Print this Article


ජීවිතය සුවපත් කරන දැහැමි සිතිවිලි

ජීවිතය සුවපත් කරන දැහැමි සිතිවිලි

අපේ ආදි මුතුන් මිත්තන්ගේ ජීවිතවල පැවැති හරවත් බව මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක් ම ආදර්ශයෙන් පිරිලා. හරිම බුද්ධිමත්. ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවට ම විහිදිලා. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත්වුණා. සමාජයට ණය නෑ. පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබූ නිසා ජීවිත පැවැත්ම ගොරෝසු වුණේ නෑ.

දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා. ලාබාල ඇත්තන්ට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා අසාධාරණකම් අයුක්තිසහගතකම්වලට නැඹුරු වුණේම නැති තරම්.

මිනිස්සුන්ට සාමූහිකත්වය ගැන හැඟීම් තිබුණා. නෑදෑකම, ගමේකම, අපේකම මුල් කරගෙන එක පොකුරටම බැඳුණා. දරාගැනීමේ හැකියාව ඇති වුණේ ඒ නිසාමයි. මතුවන දුක් කරදර කම්කටොළු සියල්ලම එකමුතුව විඳ දරාගත්තා. දුක සතුට දෙකේදීම මිනිසුන් තනි වුණේ නෑ. මේ නිසාම ජීවිතවලට ලැබුණේ හරිම පන්නරයක්.

අපේ පෞරාණික ගම්මාන කැලෑ රොදකින් වටවී තිබුණා. ගම හරියට රාජ්‍යයක් වගේ. ගමේ මිනිසුන්ගෙන් සතුන්ගේ නිජබිම්වලට බාධා ඇති වුණේ නෑ.

මිනිස්කමේ අරුමය වටහා ගත් පැරණි මිනිසා එය වඩාත් ලස්සන කර ගැනීමට අවශ්‍ය වු ක්‍රමෝපායයන් ගැන මෙනෙහි කරමින් කටයුතු කළා. ආගම දහම ගැන ලැදියාවෙන් කටයුතු කරන්නට නිතර පෙළඹුණා. මේ නිසා ගමත් පන්සලත් අතර තියෙන බැඳීම වැඩිවුණා. කටුක ජීවිත පැවැත්මෙහි කොටස්කරුවන් වු ඔවුන්ට මානසික සහනයක් අවශ්‍ය වූවා කියන එක පුදුමයක් නොවේ. සාක්ෂරතාවෙන් ඉතා අඩු මට්ටමක ජීවත්වු ඔවුන්ට ගමේ පන්සලෙන් ලැබුණ අවවාද අනුශාසනා හරිම වැදගත්. ඒ මඟ දැක්ම නිසාම ජීවිතයට අවශ්‍ය බලය හා ශක්තිය ලැබුණා. අපේ පැරැන්නෝ කුසලය, කුසල කර්ම විපාක ජීවිතය ජය ගැනීමේ මඟ හැටියට තීරණය කළා.

අපේ පැරණි ඇත්තන්ගේ පරමාර්ථය වුණේ ආගමික ගුණ සුවඳ තුළින් ජීවිත සුවපත් කර ගැනීමයි. එකම බලාපොරෙත්තුව වූයේ, වන්දනා මාන විධිවලට මුල්තැන දීමට සිත් පෙළඹුණේ ද ඒ හින්දාමයි. වර්තමානයෙහි මෙන් ගමනාගමන පහසුකම් එකල තිබුණේ නෑ. ඈත දුර බැහැර සාමාන්‍ය ගමන්වල යෙදුනේ ද බොහෝවිට බරකරත්ත වලින්. රුදුරු වන සතුන් ගැවසී ගත් වනපෙත් මං තුළින් වන්දනා චාරිකාවල යෙදුණූ විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව සංවරශීලි පැවැත්මෙන් වන්දනා ගමන්වල නිරත වුණා. තුන්දොර සංවර කර ගැනීමයි වැදගත් වුණේ. නියමුවාගේ බහට වන්දනා නඩේ හැම කෙනාම අවනත වුණා.

