Print this Article


ප්‍රාචීන අධ්‍යාපනය තවදුරටත් ප්‍රගුණ කළ යුතුයි

ප්‍රාචීන අධ්‍යාපනය තවදුරටත් ප්‍රගුණ කළ යුතුයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංශාභිධජසිරි සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මහානායක කණුමුල්දෙනියේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

අපේ හාමුදුරුවනේ, ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංශාභිධජසිරි සද්ධම්මයුක්තික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ සිටින සුපේෂල ශික්ෂාකාමී මහ තෙර නමක් වන ඔබ වහන්සේගේ ප්‍රවෘජ්‍යාභාවයත්, ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු වූ ආකාරයත් පිළිබඳව සඳහන් කරමින් සාකච්ජාව ආරම්භ කරමු.

ගීගනගේ එඩ්වින් උපාසක මහතා සහ හේවාගේ හින්නිහාමි උපාසිකා මාතාව යන සැදැහැවත් දෙපළ ආදරණීය මව්පියන් කොටගෙන දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ උතුරු ගිරුවා පත්තුවට අයත් වලස්මුල්ල පල්ලේකන්ද යන ඓතිහාසික ග්‍රාමයේ 1961 ජූනි 07 වන දින උප්පත්තිය ලැබුවා. උතුරු කණුමුල්දෙනිය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලබාගත් බවත් ප්‍රකාශ කළ යුතුයි.

මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව මට අත්පොත් තැබූ මුල් ගුරුවරයාණන් වූ පල්ලේකන්දේ ශ්‍රී චන්දිමාරාමාධිපති මුල්ලෙවත්තේ ශී‍්‍ර චන්දිම අනු නාහිමිපාණන් වහන්සේගේ හා ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු මුල්ලේවත්තේ චන්ද්‍රසිරි අනු නා හිමිපාණන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් 1973 ජනවාරි 11 වන දින කණුමුල්දෙනියේ චන්දවිමල යන උත්තරීතර ශාසනික නාමයෙන් අතිඋතුම් සම්බුද්ධ ශාසනයේ සසුන්ගත වුණා.

එතැන් පටන් ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිමින් ගුරු හාමුදුරුවන් වහන්සේ යටතේ පැවිදි ජීවිතයට අවශ්‍ය බණ දහම් ඉගෙන ගැනීමට කටයුතු කළා. 1973 වර්ෂයේ සිට 1979 වර්ෂය දක්වා වසර 6 ක් ගාල්ල ශී‍්‍ර විද්‍යාරාජ පිරිවෙනේ ධර්මශාස්තී‍්‍රය අධ්‍යාපනය ලැබුවා. එම කාලයේ විසි වයස් ඉක්මවා යාමත් සමඟ 1985 ජූනි මස 02 වන දින ගාල්ල මහමෝදර ගිංනදී උදකුක්ඛෙප සීමාමාලකයේ දී අමරපුර සද්ධම්මයුක්තික මහා නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය කණුමුල්දෙනියේ ශී‍්‍ර සෝරත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, මුල්ලේවත්තේ චන්ද්‍රසිරි අනු නා හිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබාගත් බවත් මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

ප්‍රාචීන මධ්‍යම විභාග සමත්වෙලා පාලි, සංස්කෘත, සිංහල භාෂාවන්ගේ ප්‍රවීණත්වයක් ලබාගත්තා. සාමන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත්වෙමින් 1980 වර්ෂයේ දී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1984 වර්ෂයේ දී පාලි විෂය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවා, 1985 වර්ෂයේ දී විවෘත විශ්වවිද්‍යාලයෙන් වෘත්තීය ඉංගී‍්‍රසි ප්‍රවීණතා විභාග සහතිකයත්, 1991 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තා. 1994 වර්ෂයේ දී ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් පාලි විෂයය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමට කි‍්‍රයා කළා.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයත්, විදේශීය ධර්ම දූත මෙහෙවරත් සිදුවුණේ කුමන ආකාරයෙන් ද?

1984 වර්ෂයේ දී මූලික උපාධිය ලබාගෙන 1985 වසරේ සිට 1987 දක්වා වසර දෙකක් ගා/ඌරුගස්මංහන්දිය පතිරාජ විද්‍යාලයේ උප ගුරුවරයකු වශයෙන් සහ 1987 සිට 1997 දක්වා වසර 10 ක් ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පින්වත්ත සද්ධර්මාකර ආයතනයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළා. ඒ වගේ ම 1996 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. 2000 වර්ෂයේ දී ගුරු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමත් සමඟ ගාල්ල කලුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වශයෙන් කටයුතු කිරීමට සිදුවුණා. විහාරස්ථානයේ ශී‍්‍ර ලංකා ධර්ම දූත මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරනවා.

ඒ වගේම ඉන්දියාව,නේපාලය,බුරුමය, තායිලන්තය,ජපානය, ආදී රටවල ධර්ම දූත කටයුතුවල යෙදෙමින්, ශී‍්‍ර ලංකා ධර්මදූත සංගමයේ ලේකම්වරයා වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළා.මීට අමතරව දේශීය වශයෙන් සමස්ත ලංකා

ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ගාල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කඩවත්සතර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවේ ප්‍රධාන අනුශාසක “ගාලුපුර බොදුසවිය සංවිධානයේ සභාපති, සත්ත්ව හිතවාදී සමාජ සුබ සාධක සංගමයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගාලු නගරය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික, සාමාජික, ශාසනික සංවිධාන රාශියක ක්‍රියාකාරීව කටයුතු කරන බවත් මේ සමඟම ප්‍රකාශ කළ යුතු යි.

