Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 28: දීඝාභය කුමරු එළාර රජුට එකතුවෙයි

දුටුගැමුණු මහ රජතුමා - 28:

දීඝාභය කුමරු එළාර රජුට එකතුවෙයි

“පිරිවෙනේ මහා හිමිපාණන් දෙසු පරිදි “සියල්ල සිදුවන්නේ හොඳට” යැයි සිතමු. දැන් සියලු දෙනාම කඳවුරුවලට යන්න. හොඳ සිහියෙන් කටයුතු කරන්න. කලබල වෙන්නට එපා. ආරංචිය පැතිරෙන්නට දෙන්න එපා. මේ අවස්ථාව තේරුම් ගෙන ගැටලුවට බුද්ධිමත්ව විසඳුමක් සොයන්න” කී විහාරමහා දේවිය තිස්ස කුමරුන් සමඟ මාලිගාව තුළට ගියේ රජතුමා ගැන ඇතිවු කුතුහලයෙනි.

රාජ දූතයකු ගොස් තිස්ස කුමාරයා කැඳවාගෙන පැමිණියේ ය. ආරක්ෂක සෙබලා කුමරා අත තල්පතක් තැබීය.

“තොපට යන්නට අවසර”

ඔහු කුමාරයාට ආචාර කර පිටව ගියේ ය.

කුමාරයා මාළිගය තුළට ගොස් තල්පත කියෙව්වේ ය. මොහොතකින් කුමාරයා ගේ මුහුණු අඳුරු වන බව වේළුසුමනට අවබෝධ විය. මහනෙල ගේ මුහුණේ වූයේ ද ප්‍රශ්නාර්ථයකි. තවත් නරක ආරංචියක් බව හැඟිණි.

ඔවුන් තිස්ස කුමරුන් දෙස බලා සිටියහ.

“මව් බිසවුනි, තවත් නරක ආරංචියක්” තමන් වෙත එමින් සිටි විහාරමහා දේවියට තිස්ස කුමරු පැවසී ය.

කවුරුත් විමතියෙන් බලා සිටියහ. තිස්ස කුමාරයා තල්පත මෑණියන් අත තැබීය. එහෙත් ඇය එදෙස නොබලා කුමරුගෙන් ප්‍රශ්න කළේ ය.

“කුමක්ද? සිදුවී තිබෙන්නේ”

“දීඝාභය අයියණ්ඩි අපට ද්‍රෝහී වෙලා. ගැමුණු අය්යණ්ඩියට ද්‍රෝහී වෙලා. ඔහු එළාර රජු වෙතට ගොස් මහවැලි ඟං තෙර තොටමුණු සියල්ල සොලීන්ට පවරලා.

“අපි විනාසයි පුතා, අපි විනාසයි.” කී විහාරමහා දේවිය සිහිසුන්ව මෙන් තිස්ස කුමරු බදා ගත්තා ය. ඇය අතින් වැටුණු තල්පත බිමට වැටුණි. සෙනෙවිවරු තුෂ්ණිම්භූතව බලා සිටින්නට වූහ.

“මහ රජතුමා මේ බව දැන ගත්තොත් නැවතත් අසනීප වෙනවා. තරහා ගන්නවා

මේ අතර අස් රියකින් රාජාංගනයට පැමිණි රජතුමා අස් රියෙන් බැස එනු දක්නට ලැබිණි. මාළිගය තුළට පැමිණි රජතුමා මොහොතක් විහාර මහා දේවිය සහ පුතු දෙස බලා සිටියේය.

“ආරංචිය මටත් දැන ගන්නට ලැබුණා.”

“නන්දිමිත්‍ර, හෙට හවස යුද මණ්ඩලය රැස් කරන්න. දැන් හැමෝටම යන්නට අවසර ලැබෙනවා.” කී රජතුමා මහත් වේදනාවකින් මෙන් මාළිගය තුළට ගියේ ය.

“මෑණියනි, දීඝාභය අයියණ්ඩියට තමන් කළ වරද ඉක්මණින්ම වැටහේවි.”

