Print this Article


සංස්කෘතික දායාද මතු පරපුරට පවරා දීම

සංස්කෘතික දායාද මතු පරපුරට පවරා දීම

සෑම රටකට ම අදාළ වූ සංස්කෘතියක් සහ හර පද්ධතියක් නිර්මාණය වී ඇත. එය එම රටේ අභිමානයට සහ ප්‍රෞඪත්වයට මහත් සේ බලපෑම් කරයි. මහින්දාගමනයෙන් පසු අපේ රට තුළ ද එම යහපත් තත්වයන් නිර්මාණය වූ අතර, එය රැක ගැනීම වෙනුවෙන් මහ සඟරුවන සහ අතීත මුතුන් මිත්තන් මහත් කාර්ය භාරයක් ඉටු කළහ.

අතීත ජන සමාජය නිර්මාණය වූයේ “වැවයි දාගබැයි - ගමයි පන්සලයි නිල්වන් ගොයමයි - කහවන් සිවුරයි” යන උදාර සංකල්පය මත ය. එවන් ශ්‍රේෂ්ඨ ආරම්භයක වර්තමාන පිරිස ලෙස එම හරයන්ට වැඩි වටිනාකමක් ලබාදී කටයුතු කිරීම අප සතු කාර්යයකි. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ පිළිබඳ අවධිකමක් නිර්මාණය කරගත යුතු වේ.

සංස්කෘතිය පවරාදීමේ එක් සන්ධිස්ථානයක් ලෙස සිංහල හින්දු නව අවුරුද්ද ප්‍රධාන තැනක් ගනු ලැබේ. මෙය උත්සවයකට එහා ගිය සංස්කෘතිය අනාගතයට පැවරීමේ ඉතා වැදගත් අවස්ථාවකි.

මානව පැවැත්මේ සෑම ක්‍රියාකරකමක් ම සංස්කෘතියට සම්බන්ධ වේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපරකණ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, විශ්වාස, සමාජ සංස්ථා පුද පූජා, ජීවන රටාව, ආර්ථිකය මෙහෙයවීම , සමාජ චර්යා, දේශපාලන ආ ආගමික චර්යා, විනෝද කටයුතු මෙන්ම දේශපාලන හා ආගමික කටයුතු ද පරිසරයට උචිත ලෙස ඔරොත්තු දෙන ජීවන රටාවක් නිර්මාණය කරගැනීම සංස්කෘතිය යි.

උරුමය රැකීම

සංස්කෘතිය නො කඩවා වෙනස්වෙමින් පවතී. එසේම එය සමාජයට බද්ධ ය. පුද්ගලයා සංස්කෘතිය ඉගෙන ගනු ලබන්නේ සමාජයෙනි. සංස්කෘතිය ඒ ඒ සමාජයන්හි උරුමය යි. මෙය මනාව තේරුම් ගැනීම දෙලොව වැඩදායක පුද්ගලයකු නිර්මාණය කිරීමට සමත් වේ.

අතීතයේ දී වැව නිසා කෘෂිකර්මය දියුණු වූ අතර, දාගැබ නිසා ආධ්‍යාත්මය දියුණු විය. මේ තුළ කෘෂිකර්මය ආගමෙන් පෝෂණය වූවායැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. බක් මස යනු අස්වනු කපා ගෙට ගනු ලබන කාලය යි. එය පදනම් කොටගෙන ම අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු අපේ සංස්කෘතියට අයත් අලුත් සහල් මංගල්‍යය වැනි දේ ඇති විය.

කපා ගත් මුල් අස්වනු කොටස බුදුරදුන්ට පිදූ ගැමියා ඉන් අනතුරුව සඟරුවනට හා දෙවියන්ට එය කැප කළහ. කපාගත් අස්වැන්න දේව භෝග ලෙස සැලකු අවස්ථාවන් ද දැකගත හැකිය. මේ සිරිත් විරිත් විශ්වාසයන් මත රට මෙන් ම පුද්ගල ජීවිත ස්වයංපෝෂිත විය.

අතීත වටිනාකම්වලට වර්තමානය තුළ ද ඇගයීමක් තිබීම අවශ්‍යය. දියුණුූ සමාජය යනු තම අනන්‍යතාවන් රැකගෙන නවාතාවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව සකසා ගැනීමයි . වර්තමාන අලුත් පරපුර මෙය තේරුම් ගැනීම ඉතා අවශ්‍ය වේ.

