Print this Article


බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය

බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අරභයා මෙසේ දේශනා කළ සේක.

මහණෙනි, තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ආශ්චර්යය අද්භූත කාරණා සතරක් ද පහළ වෙයි. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, ලෝක සත්වයෝ පංචකාමය නිවහන කොට වසත්. එහි ම ඇලී සිටිත්. එයින් ම සතුටු වෙවී සිටිත්. තථාගතයන් වහන්සේ විසින් ඇල්ම දුරු කිරීම පිළිබඳ ධර්මය ‍දෙසනු ලබන කල්හි එබඳු ඔවුහු ඒ ධර්මය අසන්නට ආසා කරත්. මනාව සවන් යොමා සිටිත්. අවබෝධ කරගන්නට ඕනෑය කියා සිත පිහිටුවා ගනිත්. මෙය යි පළමු අසිරිමත් කරුණ.

මහණෙනි, ලෝක සත්ව‍යා මාන්නය හෙවත් උඩඟු බව නිවහන කොට වසත්. මාන්නයෙන් ම ඇලී සිටිත්. මාන්නයෙන් ම සතුටු වෙවී සිටිත්.

තථාගතයන් වහන්සේ විසින් මාන්නය දුරු කිරීම පිළිබඳ ධර්මය දෙසනු ලබන කල්හි එබඳු ඔවුහු ඒ ධර්මය අසන්නට ආසා කරත්. මනාව සවන් යොමා සිටිත්. අවබෝධ කර ගන්නට ඕනෑය කියා සිත පිහිටුවා ගනිත්. මෙය යි දෙවන අසිරිමත් කරුණ.

මහණෙනි ලෝක සත්වයෝ නො සංසිඳුණු බව නිවහන කොට වසත්. නො සංසිඳීමෙහි ම ඇලී සිටිත්. නො සංසිඳීමෙන් ම සතුටු වෙවි සිටිත්. තථාගතයන් වහන්සේ විසින් සංසිඳීම ඇතිකර දෙන ධර්මය දෙසනු ලබන කල්හි එබඳු ඔවුහු ඒ ධර්මය අසන්නට ආසා කරත්. මනාව සවන් යොමා සිටිත්. අවබෝධ කර ගන්නට ඕනෑය කියා සිත පිහිටුවා ගනිත්. මෙය යි තෙවන අසිරිමත් කරුණ.

මහණෙනි, ලෝක සත්ව‍යෝ අවිද්‍යාව තුළට ම පැමිණියාහු ය. කටුවෙකින් මුළුමනින් වැසී ඇති බිත්තර බඳු ය. අවිද්‍යාවෙන් ම හාත්පස වැසී ඇත්තේ ය. තථාගතයන් වහන්සේ විසින් අවිද්‍යාව නැසීම පිණිස ධර්ය දෙසනු ලබන කල්හි එබඳු ඔවුහු ඒ ධර්මය අසන්නට ආසා කරත්. මනාව සවන් යොමා සිටිත්. අවබෝධ කර ගන්නට ඕනෑය කියා සිත පිහිටුවා ගනිත්. මෙය සිව්වන අසිරිමත් කරුණ ය.

සුගත විනය

මහණෙනි, සුගතයන් වහන්සේ හෝ සුගත විනය හෝ ලොව පවතින්නාහු නම්, එය බෙහෝ ජනයාට හිතසුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුනට යහපත පිණිස පවතින්නේ ය.

මහණෙනි, සුගත යනු කවරහු ද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගතයන් තෙමේ උපදියි. උන්වහන්සේ අර්හත් ය. සම්මා සම්බුදු ය. විජ්ජාචරණ සම්පන්න ය. සුගත ය. ලෝකවිදූ ය. අනුත්තරෝ පුරිසදම්ම සාරථි ය. දෙව් මිනිසුන්ට ශාස්තෘහු ය. බුද්ධය හ. භගවත් ය.

මහණෙනි සුගත විනය යනු කුමක් ද? ඒ සුගත තථාගතයන් වහන්සේ දහම් දෙස යි. ඒ ධර්මයෙහි මුල කල්‍යාණ ය. මැද කල්‍යාණ ය. අවසානය කල්‍යාණ ය. අර්ථවත් ය. පැහැදිලි වචනයෙන් යුතු ය. මුළුමනින් ම පිරිපුන් ය. පිරිසුදු ය. නිවන් මඟ ය. මහණෙනි, සුගත විනය මෙය යි.

බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට දැකගත හැක්කේ ජීවමානව වැඩ සිටිනා තෙක් ය

භාග්‍යවතුන් වහන්සේ භාවනාව තුළින් පෙනී සිට තමාගේ දියුණුව පිණිස උපදෙස් දෙතැයි සිතන මංමුළා ව සිටිනා යෝගීහු ලොව බොහෝ ය. එයට හේතුව නො දැන සිටීම ය.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ ශරීරය පවතිනුයේ සහමුලින් ම සිඳීන ලද භව රැහැන් ඇතිව ය. උන්වහන්සේගේ කය ජීවමානව පවතින්නේ යම්තාක් කල් ද, ඒ තාක් කල් පමණක් ම දෙව් මිනිසුන් උන්වහන්සේ දකිති. කය බිඳී ජීවිතය අවසන් වීමෙන් පසු දෙව් මිනිසුන් තථාගතයන් වහන්සේ නො දකිති.

මහණෙනි, එය මෙබඳු දෙයකි. අඹ පොකුරක් නටුවෙන් ගිලිහී ගිය විට ඒ නටුව හා බැඳී තිබු යම්තාක් අඹ ඇද්ද ඒ අඹ සියල්ල එක්වර ම ගිලිහී යයි. මෙය ද එසේ ම ය.