“නමුත් පුතා ඒ වෙනකොට සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරයි. දැනටමත් සිදු වී ඇති විනාශය හොඳටම ඇති. සොළීන් මහවැලි ගඟෙන් මෙගොඩට ඇවිත් අපේ කඳවුරු අල්ලාගෙන”

“දේවීන් වහන්ස, මෙය අපේ සැලසුම් සියල්ල අවුල් කරන්නට හිතාමතාම යෙදූ උපක්‍රමයක්. විශාල පාඩුවක්. දීඝාභය කුමාරයා මේ තරම් අනුවණ ක්‍රියාවකට පෙළඹුණේ ඇයි? තමන්ගේ රට, ජාතිය, ආගම පවාදී ගැමුණු කුමරුගෙන් පලිගන්නට තරම් ඔහු සැහැයි වූයේ කෙසේද? වේළුසුමන කීවේ ය.

“පිරිවෙනේ මහා හිමිපාණන් දෙසු පරිදි “සියල්ල සිදුවන්නේ හොඳට” යැයි සිතමු. දැන් සියලු දෙනාම කඳවුරුවලට යන්න. හොඳ සිහියෙන් කටයුතු කරන්න. කලබල වෙන්නට එපා. ආරංචිය පැතිරෙන්නට දෙන්න එපා. මේ අවස්ථාව තේරුම් ගෙන ගැටලුවට බුද්ධිමත්ව විසඳුමක් සොයන්න” කී විහාරමහා දේවිය තිස්ස කුමරුන් සමඟ මාලිගාව තුළට ගියේ රජතුමා ගැන ඇතිවු කුතුහලයෙනි.

කාවන්තිස්ස රජතුමා සිරියහන් ගබඩාවේ නිඳි යහන මත වැතිරී බැරෑරුම් කල්පනාවක සිටින බව දුටු මවත්, පුතුත් බොහෝ දුකට පත්වූහ. දේවියගේ සිතට මහත් සන්තාපයක් ඇති විය. කතා කරන විට දෙනෙතට කඳුළු මතුවිය.

“පියාණන්ට විවේකය අවශ්‍යයි. අපි පසුව ඇවිත් කතා කරමු. මේ වෙලාවේ තිස්සමහාරාමයට යන්නට ඇත්නම් හොඳයි.”

“දේවිය, මට විවේකයක් අවශ්‍ය නැහැ. දැන් පැමිණ තිබෙන්නේ විවේක සුවයෙන් ඉන්නට සුදුසු වේලාවක් නොවෙයි. මේක අපේ සැලසුම් අවුල් කරන්නට කළ කූට උපක්‍රමයක්. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.”

“තිස්ස සොළීන්ගෙන් අපේ ගම්මානවල වැසියන්ට කිසිම හානියක් කරදරයක් වෙන්නට ඉඩ තියන්න එපා. හෙට යුද්ධ මණ්ඩලය රැස් වෙනවා. එහිදී අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම්.”

කාවන්තිස්ස රජතුමා එතරම් අසහනයට පත් නොවීම ගැන විහාරමහා දේවියත්, තිස්ස කුමරුත් සතුටට පත්විය.

දේවියත් කුමරුත් එදින සවස තිස්ස මහා විහාරයෙහි භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ගිලන්පස, පිරිකර රැගෙන පිටත් වූහ. ගෙනෙන ලද දෑ මහා සංඝ රත්නය උදෙසා පූජාකර වන්දනාමාන කර ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ මුණ ගැසීමට පැමිණියහ. ඉනික්බිතිව මහතෙරුන් වහන්සේ වැඳ එකත්පස්ව හිඳ ගත්හ.

“දේවිය ඔබ මෙහි එනතෙක් බලාපොරොත්තුවෙන් සිටියේ සිදු වී ඇති කරුණු කිහිපයක සත්‍යතාව තහවුරු කර ගන්නටයි. මට ආරංචිය ලැබුණු හැටියට දීඝාභය කුමාරයා, එළාර රජුගේ මහ සෙනෙවියෙක් වෙලා. මහවැලි ගං තීරයේ සියලු තොටමුණු සොළී භටයන්ට පවරලා. ගැමුණු කුමාරයාගේ උපදෙස් මත දාව ආචාර්යතුමා විශාල බල සේනාවක් ගෙන මහවැලි ගං තීරයේ රැඳී සිටිනවා. මහ රජතුමාගේ උපදෙස් ලැබෙන තුරු සටන ඇරඹෙන එකක් නැහැ.”