නැවුම් ආකල්ප

විවිධ හිත් අමනාපකම් දුරුකර ගෙන, වැඩිහිටි ගෞරවය සහිතව ඔවුනට තම දරුවන් පිළිබඳ සතුට උපදින ආකාරයට කටයුතු සංවිධානය විය යුතුම ය. එසේ සිදු නො කිරීම අලුත් අවුරුද්දේ සැබෑ හරය අමතක කිරීමකි. බුදුරදුන් සදිසා වන්දනයේ දී පැහැදිලි කළ අන්‍යෝන්‍ය යුතුකම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම අලුත් අවුරුද්ද සමඟ ආරම්භ කළ හැකි ය. මන්ද යත් යුතුකම් පිළිබඳව යම් සංස්කෘතික මංගල්‍යයක් පවතී නම්, එය අලුත් අවුරුද්දයි . අඹුසැමි, සේව්‍ය, සේවක පිරිස් අතර ද සුහදතාව ගොඩ නැංවෙන්නේ මෙවන් අවස්ථාවන්වල දී ය. ඒ වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ග සංවිධානය කළ යුතු ය. මෙවැනි කාල සීමාවක දී වුව ද පවතින තත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කළ හැකි ය. තවත් වසරක් ඒ වෙනුවෙන් බලා සිටීමට සිදුවීම සුදුසු නොවේ.

අතුල් පහරක්

නැකත් වැඩිහිටි විශ්වාස පිළිබඳ ඇතැම්විට වර්තමාන තරුණ පිරිසට වැඩි විශ්වාසයක් නො තිබිය හැකිය. එහෙත් අප කල්පනා කළ යුත්තේ සියල්ලේ ම විද්‍යාත්මක පදනම නොවේ. යම් සමාජයක යහපත් පැවැත් ම වෙනුවෙන් අතීතයේ සිට පැවැති යම් යම් විශ්වාස හරයන් හේතුවිය හැකි ය. එවන් පසුබිමක සියල්ල බැහැර කිරීමට යෑම හෝ නො වැදගත් ද කොට සිතුවහොත් අපේ අනන්‍යතාවන් සෝදාපාළුවට ලක්විය හැකි ය. ජාතියක් ලෙස එය අපට එල්ලවන අතුල් පහරකි. එහෙයින් වැඩිහිටි විශ්වාසයන් සමඟ නො ගැටී අපේ දේ රැක ගැනීම ඉතා වැදගත් ය.

ආගන්තුක සද්කාර්ය සිංහල බෞද්ධ අපට ආගන්තුක නොවේ. අලුත් අවුරුද්ද යනු එකිනෙකා හමුවී කතාබහකොට සුහදතාව වර්ධනය කර ගැනීමට ලැබෙන අවස්ථාවකි. ලෝකයේ ඇතැම් ජන වර්ගවලට නො ලැබෙන මෙම අවස්ථාව අප අත්හැර ගත යුතු නොවේ.

ආධ්‍යාත්මික පෝෂණය

සංස්කෘතිය පවරාදීමේ දී ඇඳුම් පැළඳුම් ඉතාම වැදගත් ය. ඇඳුමෙහි අරමුණ විලිවසා ගැනීම, සීතෙන්, උෂ්ණයෙන්, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සහ ශරීරයට අලංකරණයක් එකතු කිරීම යි. යම් වස්ත්‍රයකින් එම කාර්ය සිදු නොවේ නම් ඇදුමෙහි අනන්‍යතාව ප්‍රශ්නාර්ථයකි. නව පරපුර ලෙස විලාසිතාවන් තෝරා ගැනීමේ දි සභ්‍යත්වය, සදාචාරය මෙන් ම එය භාවිත කරන්නන් හැටියට ගෞරවයක් සහිත විය යුතු ය. අපට ගැළපෙන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමට තරම් අප නම්‍යශීලි විය යුතුය. තමන් අත්පත් කරගත් දේ පිළිබඳ සතුටු වන්නේ උදාරතර අදහස් සහිත පිරිස් විසින් පමණි.

ආර්ථිකය මෙහෙයවීමේ දී විශේෂයෙන් දුශ්චරිත වෙළඳාම් හෝ මුදල් උත්පාදනය පරලොව විශ්වාස කරන අපට තරම් නොවේ. අරපිරිමැස්ම, සකසුරුවම්කම අනාගත පරපුරට කියාදීම අප සතු යුතුකමකි.

එදිනෙදා පිසීමට ගන්නා සහල් කොටසින් පවා මිටක් අරන් තැබීමට එදා ගෘහණිය කටයුතු කළා ය. අනෙකාට සෞඛ්‍යයට අහිතකර කිසිවක් මුදල් ලැබීමේ පරමාර්ථයෙන් ලබා නො දීමට අතීත ජනයා වගබලා ගත්හ. ආර්ථිකය හැසිරවීමේ දී දෙලොව යහපත පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. ආගම දහම විනෝදජනක ක්‍රියා මේ සියල්ල ම අපට ඔරොත්තු දෙන ආකාරයට පවත්වා ගැනීම ඉතාම වැදගත් මෙන් ම දෙලොව ආශිර්වාද ලැබීමට එය හේතුවකි.