Print this Article


සංහිඳීයාව ක්‍රියාවෙන් ම පෙන්වූ නාගදීපයේ නායක හාමුදුරුවෝ

සංහිඳීයාව ක්‍රියාවෙන් ම පෙන්වූ නාගදීපයේ නායක හාමුදුරුවෝ


මහ මුහුද නිසල ය. එහෙත් හතර වටින් කන් බිහිරි කරවන වෙඩි හඬ ඇසේ. ඒ අතර මෝටාර් ප්‍රහාර ද එල්ල වන්නට විය. වයස අවුරුදු 75ද ඉක්ම වූ භික්ෂූන් වහන්සේ නමකට ඉසිලිය නොහැකි වෙඩි හඬ මධ්‍යයේ දිවි ගෙවීමට උන් වහන්සේට සිදු විය.

එහෙත් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වන නාගදීප පුද බිම රැක ගැන්ම උන් වහන්සේගේ එකම අරමුණ විය. උන් වහන්සේගේ තනියට භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් එදා සිටියේ මා පමණකි. ත්‍රස්තවාදීන් විසින් උතුරේ සියලු සිංහල ජනතාව පළවා හැර ඊළාම් රාජ්‍යයක් බිහි කරන්නට යුද්ද කරද්දී බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයෙන් පූජනීයත්වයට පත් බෞද්ධ පුදබිම වන නාගදීපය යළි රැක ගැන්මට උන් වහන්සේ එදා කටයුතු කළේ දිවි දෙවෙනි කොටය.

බලපිටිය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් වර්ෂ 1915 අප්‍රේල් මස 15 වැනිදා උපත ලද්දේ දකුණු ලක බලපිටිය ප්‍රදේශයේ ය. කුඩා කලම උන් වහන්සේ පැවිදි දිවියට පත් වූ අතර නිරතුරුවම බණ දහම් පොත පත කියවීමට උන් වහන්සේ කටයුතු කළහ. උන් වහන්සේගේ සහෝදරයා වූයේ රන්දොඹේ සෝමසිරි තිස්ස නා හිමියන් ය. සෝමසිරිතිස්ස හිමියන් බෞද්ධාගම වෙනුවෙන් ඇප කැපවී සිටි හිමිනමක් වූ අතර උන් වහන්සේ නිරතුරුවම සිදු කෙළේ විවිධ ආක්‍රමණ නිසා වල් වැදී ඇති බෞද්ධ වෙහෙර විහාර සොයා ඒවා බෞද්ධයන්ගේ වන්දනාවට පත් කිරීමයි. ඒ අනුව 1931 වසරේදී උන් වහන්සේ නාගදීප පින්බිම බෞද්ධයන්ට හිමි කර දුන්හ. ඒ ගණ කැලෑවෙන් වැසී තිබූ පුදබිම ජනතාවට සොයා දෙමිනි.

යාපනයේ චුලිකුලම්හි වික්ටෝරියා විදුහලට උගැනුම් කටයුතු පිණිස වැඩම කර සිටි ධම්මකිත්ති තිස්ස නාහිමියෝ යාපනයේම නේවාසිකව වැඩ සිටියහ.

සෝමසිරිතිස්ස නා හිමියෝ ධම්මකිත්ති හිමියන්ට පැවසුවේ තමන් වහන්සේට මෙරට අප්‍රකට තවත් විහාරස්ථාන සොයන්නට ඇති හෙයින් නාගදීපයට වැඩම කරන ලෙසයි. දරුවන්ට කළ උගැනුම් කටයුතු නතර කර දමා ධම්මකිත්ති හිමියන්ට නාගදීපයට වැඩම කරන්නට සිදුවූයේ ඒ අනුව ය. ඒව වන විට නාගදීප විහාරස්ථානයේ තිබුණේ කුඩා අතු පැලක් පමණි. සෝමසිරි තිස්ස නා හිමියෝ 1973 වසරේ දී අපවත් වූහ.

උන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම සිදු කෙරුණු දින මමත් තවත් අයෙකුත් නාගදීපයේදීම පැවිදි කරන ලදී. එය නාගදීපයේ පවත්වන ලද විශාලතම උත්සවයයි.

