභිමුඛව වැන්දා “තස්ස” කියා
නමස්කාරයේ ඇතිවිය “තස්ස” කියා

සිව්මහ දෙවිවරුන් පැමිණෙයි බරණැසට
සම්බුදු පියාගේ සිරි සදහම් හඬට
රාග දෝස මෝහය දුරු කෙරුවාට
වැන්දා ‘භගවතෝ’ යැයි බුදු සමිඳාට

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු තුමා
දම් සක් හඬට මුසපත් වූ ඒ උතුමා
රහසින්වත් පවක් නොකරපු මුනි උතුමා
වැන්දා “අරහතෝ” යැයි කියමින් උතුමා

සහම්පතී මහබඹු මහ වනට ගියා
දම්සක් සුතුර ඇසුවා ඔහු නෙතු නොපියා
අනුනගෙ උදව් නැතිවම බුදු වූව කියා
වැන්දා බඹුත් සම්මා “සම්බුද්ධස්ස” කියා

****

අප්පච්චි

නොදත් කමට පුංචි කාලෙ
කළා පුංචි හොර වැඩක්
ඒ දැනිලා අප්පච්චිට
තැලුවේ නැහැ කෙවිටෙන් මට
ආදරයෙන් ළඟට අරන්
දුන්න ඔවා අහන් ඉද්දි
අප්පච්චිගෙ දෑස් වලින්
වැටෙන කඳුළු දැක්කා මං
ඇඬුව මමත් ඉකිගසමින්
මගේ හිතත් රිදිලා
සමාවෙන්න අප්පච්චි
ඔබ අද අප අතර නැතත්
තාමත් මට දුක හිතෙනව
ආයෙත් නුඹ අඬයි කියා ///

****

පමා නොවී

හමාගෙන යන අමා සිසිලස
සමය මේ බුද්ධෝත්පාදව
කුසල සිත් වඩවමින් නිවනට
පමා නොවී යමු මිනිසුනේ........
උතුම් බුදුරුව ජීවමානව
දකින්නට පින් මදිවුණත් නෙත
මනසේ ඇඳෙනා පිළිරුවෙන් හිමි
පී‍්‍රතියෙන් හද සැනසුණේ.....
මිහිරි ශ්‍රී මුඛයෙන් ගලා ගිය
දම් බිඳක් නොඇසුණත් සවනත
ඒ දෙසු සද්ධර්මයම නිති
අපේ දායාදය වුණේ........
ලෝභ, ද්වේෂය, මෝහ අතහැර
මෙත් කුලුණුූ ගුණ වඩා දිරිගෙන
දුරැර භව දුක් අපිත් සැනසෙමු
මෙතේ බුදු සසුනේ.....

****

අම්මේ

සීතලට ගැහි ගැහී
අවදිවී පාන්දර
කහට උගුරක් දෙන්න
මොළවන්න සදන මුත්
ගිනි ලිපේ.....
පෙරදිනේ වැසි වැටී
දරකෝටු තෙත්ව ඇත
පිම්බාට හුස්ම ටික
මෙළවේද ගිනි ලිපේ
දරකෝටු තෙත් බවක් නොදැනේද
රැලි වැටුන ඇඟිලි තුඩුවලට
සීතලෙන් වෙව්ලනා
මගේ අම්මා .....

****

මිනිසුනි

අවසිහියෙන් වැඩ කරනා මිනිසුනි
තමන් කරන දේ නොදන්න මිනිසුනි
තණ්හා සයුරේ පිහිනන මිනිසුනි
දහම අමතක කර හිනැහෙන මිනිසුනි
කාමාශාවෙන් මුසපත් මිනිසුනි

පන්සිල්වත් ආරක්ෂා කරමු මිනිසුනි
යන තැනට මඟ හදනු මිනිසුනි
කුසල් කර මරණය ජය ගනු මිනිසුනි
මරණින් පසු උපදින තැන පින්බිමක් කරගනු මිනිසුනි

****

පින් පුරමු

තිලෝගුරු අප අමාමෑණි – බුදු සමිඳු දෙසූ දම් අමා
ලොවේ ඇති තුන්බිය ම දුරලන – සෙත් පිරිත් සජ්ඣායනා
සැම දෙනම භීතියට පත්වෙන – රෝග වයිරස කොරෝනා
පැතිර යන්නට ඉඩ නොදෙමු කර – සෙත් පිරිත් දම් දේශනා

සිතින් වදනින් කයින් සිදුවෙන – සියලු අකුසල් දුරැලලා
පහන් සිතිවිලිවලින් නිබඳව – සැමගෙ හදවත් පුරවලා
ලොවේ සිටිනා සෑම සතහට – දයාවෙන් මෙත් පතුරලා
මෙලොව පරලොව ජය ලබන්නට – පින් පුරමු සැම එක්වෙලා

****

සදහට නිවී ගිය කවි බණ දෙසූ හඬ

නාහිමි අපේ පන්නල ඤාණාලෝක
ටික දිනකින්ම අපෙ රට කළෙ ආලෝක
බැහැරට නොයයි නාමය නම් කිසිදාක
ලක්වැසි දනන් වෙනවා හඬමින් ශෝක

දස්කම් කළා ඔසවා තබමින් කවිය
බොදු බණ පදවලට කවියෙන් දී සවිය
සුළු කාලය වුණත් බොදු බැතියෙන් ෙ ගවිය
කවි බණ දෙසු ඒ හඬ සදහට නිවිය

හිමියන්හට තිබූ ඒ සුමිහිරි නාදේ
බොදු බැති දනන්ගේ හදවත් තුළ විහිදේ
අසනා විටදි කවි බණ සැම සිත් පැහැදේ
එ පිනෙන් හිමි සඳුට නිවනේ මඟ පෑදේ