“මහ තෙරුන් වහන්ස, අපටත් වඩා තොරතුරු ඔබ වහන්සේ දන්නවා. මේ තොරතුරු ඔබ වහන්සේ දැන ගත්තේ කෙසේද? මේ ආරංචිය අප දැනගත්තේ මේ දැන්. දීඝාභය තිස්සට එවා තිබූ තල්පත කියවූ පසුවයි අප එය දැන ගත්තේ. දීඝාභය කුමාරයා කළ දේ නිසා රජතුමා සිත් තැවුලෙන් පසුවෙන්නේ”

“ඇත්තටම රජතුමා මහත් විශ්වාසයක් තැබූ දීඝාභය වැඩිමහලු පුතු මෙවැනි දෙයක් සිදු කළාම ඉවසා ගන්නට අමාරු දෙයක්. මෙයින් සිදුවන හානිය සුළු කොට සිතන්නට බැහැ. සොළීන් මහවැලි ගඟේ දකුණු තීරයේ බලය තහවුරු කර ගත්තොත් උතුර ජය ගන්නට බොහෝ කාලයක් ගත වේවි. මේ ගැටලුවලට බුද්ධිමත්ව මුහුණ දිය යුතු යි. ඒ සඳහා සිටින සුදුසුම පුද්ගලයා තිස්ස කුමාරයායි.”

“මහ තෙරුන් වහන්ස, හෙට යුද්ධ මණ්ඩලය රැස් වෙනවා. එහිදී රජතුමා යම් තීරණයක් ගනීවි. “හෙට උදෑසනම තිස්ස කුමාරයා යුද සේනාංකයක් ගෙන මහවැලි ගඟ තීරයට යනවා.”

“ඒක හොඳයි.”

“මහ තෙරුන් වහන්ස, යුද්ධ මණ්ඩලය රැස්වීමට ප්‍රථම රජතුමා ඔබ වහන්සේ හමුවේවි” තිස්ස කුමරුත්, විහාරමහා දේවියත් මහ තෙරුන් වහන්සේ වැඳ යන්නට අවසර ගත්හ. අස්රිය වේගයෙන් ගමන් කරන්ට විය. ටික දුරක් යන විට තිස්ස කුමරු කතා කරන්නට විය.

“දීඝාභය අයියණ්ඩියගේ මේ වෙනස්වීම නිසා අපට තවත් පාඩුවක් විය හැකියි. මින් ඉදිරියට උපතිස්සගෙන් අපට තොරතුරු ලැබෙන එකක් නැහැ. දීඝාභයට ඔහු එකතු වෙලා ඇති. මේ නිසා අපේ රහස් ඔත්තු සේනාව අඩාල වෙලා ඇති.”

“චර පුරුෂ ජාලයේ සියලු දෙනාම වෙනස් වෙන එකක් නැහැ. නමුත් ඔවුන් හඳුනාගෙන ඒකරාශී කර ගැනීම ලෙහෙසි වෙන එකක් නැහැ.”

“කුමන දේ සිදුවුණත් ගැමුණු අයියණ්ඩිය තවදුරටත් සැඟවී සිටීමේ තේරුමක් නැහැ. මේ හැංගිමුත්තන් කෙළිය වහාම නවත්වන්නට ඕනෑ. සටන් පුහුණුව සේනා සංවිධානය, මාගම පාලනය අයියණ්ඩිය අතට ගන්නට ඕනෑ.”

“වේගයෙන් ඉදිරියට එන අශ්ව රථයකි. ඒ දුටු තිස්ස කුමරු “පිය රජතුමා තිස්ස මහා විහාරයට යන්නේ මහා නා හිමිපාණන් වහන්සේ හමුවන්නට විය හැකියි.” මෑණියන්ට පැවසීය.

“තිස්ස මේ ගමන්ම අප යුද පුහුණු කඳවුර යන්නට කැමති ද? අපට එහිදී වේළුසුමනත්, නන්දිමිත්‍රත් හමුවන්නට පුළුවන්.

“හොඳමයි මෑණියනි, ඔබගේ කැමැත්තක්. රථය විනාඩි කිහිපයකින් යුද කඳවුර අබියස නතර කෙරිණි.”