නාගදීපයේම ජනතාවගේ ගෞරවාදරයට පත් වූ නා හිමියෝ නිරතුරුවම දූපතේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියහ. වරක් ත්‍රස්තවාදීන් විසින් කුරිකඩ්ඩුවාන් ජැටියේ සිටි යුද හමුදාවේ සෙබළකු ඝාතනය කර ගිනි අවියද උදුරාගෙන යාමෙන් පසු හමුදා සෙබළුන් ගේ සහායට ආ රාමචන්ද්‍රන් මුදලාලිගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නට ගිය විට පොලිසියට බැණ වැදුණු ධම්මකිත්ති නා හිමියන් නාගදීපයේ ජනතාව තම ජනතාව බව පවසා එම ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලද්දේ ඔවුන් කිසිදු අයුරකින් එම සිදුවීමට සම්බන්ධ නොවූ නිසා ය.

උන් වහන්සේ හැම විටම වේවැල අතින් ගෙන අප පාලනය කළහ. ඒ තරහට නොවේ. අප හදා ගන්නටය. දිනකට උන් වහන්සේගෙන් වේවැල් පහර 60ක් කෑ අයුරු අදත් මට මතකය. එසේ උන් වහන්සේගෙන් කෑ වේවැල් පහර නිසා අදත් නාගදීපය රැක ගන්නෙමි යන අධිෂ්ඨානය මා සතුව පවතී.

කිසිදු විටක නාගදීපය අත්හරින්නට උන් වහන්සේ කටයුතු කෙළේ නැත. උන් වහන්සේ තම දිවියම කැප කෙලේ නාගදීපය වෙනුවෙනි. කිසිදු පහසුකමක් නොතිබූ එකල උන් වහන්සේ පා ගමනින්ම වැඩම කළහ. උන් වහන්සේ නාගදීපය පුරා වැඩම කෙළේද පාපැදියේ ඉදිරිපස අසුන්ගෙනය.

ත්‍රස්ත ප්‍රහාරවලින් මිදෙන්නට කරණම් ගසන හෙලිකොප්ටරයේ නැඟී උන් වහන්සේ පලාලි ආරක්ෂක ජනපදයේ පාංශුකූල පිණිස වැඩම කළේ හැත්තෑ හැවිරිදි වියද ඉක්මවා තිබියදීය. එය කෙතරම් අපහසු ගමනක්දැයි මම හොඳීන්ම දනිමි. කිසිදු විටක තණ්හාවෙන් කිසිවක් රැස් නොකළ උන් වහන්සේ හැම විටම උත්සාහ කළේ අනෙක් අයට යමක් බෙදා හදා දෙන්නටය.

දෙමළ ජනතාව උන් වහන්සේට ඇප උපස්ථාන කරන්නට පවා පෙළඹුණේ එහෙයිනි.

දෙමළ ජනතාව නා හිමියන්ට කෙතරම් ගරු කළා ද යන්න උන් වහන්සේගේ අවසන් කටයතු සිදු කරද්දී දෙමළ කාන්තාවන් තමන්ගේ පියකු මිය ගිය ආකාරයෙන් හඬනු දැකීමෙන්ම සිතා ගත හැකිය.

අද නාගදීපයට දෙමළ ජනතාව සලකන්නේ උන් වහන්සේ විසින් ඇති කළ සිංහල දෙමළ සංහිඳීයාව නිසා ය.

දෛවයේ සරදමකට මෙන් උපන් දිනයදා එනම් අප්‍රේල් මාසයේ 15 වැනිදාකම උන් වහන්සේ අපවත් වූහ. ඒ 2003 වසරේදී ය. වයස අවුරුදු 86ක දී උන් වහන්සේ සිදු කළ ඒ සේවාව කිසිදු ලෙසකින් ප්‍රමාණ කළ නොහැකි ය. උන් වහන්සේ අපවත් වූයේ යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් නොවූ අවදියේ ය. බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අපේ නා හිමියෝ නාගදීප පුදබිමත් රැකගෙන ශාසනයටත් එමෙන්ම ජාතික හා ආගමික සංහිඳීයාවටත් ඇති කළ සේවාව අමරණීය ය.

උන්වහන්සේට නිවන් සුව පතමු.