ඇතැම් විට සැතපුම් ගණනාවක් පා ගමනින්ද වන්දනා චාරිකාවල යෙදුණා. ජනාකීර්ණ ප්‍රදේශ තුළින් මෙන්ම බිහිසුණු සතා සිව්පාවන් ගැවසි ගත් වනපෙත් මං තුළිනුත් ඔවුන් පා ගමනින් ගමන් කළා. තමන්ටවත්, අනුන්ටවත් එසේම පරිසරයටවත් හානියක් නොවන ලෙසටයි වන්දනා චාරිකා සිදුවුණේ. එම චාරිකාවල මූලිකත්වය ගත් වැඩිහිටියන් ආදර්ශ සම්පන්න වුණා. ආදර්ශයෙන් යුක්තවයි, ඔවුන් ලාබාල දූ දරුවන්ට අනුබලය ලබා දුන්නේ.

“පුතේ කාරා කෙළ ගහන්ඩ එපා. කුණු රොඩු බිමට දාන්න එපා. මහී කාන්තාව කෝප වෙනවා. ගස්වල අතු රිකිලි කොළ දළු කඩන්න එපා. දෙවි දේවතාවරු තරහා වෙනවා. වැඩිහිටියන් ලාබාල දරුවන්ට උපදෙස් ලබා දෙමින් මඟ පෙන්වූ හැටි කෙතරම් වැදගත් ද?

ඒ කාලයේ වන්දනා නඩ පුරාවට තිබුණේ සංවරශීලි බව හා උපශාන්ත ගතිය. තෙරුවන් පිළිබඳව මෙන්ම දෙවියන් ගැනත් ඔවුන්ට තිබුණේ අව්‍යාජ ගෞරවයක් හා විශ්වාසයක්. ඔවුන් දකින හැම කෙනෙකුටම ඇති වුයේ සතුටක්. දියුණු යැයි සිතන වර්තමානයේ සිදුකෙරෙන බොහෝ වන්දනා චාරිකා දෙස බලන විට එවැනි සතුටක් සිතට දැනෙන්නේ නෑ. එකම අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව පැරණි ඇත්තන්ට තිබුණා.

එහෙත් වර්තමානයේ කෙරෙන වන්දනා චාරිකා දෙස බලන විට ඔවුන්ගේ අරමුණුවල පවත්නා විකෘති බව මැනවින් දැනගත හැකියි. පැරණි කාලයේ වන්දනා චාරිකා තුළින් නිරාමිස සතුට හදවත් පුරාවට මතුවු අතර වර්තමානයෙහි සරාගී චේතනා කරණ කොටගෙන ඇවතුම් පැවතුම් සියල්ල විකෘති තත්ත්වයට පත්ව තිබෙනවා.

විශේෂයෙන් අරමුණුවල නොපිහිටා ක්‍රියා කිරීමෙහි වරදයි. යශෝදරාවත, තුන්සරණය වැනි සැදැහි ගුණ වඩනා ජනකවි ළයාන්විතව ගායනා කරමින් එසේම තෙරුවන් ගුණ සජ්ඣායනා කරමින් සිදු කෙරුණු පැරණි වන්දනා චාරිකාවලින් ඉස්මතු වූ ගුණාත්මකභාවයත් උසුළු විසුළු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී හරසුන් ගී රස විඳිමින් ගෞරවයකින් තොරව ඝෝෂාකාරීව කෙරෙන වර්තමානයේ බොහෝ වන්දනා නමින් සිදු කෙරෙන චාරිකාවලින් ගොනුවන අසංයතභාවයත් අතර පවත්නා පරතරය කොතරම් විශාල ද?

අධිෂ්ඨානශීලිව කටයුතු කිරීමටයි බුදු දහම තුළින් අපට ශක්තිය ලබා දෙන්නේ. අපි විධිමත් වෙමු. විධිමත්ව කටයුතු කිරීමට උනන්දු වෙමු. වර්තමානයේ අප කරන කටයුතු අනාගතයේ බිහිවන අයට ශක්තියක් වේවි.