අවිද්‍යාව බිඳ දැමීම

මේ ලෝක සත්වයා අතර අසවලා ජ්‍යෙෂ්ඨයා ය කියා නිශ්චය කිරීම සාමාන්‍ය ලෝකයාට නම් ඉතා දුෂ්කර දෙයකි. මක්නිසා ද යත් එය ලෝකයාට විෂයය නො වන නිසා ය. ඔවුහු තම තමන් අදහාගන්නා දෙවි දේවතාවන් ජ්‍යෙෂ්ඨයන් ය කියා සිතති. කියති.

එහෙත් සත්‍යය එය නොවේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ සේක් ප්‍රායෝගිකත්වය තුළ ය. ස්වෝත්සාහයෙන් ම උපදවාගත් වීර්යය හා විශිෂ්ට වූ ඤාණය නිසා ය. සියලු ලොවෙන් නිදහස් වූ නිසා ය. සත්වයකු කෙරෙහි දෙව් මිනිස් මාර බ්‍රහ්මාදී සත්වයන් විසින් කළ හැකි යම් බලපෑමක් ඇද්ද, මෙකී නොකී සියලු බලපෑමෙන් නිදහස් වූ නිසා ය. අවබෝධයෙහි ලා පෙරමුණ ගත් නිසා ය. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේ ය.

බ්‍රාහ්මණය, කිකිළියකට බිත්තර අටක් හෝ දහයක් තිබුණි. කිකිළිය විසින් සියලු බිත්තර මනාකොට රකින ලද්දී ය. මනාව උණුසුම් කරන ලද්දී ය. මනාව පිළියම් කරන ලද්දී ය. ඒ බිත්තරවලින් යම් පැටවෙක් පළමුව පා නියසිලින් හෝ මුව තුඩින් හෝ කටුව පලාගෙන සුව සේ එළියට ආයේ නම්, කිම බ්‍රාහ්මණය, ඊටපසුව පැමිණි අනෙක් කුකුළු පැටවුන් අතර ඔහුට වැඩිමලා කිව යුතු ද? නැතිනම් බාලයා කිය යුතු ද?

භවත් ගෞතමයන් වහන්ස, ඔහු එහි ජ්‍යෙෂ්ඨයා යැයි කිව යුතු වන්නේ ය. ඔවුන් අතර මුලින් ම එළියට පැමිණි තැනැත්තා ඔහු නිසා ය. ජ්‍යෙෂ්ඨයා ඔහු ම ය.

එසේ ම බ්‍රාහ්මණය අවිද්‍යාව තුළට ම ගියා, අවිද්‍යාව නමැති බිත්තර කටුවෙන් මොනවට වැසී ගිය සත්වයන් වන මේ ලෝක ප්‍රජාව අතරෙහි අවිද්‍යා බිත්තර කටුව බිඳගෙන මම් තනිවම ලෝකයෙහි අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි. එහෙයින් බ්‍රාහ්මණය, ලොවෙහි ජ්‍යෙෂ්ඨ වූයේත්, ශ්‍රේෂ්ඨ වූයේත් මම් ය.

භාග්‍යවතුන් වහන්සේගේ අදහස් මොනතරම් අවංක ද! එඩිතර ද! නිර්භීත ද! සත්‍යය ද!

භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුණු සිත් ඇති සේක

එකල ඉන්දියානුවෝ භාග්‍යවතුන් වහන්සේ පිඬුසිඟා වඩින අයුරු බලා සිටියෝ ය. දන් වළඳන අයුරු බලා සිටියෝ ය. රුක් සෙවණක, එළිමහනෙක බවුන් වඩන අයුරු බලා සිටියෝ ය. උන්වහන්සේ මිනිසුන් අතර ඇවිද ගිය සේක. මිනිසුන් හා කතාබස් කළ සේක. එහෙත් මිනිසුන් හා උන්වහන්සේ අතර බරපතළ වෙනසක් තිබුණේ ය. ලෝකයෙහි ලාභ - අලාභ, යස - අය, නින්දා ප්‍රශංසා. සැප - දුක් යන ලෝ දම පෙරළෙන විට ඊට අනුව සියලු මිනිස්සු පෙරළි පෙරළී යති. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ද ඒ අට ලෝ දහම පැමිණෙියේ ය. ලෝ දහම පමණක් පෙරළි ගියේ ය. උන්වහන්සේ නො පෙරලුණු සේක. ඒ කිිසිවක් උන්වහන්සේට වැදගත් නො වුණේ ය. ඒවා බලනොපෑවේ ය. එසේ වූයේ කිසිවකට නොබැඳුණු, මනාව මිදී ගිය සිතක් උන්වහන්සේට තිබුණු නිසා ය.

උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහා ප්‍රඥාවෙන් හෙබි සාරිපුත්ත තෙරණුවෝ කොට්ඨිත තෙරුන් හා මෙය පැවසූහ.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ඇස තිබේ. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප දකිති. එහෙත් භාග්‍යවතුන් වහන්සේට ඇස කෙරෙහි වේවා, රූපය කෙරෙහි වේවා ඡන්ද රාගයක් නැත්තාහ. සුවිමුත්තචිත්තෝ භගවා - භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුණු සිත් ඇති සේක.

ඇවැත්නි, එසේ ම භාග්‍යවතුන් වහන්සේට ද කන , නාසය, දිව, කය, මනස තිබේ. භාග්‍යවතුන් වහන්සේ අරමුණු දැන ගනිති. එහෙත් භාග්‍යවතුන් වහන්සේට මනස කෙරෙහි වේවා, අරමුණු කෙරෙහි වේවා ඡන්ද රාගයක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුණු සිත් ඇති සේක.