ශාසනභාරධාරී මහතෙරුන් වහන්සේ නමක් වශයෙන් අපේ පුංචි ස්වාමීන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා පිළිබඳව කෙටි පැහැදිළි කිරීමත් කරනවා නම්,

වර්තමාන සමාජයේ ස්වාමීන් වහන්සේලා ක්‍රමයෙන් හිඟවේගන යමින් පවතිනවා. අපට දැනට වැඩසිටින පුංචි හාමුදුරුවන් වහන්සේලා කෙසේ හෝ හදාවඩාගන්න විශේෂ වැඩ පිළිවෙලක් අවශ්‍ය වී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය මඟිින් විවිධාකාරයේ උත්සාහයන් ගෙන උන්වහන්සේලා හැඩගස්වන්නට විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. ඒ වුණත්, අද තිබෙන සුවිශේෂ ක්‍රමවේදය වෙලා තිබෙන්නේ කුල දරුවකු පන්සලට ලබාදුන්විට කෙටි කලක් විහාරස්ථානයේ රඳවාගෙන මහණකම පිළිබඳ ව හෝ ජීවත්වීම පිළිබඳ ව හෝ කෙටි අවබෝධයක් ලබා ගන්නට පෙර පැවිදිකිරීමේ ක්‍රම අනුගමනය කරන අවස්ථා තිබෙනවා. එය අපේ පැරැණි සම්ප්‍රදායට ටිකක් පටහැනි බවයි පෙනෙන්නේ. පැරැණි ක්‍රමයට අනුව අවම වශයෙන් මාස හයක් හෝ වසරක් විහාරස්ථානය තුළ රඳවාගෙන මූලික දැනුමක්, අවබෝධයක් ඇතිකර දෙමින් පැවිදි කිරීම සිදුකරනවා. පැවිදි බව ලබා ගත්තාට පසුව අනුගමනය කළ යුතු වත් පිළිවෙත්, ශාසනික ප්‍රතිපදාවන් ගුරු හාමුදුරුවන් වහන්සේ මූලික වශයෙන් හඳුන්වා දීමට කටයුතු කරනවා. එය කළ යුතු වැදගත් දෙයක්.

පුංචි කාලයේ ජීවිතයට ඇතුළත් කරගනු ලබන එම ගුරු ඇසුර තුළින් ලබා ගන්නා ආචාරධර්ම වැඩිහිටි බවට පත්වන විටත් ජීවිතය පුරා කි‍්‍රයාත්මක වෙනවා. ඒ අනුව නම්‍යශීලීව ජීවිතය පවත්වාගෙන යාමට හුරුවෙනවා. වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ දී භික්ෂූන් වහන්සේලා ට විවෘතව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා වගේම සෘජුවම මූලික පිරිවෙන් අවසාන විභාගය සහ සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත්වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට නැඹුරුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එම ක්‍රමවේදයේ දී භික්ෂුව බලාපොරොත්තු නොවුණ තරම් නිදහසක් ලැබීම නිසා සමහර විට භික්ෂු ආකල්පවලට තරමක් වෙනස්ව කි‍්‍රයාකරන්නට පෙළඹෙනවා.

වර්තමාන සමාජයේ පවතින උපකාරක පන්ති ගිහි සමාජය පෙර සමාජයටත් වඩා හැසිරීම් රටාවල විවිධ පරිවර්තනයක් දක්නට ලැබෙනවා. එම හැසිරීම් දැකීමෙන් ඇතැම් විට සිත වෙනස්වන සුළු ස්වභාවයට පත්වෙන්නට පුළුවන්. ඇතැම් විට සිවුර හැර දමායන අවස්ථා තිබෙනවා. අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාගේ චර්යා රටාවත්, ශාසනයේ රැඳී සිටීමට හානිදායක වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දහම් මාර්ගය අනුගමනය කරන භික්ෂුත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහගන්න වෙලා තිබෙනවා. ප්‍රාචීන අධ්‍යාපනය භික්ෂූන් වහන්සේලාට ප්‍රගුණ කරන්නට අවස්ථාව සලසාදීම ඒ සඳහා අපට තිබෙන හොඳ ක්‍රමයක්. පාලි, සංස්කෘත ඉංගී‍්‍රසි වගේම ජාත්‍යන්තර භාෂා ඇතුළත් වන ආකාරයට විෂය ධරාවන් සකස්වෙලා තිබෙනවා. ඒ අනුව කි‍්‍රයාකිරීම තුළින් පොත පත අධ්‍යනයෙන් පාලි සූත්‍ර දේශනා තුළ ඇතුළත් ව තිබෙන විනය ,ගුණධර්ම යොදා ගන්නා ආකාරය පිළිබඳ දැන ගැනීමෙන් භික්ෂූන් වහන්සේලා තුළ ප්‍රබල ශික්ෂණයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එවැනි පැත්තට යොමුකරන අධ්‍යාපන රටාවක් උපරිම වශයෙන් ලැබෙනවා නම්, අපට කුඩා සාමණේරයන් වහන්සේලා තරුණ වියට පත්වන විට ශාසනය තුළ රඳවා ගන්නටත්, දහම් දැනුමෙන් සහ බුදුදහම පිළිබඳ මනා අවබෝධයක් ඇති චරිත බවට පත්කර ගන්නටත් මනා ශික්ෂණයක් ඇති භික්ෂු පිරිසක් බවට පත්කර ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රමවේදයක් සකස්කර ගත්තොත් භික්ෂූන් වහන්සේලා ආරක්ෂාකර ගත හැකි ඉදිරි කි‍්‍රයාමාර්ගයක් හැටියට සලකන්න පුළුවන් කියලා මට හිතෙනවා.